සිත
සිතෙන් ම රකින්න
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
කෙනකුට සිතෙනවා තවත් කෙනකුට රළු වචනවලින් බණින්න. ඒ සිතිවිල්ල ආවා කියලා ලොකු
ප්‍රශ්නයක් පටන් ගන්නේ නෑ. නමුත් හිතුණු විදිහට ම රළු පරුෂ වචනවලින් බණින්න පටන්
ගත්තොත්, ලොකු අවුලක් ආරම්භ වෙනවා නේද?
සිත ගැන අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මහ මුහුද වගේ කියලා.
මහ මුහුදේ රළගෙඩි දැක තියෙනවා නේද? ඒවා මොහොතක්වත් එක විදිහට තිබෙන්නේ නෑ. හැම
තිස්සේම එහෙට මෙහෙට පෙරළි පෙරළී තියෙනවා.
පෙරළි පෙරළී තිබෙන රළගෙඩි වගේ තමයි මේ සිත ඇතුළේ එන සිතිවිලි. අපිට දවසක් ඇතුළත
විතරක් කොයි තරම් නා නා ප්‍රකාර සිතිවිලි එනව ද කියලා අපිටම හිතාගන්නවත් බෑ නේද?
එහෙම පෙරළෙන සිතිවිලි අතරේ අපිට බොහොම අයහපත පිණිස පවතින සිතිවිලි තියෙනවා. ඔන්න
කෙනෙක්ට සිතිවිල්ලක් එනවා තව කෙනකුට ගහන්න ඕනි කියලා. සිතිවිල්ල ආපු සැණින් ලොකු
ප්‍රශ්නයක් නෑ නේද? නමුත් අපි ඒ සිතිවිල්ලට අනුව කය ක්‍රියාත්මක කළොත්, අපි රණ්ඩුවට
යන්න පටන් ගත්තොත්, ලොකු ප්‍රශ්නයක් ආරම්භ වෙනවා.
කෙනකුට සිතෙනවා තවත් කෙනකුට රළු වචනවලින් බණින්න. ඒ සිතිවිල්ල ආවා කියලා ලොකු
ප්‍රශ්නයක් පටන් ගන්නේ නෑ. නමුත් හිතුණු විදිහට ම රළු පරුෂ වචනවලින් බණින්න පටන්
ගත්තොත්, ලොකු අවුලක් ආරම්භ වෙනවා නේද?
එහෙමනම් තේරෙනවා නේද සිත ඇතුළේ ඇති වූ සිතිවිල්ල, සිත ඇතුළේ ම පාලනය කර ගන්න
පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් කියලා. ඒත් සිත පාලනය කර ගන්නේ මොකකින්ද? ඔව් ඒක
කරන්න තියෙන්නෙත් සිතෙන් ම යි.
සිත සිතෙන් ම රකින එක කවුද අපට කරලා දෙන්නේ? ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක කරගත
යුත්තේ අපි විසින්ම යි. නමුත් සිත සිතෙන් ම රකින විදිහ බුදුරජාණන් වහන්සේ අපට කියලා
දුන්නා. එය ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන්න අපි දක්ෂ වුණොත් සිත සිතෙන් ම රැක ගන්න
අපිට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සිත මහමුහුදක් නම්, ඒ සිත රකිනා වෙරළ සීලය යි.’ සීලය
නම් වූ වෙරළ තියෙනවා නම්, සිතේ සිතුවිලි නම් වූ රළගෙඩි කොයිතරම් දරුණුවට නැඟුණත්,
කයින් වචනයෙන් ඒ සිතුවිලි ක්‍රියාත්මක නොවෙන නිසා හානි සිදු වෙන්නේ නෑ. තමන්ගේ
සිතුවිල්ලත් කුසල මනසිකාරයකින් ටික ටික දමනය කර ගත්තා ම ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ම
අවසන්. හරියට වෙරළ තෙක් ආපු රළ ගෙඩි ආපසු හැරී යනවා වගේ.
මතක ඇති සුනාමි ව්‍යසනය. මුහුදු රළ වෙරළ ඉක්මවා ගියා. බලන්න කොයිතරම් විනාශයක්
වුණාද? ඒ වගේමයි, අපේ සිතුවිලි. සීලයකින් පාලනය වුණේ නැත්නම් මෙලොව පරලොව දෙලොවේ ම
අයහපත උපදින දේ තමයි අපේ ජීවිතේට එකතු වෙන්නේ.
සීලය කියන්නේ ජීවිතයක් තුළ පුරුදු කළ යුතු ම උතුම් වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ
ගිහි පින්වතුන් හට නිත්‍ය සීලය ලෙස දිවි තිබෙන තුරාම රක්ෂා කර ගන්න කියා දේශනා කොට
වදාළේ පංචසීලයයි.
කොයිතරම් සතුන් මැරීම උදෙසා සිතුවිලි නැඟුණත්, මම ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ කෙනා සතුන් මැරීමෙන් වළකිනවා. හිතන්න.... මම
නිසා මදුරුවෙක් වගේ සතකුටවත් භය හටගන්නේ නෑ නේද? මම සතුන් මැරීමෙන් වැළකුණු කෙනෙක්
නේද කියලා දැනෙද්දී ඒක තමාට කොයිතරම් සුවයක් ද.
සොරකමට ආසා සිතුවිලි නැඟුණත්, මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා
සිල්වත් වූ කෙනා සොරකම් කරන්නේ නෑ. මේ සමාජයේ සෙරෙප්පු දෙකක් ගලවලා යන්න බෑ, නැති
වෙනවා. පර්ස් එකක්, ෆෝන් එකක් ගැන කොයිතරම් බලාගන්න ඕනි ද. වටින චේන් එකක්,
මුද්දක්, අරුංගලයක් දාගෙන පාරේ යන්න බයයි. ගෙදරක මල් ගහක් තිබ්බත් ගලවගෙන යනවා.
මේ වගේ පරිසරේක තමන් නිසා කාගේවත් වස්තුවකට හානියක් නැති බව තමන්ට කොයි තරම් සුවයක්
ද.
මම වැරැදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා අවංකව සිල්වත්
වුණොත් කෙතරම් සුවයක් තිබෙනවා ද තමාගේ සෘජු අවංක පිරිසුදු ජීවිතේ ගැන.
බොරු කීමට සිතිවිලි නැඟණත් මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි,
කියලා සිල්වත් වූ කෙනා බොරුවෙන් වෙන්වීම නිසා තමා ගැන තමාට ම තිබෙන්නේ කොයිතරම්
සුවයක් ද.
මම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි යනුවෙන්
සිල්වත් වූ කෙනාගේ සිත කෙතරම් නම් සුවයක් ලබනවා ද? මත් බව නම් වූ ශාපයෙන් තමාට ම
ශාප කරගත් මිනිසුන්, ගැහැනුන් මැද ඔහු කො තරම් සුන්දර චරිතයක් ද.
බොහෝ වෙලාවට මේ රටේ දැන් දැන් මහා වටිනා දෙයක් වගේ උලුප්පන්න හදන අදහසක් තමයි මේ
කාලේ සිල් රකින්න බෑ. කවුද මේ කාලේ සිල් රකින්නේ, සිල් නො රකින පිරිසක් මැද අපි
සිල්වත් වෙලා අසරණ වෙයි. මේ වගේ නොයෙක් දුර්මත. අපි හොඳින් තේරුම් ගත යුතු දේ තමයි,
තමන්ගේ සීලයේ පිහිට ආරක්ෂාව තමන්ටම යි. අනිත් මිනිස්සු සිල්වත් ද, නැත්ද කියන දේ
තමාගේ සීලයට කිසිසේත් අදාළ නෑ. ඒ නිසා තරුණ වයසේ සිට ම සිල්වත් වෙන්න.
මොකද, භාග්‍යවතුන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්න කළා “නාකි වෙනකම්ම කරන්න හොඳ දේ
මොකක්ද?” කියලා. සියල්ල දන්නා, සියල්ල දක්නා අපගේ සම්බුදු රජාණන් වහන්සේ වදාළේ.
“වයසට යන තෙක් ම සිල්වත් වීම හොඳයි” කියලයි. ඒක තමන් කළොත් තමන්ට හොඳයි. අනිත්
කෙනෙක් සිල් රැක්කොත් ඒක එයාට හොඳයි. ඒ නිසා අනුන්ගේ සිල් හෝ දුස්සීලකම් හෝ තමාගේ
සීලයට පටලවා ගන්න තරම් දුර්වලයෝ වෙන්න එපා.
බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂූන්ට දේශනා කළා ‘මහණෙනි, සීලය තිබෙන්නේ සංවර වීම
පිණිසයි.” ඒ කිව්වේ අසංවරය වළක්වා ගැනීම පිණිස. සීලයෙන් සංවර වෙන්නේ කය සහ වචනය
කියන දෙක. චේතනාවක් පහළ කොට කය සංවර කර ගැනීම සීලය යි. චේතනාවක් පහළ කොට ම වචන සංවර
කිරීම සීලය යි.
ඒ ආකාරයට සිල්වත් වුණාම තිබෙන යහපත තමයි සිත විපිළිසර නොවීම. ඒ කිව්වේ සිත
පසුතැවෙන්නේ නෑ. මගේ මෙහෙම මෙහෙම වැරැදි අඩුපාඩු වුණා පසුතැවීම සිතට නො එන්න නම්
සිල්වත් වෙන්න ම ඕනි. ඒ සැනසීම අපිට මුදල්වලින්, බලයෙන්, උගත්කමකින් ගන්න
පුළුවන්කමක් නෑ. ඒ සැනසීම ජීවිතයට ලැබෙන්නේ සිල්වත් වීමෙන්ම යි.
රහතන් වහන්සේ මේ සීලය හැඳින්නුවේ උතුම් ආභරණයක් කියලයි. ඒ ආභරණයෙන් ඔබත් සැරසෙන්න.
කෙටි කලකට ලැබුණු මේ මනුස්ස ජීවිතේ සීලය කියන ආභරණයෙන් ලස්සන කර ගන්න.
ඒ සීල ආභරණයෙන් සැරසුණු කෙනාට මේ ලෝකයේ වාසය කරන සම්‍යක් දෘෂ්ටික යහපත් දෙවි
දේවතාවුන් පවා කැමතියි. මේ ලෝකයේ මිනිස්සු පළඳින සාමාන්‍ය ආභරණවලට ඇතැම් විට
මිනිස්සු ම කැමැති නෑ. දෙවියෝ පි‍්‍රය කිරීම ගැන කවර කතා ද. නමුත් සීල ආභරණය නිසා ම
දෙවියෝ පවා ඒ කෙනාට පි‍්‍රය වෙනවා.
දෙවිවරු කියන්නේ මිනිස් ශරීර පිළිකුල් කරන පිරිසක්. අපිට එළුවන්, ඌරන්, බැටළුවන්,
හරක් වගේ සත්තු ළඟට යද්දී වෙනමම ගඳක් දැනෙනවා වගේ දෙවියන්ට මේ මිනිස් සිරුර
පිළිකුලයි. නමුත් එබඳු දෙවියෝ සිල් රකින කෙනා ව මවක්, දරුවෙක් රකින්නා සේ රකිනවා.
දෙවියන්ගේ අනුකම්පාව ලබනා කෙනා හැම කල්හි ජීවිතයේ යහපත ම දකිනවා.
සිත සිතෙන් ම රකින කටයුත්ත, ඔය විදිහට සිල්වත් වීම මූලික කරගෙන පටන් ගන්න. සිතේ
රැකවරණය උදෙසා අවශ්‍ය කරන මූලිකම දෙයක් තමා සිල්වත් බව. අපි ළඟ සිල්වත් බවත්,
ශ්‍රද්ධාවත් තිබේ නම් එය දිවි ගමන සුන්දර කරන මහා ආශිර්වාදයක් වෙනවා ම යි. |