Print this Article


රාජ්‍ය වෙසක් මහෝත්සවය අභිමානවත් ලෙසින් මාතර මිදෙල්ලවල පුරාණ විහාරයේ දී

රාජ්‍ය වෙසක් මහෝත්සවය අභිමානවත් ලෙසින් මාතර මිදෙල්ලවල පුරාණ විහාරයේ දී

අභිත්ථරෙථ කල්‍යාණෙ (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන්න තේමා කර ගත් මෙවර ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

වර්තමානයේ මිදෙල්ලවල පුරාණ මහා විහාරය අතීතයේ දී මිදෙල්ලවල විහාරය සහ මිදෙල්ලවල පන්සල ලෙස ද හඳුන්වා තිබේ. පැරැණි ලේඛනගත නාම අනුව මුචලින්දාරාමය, මුචලින්දවනාරාම යන නම්වලින් ද මේ විහාරය හඳුන්වා ඇති බව ජනශ්‍රැතියේ සඳහන් ය. විහාරයේ ඉතිහාසය සියවස් දෙකකට අධික බව පැරැන්නන්ගේ මතය යි.

එමෙන්ම මේ විහාරයේ ආරම්භය රුහුණු මාගම්පත්තුවේ තිස්ස රාජමහා විහාරය හා සබැඳී බව ද ඓතිහාසික තොරතුරු අනුව සනාථ වේ.

ක්‍රි. ව. 1818දී ඉදිකරවන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ, 1932දී ඉදි කරවන ලද පැරැණි සංඝාවාස ගෘහය, 1890දී ඉදි කරන ලද පැරැණි ධර්ම ශාලාව සහ පසුව ඉදි වූ සමාධි බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ මේ විහාරබිමේ පෞරාණිකත්වය මැනවින් පෙන්නුම් කරයි.


හක්මන ඥානවිමල නාහිමි

මිදෙල්ලවල පුරාණ විහාරයේ වර්තමාන විහාරාධිපති, තිහගොඩ සහ මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී හක්මන ඥානවිමල නාහිමියන් විසින් මේ විහාරයට නව විහාරාංග එනම් සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේ, අෂ්ට මහා දේවාල පරිශ්‍රය, ශ්‍රී සර්වඥ ධාතු මන්දිර සහ අභිනව ශිෂ්‍ය නේවාසිකාගාර පද්ධතිය ආදිය එක් කළේ සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙනි.

එමෙන්ම මාහැඟි පිළිවෙත් සපුරන භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමට දායකත්වය සපයන ශ්‍රී පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන, දූ දරුවන්ට දහම් අධ්‍යාපන ලැබීමට ආරම්භ කළ සිරි පැණතිස් දහම් පාසල, ශ්‍රී චන්දවිමල මාහිමි පුස්තකාලය, මාතරට අභිමානයක් වූ ශ්‍රී චන්දවිමල මාහිමි අනුස්මරණ ශ්‍රවණාගාරය, සඳවිමල් පෙර පාසල මේ විහාරස්ථානයෙන් සිදු වන අධ්‍යාපනික මෙහෙවර පිළිබිඹු කරයි.

ආගමික සහ ශාසනික සේවාව මනාව පෙන්නුම් කෙරෙන අංග අතරට වසර 12ක් පුරා අඛණ්ඩ ව පවත්වා ගෙන එන ශ්‍රී සර්වඥ ධාතු මහ පෙරහර සහ ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ප්‍රණාම වෙසක් කලාපය ද එක් වේ. මේ ප්‍රදේශයට බලපෑ ස්වභාවික විපත් හමුවේ ද විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ඉටු කළ සමාජ මෙහෙවර මෙහිදී සිහිපත් කළ යුතු ම ය.

විවිධ තේමා විෂයය කර ගනිමින් සාහිත්‍ය වෙනුවෙන් ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම ද මේ විහාරස්ථානයේ ධර්ම ශාස්ත්‍රීය සේවාව තුළ කැපී පෙනෙන කටයුත්තකි. මිදෙල්ලවල පුරාණ මහා විහාර වංශය, සෑරද වරුණ, විභංග අධ්‍යාපනික මනෝ විද්‍යා ග්‍රන්ථය, නවකතා සහ කෙටිකතා ග්‍රන්ථ මෙහිදී පෙන්වා දිය හැකි ය.

මෙලෙස මාතර දිස්ත්‍රික්කයට මෙන්ම තිහගොඩ පුරවරයට මහත් අභිමානයක් එක් කිරීමට මිදෙල්ලවල පුරාණ මහා විහාරයට හැකියාව ලැබී ඇත්තේ ආගමික, ශාසනික සහ සමාජීය ඇතුළු තවත් විවිධ පැතිකඩ හරහා ජනතාව වෙත සිදු කරන ගෞරවනීය සේවය නිසයි.

(විශේෂ ස්තූතිය - නන්දසිරි වැලිගමගේ සහ ධර්මසිරි හල්පගේ මහත්වරුන්ට)