|
සත්‍යය යනු කුමක්ද? -
02:
සත්‍යයෙහි දාර්ශනික ස්වභාවය...
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
මිනිසුන් අවස්ථා පහක් හමුවේ අසත්‍ය පවසන බව මජ්ඣිම නිකායේ සාල්‍යෙයක සූත්‍රයේ දී
පෙන්වා දේ. එනම්,
සභාගතො - සභාවක දී
පරිසගතො - ගමෙහි පිරිසක් මැද දී
පූග මජ්ඣගතො -
රැකියා කරන අය අතර දී
ඤාති මජ්ඣගතො - නෑයන් මැද දී
රාජකුල මජ්ඣගතො - රාජ සභාවේ දී
යන ස්ථානවලට යම් ගැටලුවක් හෝ නඩුවක් හෝ සඳහා සාක්‍ෂි දීමට කැඳවූ කල්හි, කැඳවනු ලැබූ
තැනැත්තා විසින්,
දන්නා දෙයට නොදන්නා බව ප්‍රකාශ කිරීම. (ජානං වා ආහ න ජානාමි)
නොදන්නා දෙයට දන්නා බව ප්‍රකාශ කිරීම. (අජානං වා ආහ න ජානාමි)
නොදුටු දෙයට දුටු බව කීම. (අපස්සං වා පස්සාමි) හා
දුටු දෙය නුදුටු බව කීම. (පස්සං වා ආහ න පස්සාමි)
යනාදී ලෙසින් බොරු සාක්‍ෂි දීම හඳුනාගෙන තිබූ බව පැහැදිලි ය. කෙනකු එසේ කරනුයේ
කරුණු තුනකින් එකක් මඟින් මෙහෙයවීම මත බව සාල්‍යෙයක හට බුදුරදුන් පෙන්වා දේ. ඒවා
නම්,
තමාගේ ගැලවීම පිණිස
(අත්ත හේතු)
අන් කෙනකුගේ ගැලවීම පිණිස
(පර හේතු) හා
පගාව බලාපොරොත්තුවෙන්. මෙහි දී සුළු හෝ දෙයක් බලාපොරොත්තුවෙන් බව (ආමිස
කිඤ්චික්ඛ හේතු) පෙන්වා දී ඇත.
දැන දැන ම බොරු කීම මෙහිදී සිදු වේ. මෙයින් පැහැදිලි වන කරුණක් නම් අසත්‍ය හා බොරු
සාක්‍ෂි අතර සමීප සම්බන්ධතාවයක් පවතින බව ය. ඒ බව තවත් ප්‍රත්‍යක්‍ෂ වනුයේ වසල
සූත්‍රයේ සඳහන් වන (සක්ඛි පුට්ඨො මුසාබ්‍රෑති) ප්‍රකාශයෙනි. එනම් සත්‍යය නම් බොරු
සාක්‍ෂි දීමෙන් වැළකීම යි.
වරක් ත්‍රිවේද පාරප්‍රාප්ත කාපටික නම් තරුණ බමුණෙක් බුදුරදුන්ගෙන් විචාරණුයේ
“ගෞතමයෙනි, අප පැරණි බමුණු පඬිවරුන් විසින් ත්‍රිවේදාගත මන්ත්‍ර පිළිබඳ පවසනුයේ
මෙයම සත්‍යය බවත්, අන් සියල්ල හිස් (අසත්‍ය) බවත් ය. මෙම මතවාදය පිළිබඳ බුදුරදුන්ගේ
අදහස කුමක්දැයි හේ විමසා සිටී. ‘භාරද්වාජයෙනි,
මෙම අදහස තුළ දී මෙය ම සත්‍යය බවත්, අනෙක්වා හිස් යැයි පවසන එක ද බමුණෙක් හෝ
සිටින්නෙහිදැ යි විමසා සිටි අතර, එසේ කිසිවකු නොමැති බව කාපටික බමුණු තෙම පිළිවදන්
දේ. එසේ නම් මෙම මතවාදය පිළිබඳව දන්නා හත්වැනි පරම්පරාව තෙක් යම් ආචාර්ය
ප්‍රාචාර්යාදී බමුණෙක් සිටින්නේදැ යි විමසා සිටියහ. එසේ කිසිවකු නොමැති බව හේ
පිළිවදන් දුන්නේ ය.
ත්‍රිවේදගත මන්ත්‍ර කර්තෘ වූ පූර්ව ඍෂිවරුන් දැක හෝ නොමැති නම්, ඔවුන් පිළිබඳව
දන්නා අයෙක් හෝ නොවේ නම්, වේද මන්ත්‍ර කර්තෘ වූ ප්‍රවර්තක වූ බමුණන්ගේ පූර්ව යම්
ඍෂිවරයෙක් සිටියේ ද ඔවුන් විසින් එක් රැස්කළ, ගායනා කළ, වේද මන්ත්‍රපාඨ මෙකල බමුණන්
විසින් ඒ අනුව ගායනා කෙරේ.
එසේම පුරාණ ඍෂිවරුන් විසින් ‘ඉධමේව සච්චං මෝඝමඤ්ඤං’ යනුවෙන් පැවසූයේ ද එසේ දැන හෝ
දැක හෝ නොවේ ම ය. මෙහි දී බුදුරදුන් ඔවුන්ගේ එකී මතවාදය අන්‍ධවේණියකට සමකර සිටියහ.
අන්‍ධවේණියක (පරම්පරා විසින් බැඳුණු) අන්‍ධ පිරිසක් ඔවුන් එකිනෙකා යෂ්ටි කෙළවර
අල්ලාගෙන ගමන් කරන මුත්, එහි පළමු අන්‍ධයා හෝ මධ්‍යම අන්‍ධයා හෝ අවසන් අන්‍ධයා හෝ
නොදන්නා සේ ම, එකී බමුණන් එකනෙකා නොදක්නේ ය. එසේම බ්‍රහ්මයාගේ භාෂිතය අන්ධවේණියක්
බඳු ය. මෙසේ ඇති කල්හි බමුණන්ගේ ශ්‍රද්ධාව අමූලික වන බවත් ය.
මේ මොහොතේ කාපටික පවසනුයේ,
“සද්ධායෙව පයිරුපාසන්ති,
අනුස්සවා පෙත්‍ථ බ්‍රාහ්මණා පයිරුපාසන්ති”
විශ්වාසයෙන් (ශ්‍රද්ධාව) පිළිනොගන්නා අතර, අනුශ්‍රවය නිසා එසේ පිළිගන්නා බව ය.
බුදුරදුන් මේ මොහොතේ පවසන්නේ ‘භාරද්වාජයෙනි, මුල දී ඔබ ශ්‍රද්ධාව තුළ පිහිටා අදහස්
ඉදිරිපත් කළ අතර, දැන් ඔබ අනුශ්‍රවය කරා ගමන් කර තිබේ. සත්‍යයක් පැවසීමේ දී මුලින්
පැවසූ දෙය මැද දී හෝ අග දී හෝ වෙනස් නොවිය යුතු ය. එසේ ම ශ්‍රද්ධාවට වඩා ප්‍රාමාණික
බවක් අනුශ්‍රවය තුළ නොමැති බවත් ය. කරුණු පහක් ඒ මොහොතෙහි ම ප්‍රතිඵල දෙකක් නියෝජනය
කරන බවත් වදාළහ.
සද්ධා, රුචි, අනුස්සව, ආකාරපරිවිතක්ක හා දිට්ඨි නිජ්ඣානක්ඛන්ති
මෙම කරුණු පහ අතුරෙන් අවසන් ත්‍රිත්වය කාලාම සූත්‍රයේ ද සඳහන් වේ. මෙම කරුණු හමුවේ
යමක් පිළිගැනීමේ දී ‘දිට්ඨෙව ධම්මෙ ද්වේධා විපාකා’ දෙයාකාරයක ලක්‍ෂණ ප්‍රකට කරන
බැවින් සත්‍යය ලෙස එකවර ම පිළිගැනීමට නොහැකි ය.
‘ශ්‍රද්ධා’ යනු විශ්වාසය මූලික කරගෙන ඇති වන ප්‍රසාදය යි. බෞද්ධ නිර්වාණගාමී
ප්‍රතිපදාවේ පළමු පියවර වන ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව හා අකාරවතී ශ්‍රද්ධාව
යනුවෙන් කොටස් දෙකකට බෙදේ. මෙහි අමූලික ශ්‍රද්ධාව යනු කරුණු පිළිබඳ නිසි අවබෝධයෙන්
තොරව, දර්ශන මාත්‍රයෙන් පමණක් ඇති කරගන්නා ප්‍රසාදය හා විශ්වාසය යි. බුද්ධිමය
විශ්වාසයක් ඇති කර ගැනීමට යම් අයකුට ප්‍රමාණවත් ‘හේතූන්’ හෙවත් ‘කරුණු’ හැඟවීමට
මෙහි ‘ආකාර’ යන්න යෙදී ඇත. එම නිසා හුදෙක් හේතූන් මත ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්
පමණක් යමක් සත්‍යය ලෙස නොපිළිගත යුතු යැයි පෙන්වා දේ. ඒ ඔස්සේ ඇති කරගත් බුද්ධිමය
අවබෝධය හෙවත් විශ්වාසය මූලික කරගත් ශ්‍රද්ධාව ආකරවතී ශ්‍රද්ධාව ලෙස පෙන්වා දිය හැකි
ය. මෙම අවස්ථාවේ පෙන්වා දෙන ශ්‍රද්ධාව වූ කලි බෞද්ධ නිර්වාණගාමී මූලික ව පෙන්වා දෙන
ශ්‍රද්ධාව නොවේ. එදිනෙදා ජීවිතයේ දී ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි ප්‍රසාදය හා
විශ්වාසය මූලික කරගෙන ඇතිවන තත්ත්වයකි. ඒ නිසා එවැනි විශ්වාස මූලික කරගෙන හටගන්නා
ශ්‍රද්ධාවෙන් යමක් නොපිළිගත යුතු ය. චංකී සූත්‍රය තුළ දී මෙහි ලක්‍ෂණ හතරක් පෙන්වා
දේ.
සුසද්දහිතං තථා, සුසද්දහිතං අඤ්ඤථා, දුසද්දහිතං තථා හා
දුසද්දහිතං අඤ්ඤථා යනුවෙනි.
මනා වූ ශ්‍රද්ධා පූර්ව විශ්වාසයෙන් පිළිගන්නා ඇතැම් දෑ සත්‍ය විය හැකි අතර, අසත්‍ය
ද විය හැකි ය. එසේම විශ්වාසයෙන් තොර සමහර වදන් සත්‍ය වීමට මෙන් ම අසත්‍ය වීමට ද ඉඩ
තිබේ. ඒ නිසා සත්‍යය තෝරා ගැනීමේ දී ශ්‍රද්ධාව යනු ප්‍රාමාණිකයක් නොවන බැවින් එහි
දෙයාකාර ප්‍රතිඵල ලබාදෙන බව පෙන්වා දේ.
‘රුචි’ යනු කැමැත්තයි. සිය කැමැත්තට අනුව යමක් පිළිගැනීම රුචියයි. අප ඇසුරු කරන
බොහෝ දෙන අතර, තම කැමැත්ත හෙවත් රුචිය මත යම් යම් දෑ සත්‍ය වශයෙන් පිළි ගනී.
රුචියෙහි ලක්‍ෂණ සතරාකාරව දැකිය හැකි ය. චංකී සූත්‍රයට අනුව,
සුරුචිතං යෙව තථා, සුරුචිතං යෙව අඤ්ඤථා, දුරුචිතං යෙව තථා, දුරුචිතං යෙව අඤ්ඤථා
යනුවෙනි. තම යහපත් රුචිය මූලික කරගෙන පිළිගන්නා ඇතැම් දෑ සත්‍ය වන්නා සේ ම, විටෙක
අසත්‍ය වීමට ද ඉඩ තිබේ. අකැමැත්තෙන් හා අප්‍රසාදයෙන් පිළිගන්නා දෑ විටෙක සත්‍ය
මෙන්ම අසත්‍ය වීමට ද ඉඩ තිබේ. චංකී සූත්‍රය තුළ පෙන්වා දෙන්නේ රුචිය සත්‍යය සඳහා
ප්‍රාමාණිකයක් නොවන බවත්, එහි විපාක දෙයාකාරයකින් ලැබෙන බවත් ය. |