
සම්බුදු සිරිතට සබැඳෙන සල් සුවඳක සුමිහිර
උද්භිද විද්‍යාඥ,
විශ්‍රාමික උද්භිද උද්‍යාන අධ්යක්ෂ
භාතිය සුමිත්රාරාච්චි
මේ වෙසක් සමයයි. ධර්මයේ ආලෝකයෙන් සියලු සත්ත්වයන්ගේ සිත නිවාලූ තිලෝගුරු බුදුරජාණන්
වහන්සේ ලොව පහළ වීම, බුදුවීම හා පිරිනිවන්පෑම යන බුදු සිරිතේ අසිරිමත් සිදුවීම්
සිහි කැඳවන වෙසක් පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට පරම පූජනීය වූ දිනයකි.
සම්බුදු සිරිත සම්බන්ධ වැදගත් සිදුවීම් ආරාම, වන උද්‍යාන ආශ්‍රිත ව සිදු වූ බව
ප්‍රකට කරුණකි. ඒ අතර බුදු සිරිතට වෙසෙසින් සම්බන්ධ වූ වෘක්ෂයක් වන ‘සල්’ ගසෙහි
විවිධ ප්‍රභේද පිළිබඳ බොහෝ උද්භිද විද්‍යාඥයෝ අද අවධානය යොමු කරති.
ආසියාවේ දැනට විද්‍යමාන සල් ගස ‘කුරූපිටා ගනෙන්සිස්’ (Couroupita
guianensis) හෙවත් ‘කැනන්බෝල්’ නම් ගස
(Cannonball tree) බ්‍රිතාන්‍යයන් විසින් ආසියාවට
හඳුන්වා දුන් දකුණු අමෙරිකාවේ නිවර්තන කලාපයේ වැඩෙන ගසකි. කැනන්බෝල් නමින් හඳුන්වන
මෙම වෘක්ෂය ශ්‍රී ලංකාව, තායිලන්තය වැනි ආසියාවේ බෞද්ධ හා හින්දු සිද්ධස්ථානවල මෙන්
ම උෂ්ණාධික ප්‍රදේශවල සුලභ ව දක්නට ලැබෙන්නේ එහි බීජ රෝපණයෙන් ශාක බිහිවීමේ
සම්භාවිතාව සුලභ වන බැවිනි.
ඉන්දියාවේ ද ‘කැනන්බෝල්’ නමින් හඳුන්වන මෙකී ගස් විශේෂය බොහෝ විට ශිව දේවාල ආශ්‍රිත
ව සිටුවා ඇති අතර, එයට විශේෂිත නමක් ලෙසින් ‘ශිව කමල්’ හෝ ‘නාගලිංගම්’ ලෙස හඳුන්වා
ඇත.
ශ්‍රී ලාංකේය බෞද්ධ අප එය පූජනීයත්වයෙන් සලකන්නේ බුදු සිරිතට සබඳකම් පවත්වන වෘක්ෂය
ලෙස පිළිගැනීම නිසාවෙනි. අපට හුරු පුරුදු සල්මල හා ගසේ පහළ කොටසේ පිරී ඇති සල් ගෙඩි
සහිත සල් ගස 1881දී දකුණු අමෙරිකාවේ ගයානාවෙන් (Guiana)
හඳුන්වා දෙනු ලැබූවකි. එය
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අප රට පාලනය කරනු ලැබූ සමයේ දී එනම් 1756 සිට 1948 අතර
කාල සීමාවේ දී හඳුන්වා දෙනු ලැබූයේ ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. ඒ එහි ඇති තෙල්
සාරය ඉහළ වටිනාකමක් ඇති ඖෂධීය ගුණයෙන් පිරි විෂබීජ නාශක හා දිලීර නාශක ගුණයෙන්
යුක්ත නිසා ය.
නමුත් උද්භිද විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇති හිමාල ප්‍රදේශයට අයත් ඉන්දියාව,
බංග්ලාදේශය, නේපාලය හා ටිබෙටයේ පමණක් දක්නට ලැබෙන දුලභ ශාක විශේෂයක් වූ ‘ෂෝරියා
රොබස්ටා’ (Shorea robusta) නම් සල් ගස බුදු සිරිතට ඍජුව සම්බන්ධකම් දැක්වූ සල් ගස ම
බව උද්භිද විද්‍යාඥයන් සනාථ කර ඇත. සාල, ශල, සකුව හෝ සරයි
Sala, shala, sakhura or sarai යන ස්වදේශීය භාෂාවෙන් හඳුන්වන මෙය ‘ඩිප්ටෙරාකාපේසි’
(Dipterocarpaceae)
පවුලට අයත් සුප්‍රසිද්ධ ‘හොර’ (Hora) සහ ඩුන්
(Dun) රුක්ෂ ගණයට අයත් වූ ගස්
විශේෂයක් වන අතර, දකුණු නේපාලයේ ලුම්බිණි උද්‍යානයේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු
වූ ස්ථානයේ පිහිටි සල් ගසයි. එහි මලක ස්වරූපය හා මල් සමූහයෙන් පිරිපුන් ගසක
ස්වභාවයක් හා එහි ඵලවල ස්වභාවයක් ගනියි.
එසේ ම භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමඟ හිරඤ්ඤවතී ගඟේ ඈත වෙරළේ දී
කුසිනාරා අසල ‘මල්ලවයන්ගේ’ සල් වනයේ උපවත්තන නම් ප්‍රදේශයේ දී ආනන්ද හිමියන්ට උතුරු
පෙදෙසට හිස තබා ඇඳක් පිළියෙළ කරවාගෙන එහි සැතපී සිටිය දී ම පරිනිර්වාණයට පත් වූයේ ද
මෙම පූජනීය වෘක්ෂය යට දී ය.
තව ද ගෞතම බුදුරදුන්ට පෙර පිළිවෙළින් පස්වැනි හා විසිහතර වැනි බුදුන් ලෙස අභිසෙස්
ලද කොණ්ඩඤ්ඤ හා වෙස්සභූ යන සම්බුදු රජාණන් වහන්සේට බුද්ධත්වයට සෙවණ දුන් වෘක්ෂය ද,
බුදුදහමෙහි ඉගැන්වෙන මුඛ්‍යතම ඉගැන්වීම වන අනිත්‍ය දර්ශනය මැනවින් පිළිබිඹු කරන
වෘක්ෂය ලෙස ද මෙකී වෘක්ෂය හඳුනාගෙන ඇත.
සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු සල් ගස මීටර 40ක් (අඩි 130) දක්වා උසට වැඩෙන අතර, කඳෙහි
විෂ්කම්භය මීටර් දෙකක් පමණ (6-6 අඩි) වේ. ඉහළ වටිනාකමක් ඇති ශාකයකි. ජලජ ප්‍රදේශයක
වැඩුණොත් මෙහි පත්‍ර සැමදා කොළ පැහැය ගන්නා අතර, වියළි ප්‍රදේශයක දී නම් මේවායේ
පත්‍ර පෙබරවාරි, අප්‍රේල් අතර හැලී නැවත අප්‍රේල් හා මැයි අතර හටගනී.
‘ෂෝරියා රොබස්ටා’ නමින් හඳුන්වන මේ සල් ගසෙහි පොතු කොළ හා බීජ සැලකිය යුතු ආයුර්වේද
ඖෂධීය ශාකයක් ලෙසින් පිළිගන්නා අතර, එය ක්ෂුද්‍ර ජීවී නාශක, තුවාල සුව කිරීමේ ගුණ
ඇති, අස්ථි බිඳීම් සුව කිරීමේ ප්‍රවණතාවක් ඇති ශාකයක් ලෙස ද භාවිත කරයි.
මෙකී කරුණු සියල්ල සලකා බලා අවසාන වශයෙන් උද්භිද විද්‍යාඥයන් නිගමනය කරන්නේ බුදු
සිරිතට සම්බන්ධ සල් ගස වන්නේ ඉහත දැක්වූ ‘ෂොරියා රොබස්ටා’
Shorea robusta indian sal) වෘක්ෂ ප්‍රභේදය යි.
දැනට එම වෘක්ෂය අප රටේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දක්නට ලැබෙන අතර, එය වසර
කිහිපයකට පෙර නේපාලයේ බිරේන්ද්‍ර රජු රෝපණය කරන ලද්දකැයි සැලකෙයි.
(මෙහි ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරනු ලැබුයේ එහි අක්ෂර යෙදී ඇති ආකාරය
අනුව යි.) |