Print this Article


සත්‍යය යනු කුමක්ද? - 03: සුභාෂිත හා දාර්ශනික සත්‍ය වචන

සත්‍යය යනු කුමක්ද? - 03:

සුභාෂිත හා දාර්ශනික සත්‍ය වචන

පරම සත්‍යවාදී තථාගත බුදුරදුන් චංකී සූත්‍රය තුළ දී කාපටික බමුණා අමතා, සත්‍ය ලෙස යමක් පිළිගැනීමේ දී නිර්ණායක පහක් උපයෝගී කර ගන්නා බව පෙන්වා දුන් අතර, ඒ තුළින්

පිළිගන්නා දෑ හැමවිට ම සත්‍ය නොවන බව පෙන්වා දේ.

ඒ අතුරින් ‘ශ්‍රද්ධා’ සංකල්පය පිළිබඳ පසුගිය කලාපයේ දී විග්‍රහ කළෙමි. අද එතැන් සිට ඉදිරියට.

‘අනුස්සව’ (පාලි) ‘අනුශ්‍රව’ (සංස්කෘත) යන පදයට පර්යාය ලෙස සුත/ශ්‍රැති ආදී පද යෙදේ. කෙනකුගෙන් අසා දැන්ගන්නා සාමාන්‍ය දේ ‘සුත’ නැතහොත් ‘ශ්‍රැතිය’ ලෙස සඳහන් කළ හැකි ය. මෙම ‘අනුශ්‍රව’ යන පදය යෙදී ඇති අර්ථ සන්දර්භය සැලකිල්ලට ගන්නා විට, අර්ථ තුනක් යෝජනා කළ හැකි බව මහාචාර්ය කේ. එන්. ජයතිලක මහතා පෙන්වා දේ. ඒවා නම්,

දේවානාවරණය, අධිකාරී සම්ප්‍රදාය, වාර්තාව ය.

මේ සඳහා බහුලව භාවිත වන වදනක් වනුයේ ශ්‍රැතිය යන්න යි. කෙනකුගෙන් අසා දැනගන්නා සාමාන්‍ය දේ ශ්‍රැතිය යැයි සරල ව දැක්වේ. වර්තමානයෙහි අධ්‍යාපනය යන පදයෙන් අදහස් කරන කාර්ය පටිපාටියේ ගුරුවරයාගෙන් අසා දැන ගන්නා දේ ශ්‍රැති සංඛ්‍යාවට අයත් වේ. ගුරුවරයාගෙන් අසා දැනගන්නා දේ ප්‍රතික්‍ෂේප කිරීමේ උපදේශයක් බුදු දහමේ නැත. එයින් ප්‍රකට වනුයේ ශ්‍රැතියට කිසියම් අර්ථයක් ආරෝපණය කිරීමට බුදු දහම පසුබට නොවන බවයි.

‘සුත’ යන පදය බුදු දහම තුළ ඉතා ප්‍රකටව පෙනෙනුයේ සූත්‍රාරම්භයේ යෙදෙන ‘ඒවං මේ සුතං’ යන වාක්‍ය තුළ ය. එහි අර්ථය වනුයේ ‘මා විසින් මෙසේ අසන ලදි’ යනුවෙනි. ඒ අනුව මෙහි සඳහන් ‘සුතං’ පදයට අනුව පාලි ත්‍රිපිටකයට අයත් සූත්‍ර දේශනා ද ශ්‍රැති සංඛ්‍යාවෙහිලා ගැනේ. මෙම සූත්‍ර දේශනා ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේ දී අනඳ තෙරණුවන් විසින් ඉදිරිපත් කළ අතර, සූත්‍ර දේශනාවේ යම් වරදක් වේ නම්, එයින් මිදෙනු පිණිස ‘ මාගේ ඇසීම මෙසේ ය’ යන ප්‍රකාශය සිදු කර තිබේ.

සන්දක සූත්‍රයට අනුව, සන්‍දක පිරිවැජියා හට කරුණු දක්වන අනඳ තෙරණුවෝ පවසනුයේ මෙලොව සමහර ආගමික ශාස්තෘවරු ශ්‍රැතිය පදනම් කරගෙන හා එය ම ප්‍රාමාණික වශයෙන් ගෙන සත්‍ය ලෙස ප්‍රකාශ කරන බවත්, අනුශ්‍රවය මත පිහිටා පරම්පරාවෙන්, පිටක සම්ප්‍රදායෙන් දහම් දෙසීම ද සිදු කරන බවත් ය. මෙහි දී අනුශ්‍රවයේ පැතිකඩ හතරක් දක්වා තිබේ.

සුස්සුතං තථා,
සුස්සුතං අඤ්ඤථා,
දුස්සුතං තථා,
දුස්සුතං අඤ්ඤථා

මනාකොට අසන ලද ප්‍රකාශන ඇතැම් විට සත්‍යය විය හැකි අතර, ඇතැම් විට අසත්‍ය විය හැකි ය. නො මනා ලෙස, නො මනා කොට ඇසූ ප්‍රකාශන ඇතැම් විට සත්‍ය හා අසත්‍ය විය හැකි බවයි. සන්දක සූත්‍රයෙහි අන්තර්ගතය විමසා බැලීමේ දී අර්ථවත් නොවූ මෙන් ම, නිවන් මඟට නොයන්නා වූ ආගමික මතවාද හතරක් හා ප්‍රතිඵල රහිත වූ, මිථ්‍යා මාර්ගයේ ගමන් කරන ආගමික මතවාද හතරක් පෙන්වා දේ. ‘ආගම’ යන වචනය බුද්ධකාලීන සමාජය තුළ ‘බ්‍රහ්මචරිය’ යන්නෙන් දක්වා තිබේ. ඒ අනුව මූලික ව සඳහන් කළ මතවාදයන් සැලකෙන්නේ ආගමික නොවන එහෙත් ආගම හැටියට පිළිනොගෙන ය. ඒවා සඳහා ‘අබ්‍රහ්මචරිය’ වශයෙන් සඳහන් කර තිබේ. දෙවන වර්ගයට අයත් ආගමික සංස්ථාවල ස්වරූපය නම් ඒවායේ ආගමක ඇති උපයෝගීතාව ඇතත් ඒවා විශ්වාසය තැබිය නොහැකි වර්ගයේ ආගම් ලෙස ය. ‘අනස්සාසික’ යන වචනයෙන් දක්වා ඇත්තේ විශ්වාසය තැබිය නොහැකි යන්නයි. ඒ අනුව විමුක්තියක් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි වුවත් ආගමකින් කෙරෙන බොහෝ දේ ආගම් වශයෙන් මෙහි දක්වා ඇත. අනස්සාසික බ්‍රහ්මචරිය ගණයට අයත් වන ආගම් අතර, ශාස්තෘන් වහන්සේගේ මුවින් ම අසා දැනගත් ඉගැන්වීම් හැටියට පිළිගෙන ඇති ආගම් සඳහන් කොට තිබේ.

මෙම ආගම්වල පදනම වනුයේ ශ්‍රැතිය යි. සූත්‍රය තුළ ශ්‍රැතියේ ඇති ස්වභාවයන් තුනක් පෙන්වා දේ.

මනාව අසාගත් දේ සත්‍ය වීමට ඇති ඉඩකඩ

මනාව අසා නො ගත් දේ ද සත්‍ය වීමට ඇති ඉඩකඩ

මනාව අසා ගත්තත් මතකයෙන් ගිලිහී යාමට ඇති ඉඩකඩ

ඒ අනුව ශ්‍රැතිය පදනම් කරගත් සියලු ආගම් ‘විශ්වාස කළ නොහැකි’ යන සංඛ්‍යාවෙහිලා බුදුසමය දක්වනු ලැබේ. හින්දු ආගම, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ධර්මය වැටෙන්නේ ද මේ සංඛ්‍යාවට ය. හින්දු ධර්මය ‘වේදය’ පදනම් කොටගෙන ගොඩනැඟී ඇති අතර, වේදය පැවරෙනුයේ ලෝක නිර්මාපක දෙවියන්ට ය. හින්දු සාහිත්‍යයට අනුව බ්‍රහ්ම, ප්‍රජාපති ආදී විවිධ නම්වලින් බ්‍රහ්මයා හඳුන්වා තිබේ.

වේදය මහා බ්‍රහ්මයා විසින් ‘මනු’ නම් වූ ආදි පුරුෂයාට ප්‍රකාශ කරන ලද අතර, ඔහුගෙන් ඍෂිවරුන් වෙත පත්ව, පරපුරෙන් පරපුරට පැමිණි බව සඳහන් වේ. බුද්ධකාලය වන විට පැවතියේ අනාදිමත් කාලයක් පුරා මේ අයුරින් ශ්‍රැතිය පදනම් කොටගෙන පැවති වේදය යි. චංකී සූත්‍රය තුළ දී එය හැඳීන්වීමට පද තුනක් සඳහන් කර තිබේ.

ගීතං,
පවුත්තං,
සමිහිතං

ඒ අනුව ගීතයෙන් පවත්වාගෙන ආ, එකට බැඳුණු සාහිත්‍ය ‘වේදය’ නමින් හැඳීන්වෙන බවයි. මේ අනුව අනුශ්‍රවය තුළින් එක ම මොහොතක ප්‍රතිඵල දෙකක් ලබාදෙන අතර, එය සත්‍ය හෝ අසත්‍ය විය හැකි බැවින් මුළුමනින් ම ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. එහෙත් සත්‍ය වටහා ගැනීමෙහි ප්‍රාමණිකයක් නොවේ.

අංගුත්තර නිකායාගත කාලාම සූත්‍රය තුළ අන්තර්ගත කාලාම ධර්ම අතුරෙන්

තක්ක,
නය,
ආකාර පරිවිතක්ක,
දිට්ඨිනිජ්ඣානක්ඛන්ති

සංකල්ප ද සත්‍ය විග්‍රහ කිරීමේ දී වැදගත් වේ. මේ අතුරෙන් අවසන් කරුණු දෙක චංකී සූත්‍රය තුළ ද අන්තර්ගත වේ.

තර්කය

‘තක්ක’ යනු සත්‍ය පිළිබඳ විමර්ශනයේ දී තර්කානුකූල ව කරුණු ඉදිරිපත් කිරීම යි. එයින් සත්‍ය වටහා ගැනීමට නොහැකි ය. තර්කයෙන් කරුණු දැක්වීමේ දී ‘තක්ක පරියාහතං විමුංසානුචරිතං’ විමර්ශනය සිදු කරන බවත්, ‘සයං පටිභානං’ ඒ ඔස්සේ ඇති වූ වැටහීම මත කරුණු දක්වන බවත් ය. ඒ අනුව කිසිවක් තර්කයෙන් හෝ හුදු විමසීමෙන් හෝ ස්වයං සිද්ධ සත්‍ය හැටියට හෝ ඉදිරිපත් කළ නොහැකි ය. බුදුරදුන් තර්කයෙහි පිහිටා දහම් දෙසන්නකු හැටියට පෙනී නො සිටියහ. ඊට හේතුව තර්කය ස්වභාවයෙන් ම මුසාවාදය ඉදිරියට පැමිණවීමේ සාධක වීම ය. සුත්ත නිපාතයෙහි සඳහන් ප්‍රකට ප්‍රකාශනයක් මෙසේ දැක්විය හැකි ය.

සක්කං ච දිට්ඨිසු පකප්පයිත්වා
සච්චං මුසාති ද්වය ධම්මමානෝ

යම් මතවාදයක් පිළිබඳ තර්කය යෙදීම තුළින් සත්‍ය හා මුසාව යන ද්වයතාව ඇති වන බවයි. සන්දක සූත්‍රයට අනුව තර්කයෙන් ලැබෙන ප්‍රතිඵලය සතරාකාරව පෙන්වා දේ.

සුතක්කිතං තථා (නිවැරදිව තර්ක කළ මෙන් ම සත්‍ය වූ)

සුතක්කිතං අඤ්ඤථා

(නිවැරැදිව තර්ක කළ අසත්‍යය වූ)

දුතක්කිතං තථා (වැරදි ලෙස තර්ක කළ එහෙත් සත්‍ය වූ)

දුතක්කිතං අඤ්ඤථා (වැරැදි ලෙස තර්ක කළ එමෙන් ම අසත්‍ය වූ)

යන ලෙසින් යහපත් ලෙසින් නිවැරැදිව සිදු කළ තර්කයෙන් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රතිඵල ද ලැබෙන බවත්, වැරැදි ලෙස සිදු කළ තර්කයෙන් විටෙක සත්‍ය ද අසත්‍ය ද යන දෙයාකාරයෙන් ම ප්‍රතිඵල ලැබෙන බවක් ය. මේ අනුව තර්කය තුළින් ගොඩනැඟෙන මතවාදය සත්‍ය හෝ අසත්‍ය වීමට ඉඩකඩ ඇති බව පැහැදිලි ය. තර්කයෙන් සත්‍ය සෙවීමේ දී කිසියම් අනුමානයක් (තර්කයක්) පදනම් කරගෙන හෝ ප්‍රත්‍යවේක්‍ෂණයක් තුළින් ස්වකීය මතවාදය ඉස්මතු කරලීම සිදු වේ. ඒ නිසා සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තර්කය මූලික නොවන බව පැහැදිලි ය.

න්‍යාය

‘නය’ යන සංකල්පය ද ප්‍රස්තුතයක සත්‍යතාව විභාග කිරීමේ එක් මාර්ගයක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙම පදය අර්ථ දෙකක් ව්‍යවහාර කරයි.

මතවාදය, අනුමානය යනුවෙනි. මුල් බුදුසමය සත්‍යයේ ප්‍රමාණ දෙකක් අවධාරණය කරයි. එනම් ප්‍රත්‍යක්‍ෂය හා අනුමානය යි.‘අනුමානය’ හේතුඵල සංතතිය මඟින් තහවුරු වන සෑම අවස්ථාවක දී ම පිළිගත යුතු බව දක්වා ඇත. එසේ නොවන අනුමානය බැහැර කළ යුතු ය. ‘මතවාදය’ යන අරුතින් නය යන පදය භාවිත වන විට, මතවාද හුදෙක් පෞද්ගලික වන බැවින් සත්‍ය විනිශ්චය කිරීමේ දී ඒවා බැහැර කළ යුතු යැයි උපදෙස් දී තිබේ.

ආකාර පරිවිතර්කය

‘ආකාර පරිවිතක්ක’ යනු කරුණු සහිතව ඉදිරිපත් කළ හැකි අදහස් වලට ය. ශ්‍රද්ධාව පිළිබඳ කරුණු දැක්වීමේ දී බුද්ධිමය විශ්වාසයෙන් කරුණු අවබෝධයෙන් ඇති කරගන්නා ස්ථිරසාර ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව ලෙස පෙන්වා දී තිබේ. මෙහි ‘ආකාර’ යනු හේතූන් හෙවත් කරුණු හැඟවීම සඳහා යෙදී ඇති බවයි. කරුණු පරීක්‍ෂා කර බලා වටහාගත් අදහස් යන්න මෙහි සරලාර්ථය යි. වීමංසක සූත්‍රයේ දී මේ සඳහා කදිම නිදර්ශනයක් වේ. ‘බුදුරදුන් සම්මා සම්බුද්ධ යැයි ද, ධර්මය ස්වාක්ඛාත බව ද, සංඝ රත්නය සුප්‍රතිපන්නතාදී ගුණයෙන් සමන්විත යැයි සැලකීමට හේතු හෙවත් කරුණු (ආකාර) හෝ පදනම (අන්වයා) වශයෙන් තමන් ගනු ලබනුයේ කවරක්දැයි අනකුත් භික්‍ෂූන් විමසන්නේ නම් කෙසේ පිළිතුරු ලබා දෙන්නේ ද යනුවෙනි.

බුදුරජාණන් වහන්සේට පහළ වූ විතර්කයක් හැටියට දහම් දෙසීම හෝ නො දෙසීම නම් කොට ඇත. මෙයින් පෙනී යන්නේ විතර්කය එක් පාර්ශ්වයක් පිළිගන්නා විට අනෙක් පාර්ශ්වය ප්‍රතික්‍ෂේප වන බවයි. චංකී සූත්‍රය තුළ දී ආකාර පරිවිතර්කය තුළින් මතුවන සත්‍ය ස්වභාව හතරක් ඉදිරිපත් කරන බවයි.

සුපරිවිතක්කිතං තථා,
සුපරිවිතක්කිතං අඤ්ඤථා,
දුපරිවිතක්කිතං තථා,
දුපරිවිතක්කිතං අඤ්ඤථා

හොඳීන් කරුණු විමසා බලා සිතාගත් දෙය සත්‍ය වීමට මෙන්ම අසත්‍ය වීමට ද පුළුවනි. එසේම මැනවින් නොව, කරුණු විමසීමෙන් තොරව සිතා ගත් දෙය අහඹු ලෙස සත්‍යවීමට මෙන්ම අසත්‍යවීමට ද පුළුවනි.

මේ නිසා කරුණු විමසා බලා තේරුම් ගන්නා සියල්ල සත්‍ය නොවන බැවින් ද, එකම මොහොතේ ප්‍රතිඵල දෙකක් ලබා දෙන බැවින් ද, ආකාර පරිවිතර්කය සත්‍ය වටහා ගැනීමෙහි ප්‍රාමාණිකයක් නොවන බව පැහැදිලි ය.

දෘෂ්ටිවාදය

‘දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ යන ‘මතවාදය’ පිළිබඳව සිතින් කරන ලද ප්‍රත්‍යවේක්‍ෂාවන් සහිත ව ඇති කරගනු ලැබූ විනිශ්චයන්ගෙන් යුක්ත බවයි. තම වැටහීමට අනුව කිසියම් දෘෂ්ටියක් සත්‍ය ලෙස පිළිගැනීමයි. මෙම සංකල්පය ද එක ම මොහොතේ ප්‍රතිඵල දෙකක් ලබා දේ. චංකී සූත්‍රය තුළ දී මෙම මතවාදය සිව් ආකාරයකින් විමසා බැලීමට උපදෙස් ලබා දේ.

සුනිජ්ඣායිතං යෙව තථා,
සුනිජ්ඣායිතං යෙව අඤ්ඤථා,
දුනිජ්ඣායිතං යෙව තථා,
දුනිජ්ඣායිතං යෙව අඤ්ඤථා

මනා ලෙස ප්‍රත්‍යවේක්‍ෂා කොට පවසන මතවාදය සත්‍ය වීමට පුළුවනි. එසේ ම අසත්‍ය වීමට ද පුළුවනි. එසේ ම අඩු අවබෝධයකින්, ප්‍රත්‍යවේක්‍ෂා නොකර දරන මතවාදය අහඹු ලෙස සත්‍ය වීමට මෙන් ම අසත්‍යවීමට ද පුළුවනි.

බුදුදහම තුළ සියලු ආකාරයේ දිට්ඨි ප්‍රතික්‍ෂේප කර තිබේ. දිට්ඨියක (දෘෂ්ටියක) ස්වභාවය නම් එකක් පමණක් සත්‍ය බවත්, අනෙක් සියල්ල අසත්‍ය යන නිගමනයට එළැඹීමයි. එය ‘දිට්ඨි පරාමාස’ හා ‘දිට්ඨි අභිනිවෙස’ යන පදවලින් දක්වා තිබේ. ඒ අනුව මෙය ද එක ම මොහොතේ ප්‍රතිඵල දෙකක් ලබාදෙන බැවින් සත්‍ය ලෙස පිළිගැනීමට නොහැකි ය.

පූර්වෝක්ත චංකී හා කාලාම සූත්‍රාගතව සඳහන් වන සත්‍ය වටහා ගැනීමේ දී උපකාරී වන නිර්ණායක වන ‘සද්ධා, රුචි, අනුස්සව, නය, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ යන සංකල්ප ප්‍රාමාණික වශයෙන් ගෙන යම් කරුණක් සත්‍ය ලෙස පිළිගැනීමට නොහැකි බව පැහැදිලි ය.