 සියපින් සිරි සාර සිරිපා සිඹ වැඳ නමා පින් ලබමු
ආචාර්ය
බලංගොඩ රාධ හිමි
කරුණා සාගර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු ලෙස අප ලැබූ අත්බවය, බොරළු කැට යායක්
මැද දිදුලන ජාතිරංග මාණික්‍යයක් වැනි ය. සැබෑ පිළිසරණ අහිමි වී ගිය මිනිසුන් අතර අප
ගෙවන දිවි පෙවෙත තිසරණයෙන් හා ආර්ය මාර්ග විද්‍යාවෙන් ලද නොහිම් සහනයෙන් උතුරන,
නිසැක විමුක්තියෙන් අභිෂේක ලැබූවකි.
එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙදියත පහළ නොවුණා නම් අමාදම් බෙරහඬ රැව් නො දෙනු ඇත.
අප ලැබූ බොදුසව් අබිසෙස් මඟහැරෙනු ඇත. කුදිටු අඳෙීනා නිතර ඇසෙන, අඳුරු සසර අනාථ මං
තලේ සිව්අපා මහ ගෙදරට ගමන් කරනු ඇත.
මහා කුලුණින්, පැහැසර ඥානයෙන් පූරිත පාරමිතාවෙන් වැඩම කොට ඒ මහසත් බෝසත් වියතාණෝ ලද
අසමසම සම්බුදු පදවිය නිසා ම අපිදු තිරසාර සරණක් ලැබුවෙමු. සුවසාර විහරණයක්
ලැබුවෙමු. නිවන් කෙම්බිම අරා දිවෙන ඒකායන සසුන් මඟ පියමන් කරන්නෙමු.
දිගු ගමන් ඇති සසරේ දිවයන සත්වගට නිතැතින් ම මොහඳුරට නතු ව දුක් විඳීන්නට සිදුවේ.
හැම අතින් ම බිය-ශෝකය, ජරාව-වියෝව පිරුණු සංසාර අම්බලම සත්වග හෙලූ ලේ කඳුළේ
උණුසුමින් ගිනියම් වී පවතී. කෙතෙක් ගිනියම් වුව, රුදුරු වුව සසරට නොබියව පාරමී සැත්
ඔසවා කෙලෙස් සතුරු බළ මුළු වනසා පාරමී බුදුකුරු පිරූ සේක් ඔබ අපගේ භාග්‍යවත් මහ
බෝසතාණෝ ම ය. සව් සතුන් තම පුතුන් සේ සලකා කාටත් සුවහිත පිණිස යොමු වී වස්තු
සම්පත්, රජ ඉසුරු, අඹුදරුවන්, ඇස් ඉස් මස් අතහැර දා ජීවිතය ද අපමණ වාරයක් පූජා
කරමින් දාන සීලාදී පාරමී පුරා සම්බුදු වන්නට වැඩි සේක් ඔබ අපගේ අනධීවර සිරි සිදුහත්
දිනිඳාණෝ ය. සාරා සැකි කප් සුවහස් ඉකුත් සසරේ ඔබ වහන්සේ වැඩි ගමන් තලාවේ අදටත්
නොමැකී ඇති අමයුරු බෝධිපාක්ෂික සිහි සටහන් පුදුම සහගත ය, ආශ්චර්යමත් ය.
පෙර එක් සමයක උත්තර භාරතයේ හිමවතට යාබද කපිලපුර නම් සොඳුරු රජදහනක් විය. එහි රජකම්
කළේ බුදුවන පුතකුට මව්පිය වන්නට මහකපින් සියදහස් කල් පාරමී පිරූ මායා- සුදොවුන්
දෙපළයි. එකල්හි අප මහා බෝසතුන් පස් මහ බැලුම් හමාරව තුසීපුරයෙන් සැව මායාවගේ කුසට
වැඩම කොට දසමස් ගෙවෙන දා එළැඹියේ වෙසක් පුන් පොහෝ දවස යි. මායා බිසව් සඳ එදවස පහන්
දොර කිඹුල්වත් පුර තම මව්පියන් වෙත යාම පිණිස රන් සිවිකාවකින් වඩිනා සේක් දෙනුවර
අතර පිහිටි රමණීය ලුම්බිණී සල් අරම දුටුවා ය. දෙවඟනුන් පිරිවරා නදුනුයන් බට දෙව්
රැජිනක් සේ, කැත් කුළඟනන් පිරිවැරූ මායාව ද උයන්සිරි විඳ විඳ වැඩම කොට එක් විසල්
සල් ගසක් මුල නතර වූවා ය. කුසහොත් මහසතුන් මිහිපිට වඩිනට සැරසෙන බව ඇයට හැඟී ගියා
ය. වටතිර ඇද දේවිය මිනිස් ඇසට නො පෙනෙන සේ ආවරණය කළ විගස ම පෙර බුදු සසුන්හි රහත්
බව ලත් බ්‍රහ්ම රාජවරු සතර දෙනෙක් රන් දැලක් අතැති ව දේවිය අබිියසට සැපත් වූහ.
දෙතිසක් මංගල පෙරනිමිති පා දස දහසක් සක්වාතල කම්පා විය. දෙව්මිනිසුන්ගේ
සාධු-ප්‍රීති ඝෝෂා මැද මහසත් කුමරු සිව්බඹුන් අත සිව්කොන් රැඳී රන් දැලෙහි රන්
සිරිපා තැබූ සේක. ඉක්බිති ව වරම් රජ දරුවන් ඇල්ලූ අඳුන් දිවි සමට වැඩම කොට
ශාක්‍යයන්ගේ කසී සළුවට බැස ඉන් මිදී මිහිලිය වෙත මොළකැටි සුරත් සිරිපා යුග දිගු කළ
සේක. මිහිතලෙන් මතු වූ රත්පියුම් මත සිරිපා පිහිටුවා නාග වික්කන්ත විලාසයෙන් දසදිග්
බැලූ බෝසත් පුතු පින්සර රුවින්, නිම්නැති තෙදින්, අනුහසින් විරාජමාන වූ සේක. මහබඹු
ශ්වේතඡත්‍රය දරද්දී, මිහිලිය සැලී රාව නංවද්දී, අපමණ පුද පෙළහර මැද සත් පියවරක් මල්
මතින් ම උතුරු දිශාවට වැඩම කොට
‘මම ලොවට අග්‍රවෙමි’යි සිහනද පා දෙව්මිනිස් කැළ වෙසක් වසන්තයෙන් පොබයාලූ සේක. මනරම්
මහ මැඳුරු තුළ සව්සිරින් සපිරි රජසැප විඳී සිදුහත් කුමරුගේ ළයාදර කුමරිය වූවා
සොඳුරු බිම්බාවෝ ය. ඇය රහල් පුතු බිහිකළ දා දරු සෙනෙහසින් විළිකුන් හදෙහි රිදුම්බර
වාවා, සසර වනදායේ පැතිරුන, සත්වග දවන ළසෝ ලැව්ගිනි නිවා දෙනු පිණිස මහාභිනික්මනින්
රජ මැඳුරට සමුදුන් සේක. අනෝම නදීතෙර සුදුවැලි තලාවේ දී මංගල අසිපතින් කෙස්වැටිය සිඳ
අහසට හෙළූ මහ බෝසතාණෝ ඝටීකාර බ්‍රහ්මයන් පිදූ අෂ්ඨ පරිෂ්කාර ධාරීව පැවිදි වෙස් දැරූ
සේක. පිඬු සිඟා ලද භෝජනයෙන් දිවි ගෙවමින් ආලාර, උද්දක වැනි සමකාලීන තවුසන් වෙත එළැඹ
සාකච්ඡා කොට ඔවුන් අනුගමනය කළ පිළිවෙත් මග ගැන සෑහීමකට පත් නොවී පුරා ස වසක් දුෂ්කර
ක්‍රියාවෙන් විමුක්තිය සොයමින් අපමණ දුක් ඉසිලූහ.
දුකින් තැවුන ගිම්හානය නිමා විය. බුදුරැසින් දීප්තිමත් වෙසක් සිරි සසිරි විය.
උපතින් පන්තිස් වෙසක් සුයාමයේ චමත්කාරය පැතිර ඇත. සුජාතා සිටු දූගේ ක්ෂීර පායාසය
පිළිගත් සිදුහත් මහා ඉසිවර නිරංජා ගං තෙර පැන් සනීපව එදන් වැළදූහ. සැදෑ පවන් සිහිලේ
තුරුලිය වියන් අතරින් බෝමැඩ අරා වැඩම කළහ. මිහිලිය පලා නැඟි විදුරසුනේ බැඳී ථිර වර
පළඟේ හිඳ සිව් අඟ වෙර විකුම් අධිටනින් පාරමී පුරාණය මෙනෙහි කළ සේක.
පැමිණි රුදුරු මරබල සේනා නේකවිධ ගර්ජන තර්ජන සිදුකිරීම නොඉවසූ ධරණී මාතාවෝ බුදුබව
පතා මහසත් පිරූ පාරමිතාවට සාක්ෂි සපයා ගුගුරා දෙදරා කම්පා වූවා ය. බියපත් මරසෙනග
හිස්ලූ අත පලා ගියහ.
මෝහ තිමිරය දවා නැණ මිණි පහන දැල්විය. හැම කෙලෙස් මල දුරුවිය. සිව්සස් පසක් විය.
ඥානයෙන් දසබල ව, සිව් විසාරද ව ඔබ, අපගේ අඳුරු ලෝ එකලු කළ සර්වඥ වියතාණෝ වූ සේක.
සියපින් සිරි සාර සිරිපා සිඹ වැඳ නමා පින් ලබමු. ඔබේ සරණින් මහ කුලුණු සෙනෙහෙන්
පෙරා දුන් දම් ඔසු බී කෙලෙස් ගිමන් නිවා ගන්නෙමු. ඔබ මුදාහළ ජාති, ජරා, මරණ හැව ඔබේ
පිහිටෙන් අපිදු මුදන්නෙමු. ඔබ වැඩි මඟ ම එන්නෙමු.
සැදැහැ මුදනු, සවන් යොමනු, සොඳීන් අසනු, සිත්හි ලා මෙනෙහි කරනු. තිදොරෙහි ලා පසක්
කරනු මේ දහම් අකාලික ය; අභෞමික ය; සීල සමාධි ප්‍රඥා දියුණු කළ පමණට අවබෝධ වනු ඇත
කියා උපවත්තන සල්වෙනෙහි පිරිනිවන් වඩින මොහොත දක්වා වැයූ දහම් බෙර හඬ කෙල ලක්ෂයක්
සක්වල සිසාරා මේ දැනුත් අනුරාව නංවයි.
පන්සාළිස් වසරක් සුවඳ හමන සිරි මුව මඬලින්, අටඟින් යුතු බඹසර මිහිරෙන් දම් දෙසූ මහා
ගෞතම දම්රජාණන් නිසා අපමණ සත් වගක් සගමොක් සැපතින් සුවපත් විය. පිරිනිවන් මඤ්චකය
වෙත වඩින විට අවමයෙන් සූවිසි අසංඛෙය්‍ය නව කෝටි හැට ලක්ෂයක් දෙනා සසරින් මුදා,
නිවන් පුර සතපවා මහා බුදුකිස මුදුන්පත් කළ සේක.
උත්පත්ති මංගල්‍යයෙන් අසූ වැනි වෙසක් සඳ උදා විය. එහෙත් එය මිලාන ය. සල් තුරු අතර
පිරිනිවන් මඤ්චකය පැනවුණි. දම්රජහු එහි සැතපී සිටිති. අකලට පිපී වැටෙන සල් මල්
කඳුළින් සල්වනය ම හඬා වැටෙයි. අහස් කුස දෙව්ලියෝ සිහිසුන් ව ඇද වැටෙති. එදා තරම්
දෙව් මිනිසුන් ශෝකී වූ අන් දිනක් නැත්ම ය.
දහම් සංවේගයෙන් යුතු රහතුන් අතර හඬා වැටෙන ආනන්දයන් සැනසූ බුදු සමිඳු තුන්යම් රැය
පුරා දම් දෙසූ සේක. බුදු සසුන පස්වාදහස් කල් රැකෙන්නට අදිටන් ද කළ සේක. මිහිලිය
සැලිණ. ගුවන දෙදරා දිවබෙර පැලිණ. අවසන් බුදු ඔවදන් ගුවන්ගත විය. කරුණා රස ගැලූ
සුනිල් නෙතු සඟල පියවිණ. නිකෙලෙස් බවින් උණුහුම් ව පැවති සුසුම්පොද නතර විය. ඒ සා
කායබල, ඥාන - ඉර්ධි බල දැරූ අපගේ සම්බුදු රජාණෝ නිවී යන දීපසිඛාවක් විලස පිරිනිවන්
වැඩ සැනසුන සේක.
මෙවන් අසිරිමත් තෙමඟුල් සිදු වූ අද වැනි වෙසක් දිනෙක බුදු හිමි ගුණකඳ සිහි කරමු.
පිළිවෙතින් සුසැදි හදින්, ආමිස සුරැඳී දෝතින්, සාධු හඬ නංවා සිරිපා පුදා පින් ලබමු. |