Print this Article


මවුපිය ගුණ වරුණ

මවුපිය ගුණ වරුණ

අපගේ ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ මවුපිය ගුණ දන්න උත්තමයන් වහන්සේ අතර ප්‍රධානයි. උන්වහන්සේ අති උතුම් බුද්ධරාජ්‍යය පවා ප්‍රාර්ථනා කිරීම සිදුවන්නේ මීට විසි අසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට පෙර සිදුකළ මවුපිය උපස්ථාන කුසලයක් මුල්කරගෙනයි. අප මහ බෝසතාණන් වහන්සේ ජාති සිය දහස් ගණන් මවුපිය උපස්ථානය ඉතා විශිෂ්ට ලෙස ඉටු කරලා තිබෙනවා. මහ බෝසතාණන් වහන්සේ තිරිසන්ගත සතුන්ව උපන් ආත්මභාවලදී සිහිනුවණින් මවුපිය උපස්ථාන සිදු කළ චරිත ගැන ජාතක පොතේ සඳහන් වෙනවා.

අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පැමිණ අවුරුද්දක් පිරෙන වෙසක් පුන් පොහෝ දිනයේ විසි දහසක් රහතන් වහන්සේ පිරිවරාගෙන කපිලවස්තුපුර නුවරට වැඩම කොට අන්තර් වීථියේදී රජතුමාට දහම් දෙසා සෝවාන් ඵලයට පත් වූවා. රජ වාසලට වැඩම කොට දහම් දෙසා පිය මහ රජතුමා සකදාගාමී ඵලයේ පිහිටෙව්වා. අටවන දවසේ දී අනාගාමී ඵලයේ පිහිටෙව්වා. එයින් වසර තුනක් ගත වීමෙන් පිය මහරජතුමා ගිලන්ව සයනයේ සිටින විට එතැනට වැඩම කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දහම් දෙසා පිය මහරජතුමා අරහත් ඵලයෙන් නිවන් පුරයට පමුණුවා වදාළ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ පීතෘපස්ථානය යි.

බුද්ධත්වයෙන් අවුරුදු හතක් පිරෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී යමක මහා ප්‍රාතිහාර්ය පාමින්, බුදු මහිමය ලෝකයාට විදහා දක්වමින් තව්තිසා භවනට වැඩම කොට දස දහසක් ලෝක ධාතුවලින් පැමිණි දෙවියන් බ්‍රහ්මයන් මධ්‍යයේ දී මාතෘ දිව්‍ය රාජයාට අතිගාම්භීර අභිධර්මය දේශනා කොට වදාළා. බණ අසා අසූ කෝටියක් දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු මාතෘ දිව්‍යරාජයා සෝවාන් මාර්ග ඵලයෙන් නිවන් අවබෝධ කර ගත්තේ එදා දවසේ දී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අති උතුම් මාතෘ උපස්ථාන නිසයි.

තමන් වහන්සේගේ සුළු මෑණියන් වහන්සේ වන මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේටත් උපස්ථාන සිදුකිරීම් වශයෙන් බුද්ධ ශාසනයේ මෙහෙණි සස්නේ පැවිද්ද ලබා දී අවවාද අනුශාසනා කර, භාවනා කමටහන් ලබා දී උත්තම අරහත්භාවයෙන් අමාමහ නිවන්පුර පමුණුවා වදාළා.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරලා තියෙනවා, ලෝකයේ මව සහ පියා යන දෙදෙනාට ප්‍රත්‍යුපකාර පහසු නැත කියා. අවුරුදු සියයක් ආයු ඇත්තා වූ, අවුරුදු සියයක් ජීවත් වන්නා වූ දරුවෙක් එක් උරහිසකින් තම මව ද, අනෙක් උරහිසෙන් තම පියා ද උසුලා ගෙන ඔවුන්ට සුවඳ ගැල්වීමෙන්, ඇඟ පිරිමැදීමෙන්, නෑවීමෙන්, අත් පා මිරිකීමෙන් උපස්ථාන කරන්නේ ද එතෙක් මවුපියන්ට උපකාර කළා වෙන්නේ නෑ. ප්‍රත්‍යුපකාර කළා වෙන්නේ නෑ. යමෙක් සත්රුවන් ඇති මහ පොළොවට අධිපති වූ සක්විති රාජ්‍යයේ මවුපියන් පිහිටුවා ද, එතෙකින් ද, මවුපියන්ට උපකාර කළා වෙන්නේ නෑ. ප්‍රත්‍යුපකාර කිරීම කළා ද වෙන්නේ නැත කියා. කුමක් හෙයින් ද මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ දිවි පවත්වන්නෝ ය. දරුවන් පෝෂණය කරන්නෝ ය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝ ය.

එසේ නමුත් දරුවෙක් ශ්‍රද්ධාව නැති මවුපියන් ශ්‍රද්ධා සම්පතිත්යේ පිහිටුවා ද, දුස්සීල වූ මවුපියන් සීල සම්පත්තියේ පිහිටුවා ද, මසුරු වූ මවුපියන් ත්‍යාග සම්පත්තියේ පිහිටුවා ද, ප්‍රඥා විරහිත මවුපියන් ප්‍රඥා සම්පත්තිය සමාදන් කරවා ද, එතෙකින් මවුපියන්ට උපකාර කළා වන්නේ ය. ප්‍රතිඋපකාර කළා ද වන්නේ ය. අධික කොට උපකාර කළ දරුවෙක් බවට පත් වන්නේ ය කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පහදා වදාළා.

භාග්‍යවතුන් වහන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කර තිබෙනවා යම්කිසි දරුවකුට මවුපියන්ට උපස්ථාන කිරීමට හැකියාව තිබියදීත් උපස්ථාන නොකර හරිනවා නම්, එම දරුවා දෙලොව ම පිරිහීමට පත්වෙන පරාභව ධර්මයක් බව. තවද මවුපියන්ට උපස්ථාන නොකරන දරුවා වසලයෙක් බව වසල සූත්‍රයේදී දේශනා කර තිබෙනවා. මංගල සූත්‍රයේ දේශනා කර තිබෙන්නේ මවුපිය උපස්ථානය මෙලොව දියුණුවටත්, පරලොව සුගතියටත්, ශාන්ත නිවනටත් හේතු වන මහා මංගල ධර්මයක් හැටියටයි. සිඟාලෝවාද සූත්‍රය දේශනා කර තිබෙන්නේ මවුපියවරු නැඟෙනහිර දිශාවටයි. ඔවුන්ට කරුණු පසෙකින් සංග්‍රහ කළ යුතු බවයි.

සිඟාලෝවාද සූත්‍රයේ මවුපියන්ට සංග්‍රහ කළ යුතු කරුණු පහක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. කුඩා කල පටන් හදා වඩාගත් මවුපියන් වයස්ගත වූ විට ගුණවත් දරුවෝ මවුපියන්ට උපස්ථාන කරනවා. ඇඳුමෙන්, පැලඳුමෙන්, බෙහෙතෙන් හේතෙන් ඇප උපස්ථාන කරනවා. මේ පළමු වන උපස්ථානය යි. මවුපියන්ට කෙරෙන්නට තිබෙන ගමන් බිමන්, වැඩ රාජකාරි කටයුතු වෙහෙසෙන්නට නොදී, වැස්සේ තෙමෙන්න නොදී තමා ඒ මවුපියන්ගෙන් කෙරෙන සියලු කටයුතු සිදුකර දෙනවා නම් මේ දෙවන උපස්ථාන අංගයයි. මවුපියන් විසින් පවත්වා ගෙන පැමිණි ආගමික චාරිත්‍ර, දාන මාන පින්කම් ආදිය කඩ නොකර දිගින් දිගටම ඒවා පවත්වනවා නම් එය තුන්වන මවුපිය උපස්ථානය යි. මවුපියන් හරිහම්බ කරගත් දේ, ගේ, දොර, ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, ඇඳුම් පැලඳුම් මේවා කිසිවක් නැති නාස්ති නොකර ආරක්ෂා කර දෙනවා නම් මෙය මවුපියන්ට කරන හතර වන උපස්ථානයයි. යම් කාලයක ආයු කෙළවර මවුපියන් පරලොව සැපත් වූවා නම්, එදා පටන් මවුපියන්ට කුසල කර්ම කොට පින්පෙත් පමුණුවනවා නම් මෙය පස්වන උපස්ථානයයි.

මවුපියෝ කියන්නේ දරුවන්ගේ බ්‍රහ්මයෝ ය. මවුපියන්ට දරුවන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ තිබෙන බැවින් මවුපියන් බ්‍රහ්මයාට සම යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මවුපියන් කියන්නේ දරුවන්ගේ ආරක්ෂක දේවතාවෝ ය. මුල් ගුරු උතුමෝ ය. දරුවන්ගේ පූජනීය වස්තුවයි. පින්කෙතයි. එබැවින් නැණවත්, ගුණවත් දරුවන් බ්‍රහ්මයන් වැනි, දෙවියන් වැනි, ගුරුවරුන් වැනි, පින් කෙතක් බඳු මවුපියන්ට සැමදාම උදේ සවස නමස්කාර කළ යුතුයි. සත්කාර කළ යුතුයි. උස් ආසනයක තමා ඉන්නවා නම්, එයින් නැඟිට ආචාර කළ යුතුයි. මවුපියන්ට ආහාරයෙන්, පානයෙන්, ඇඳුමෙන්, පැලඳුමෙන්, බෙහෙතෙන්, හේතෙන් උපස්ථාන කළ යුතුයි. ඇඟ උලා නාවා පා දෝවනය කර හිස තෙල් ගල්වා ඇඟ පිරිමැදීමෙන් සම්බාහනය කර, ඇඳුම් සෝදා, වස්ත්‍ර පිරිසුදු කර දීමෙන් උපස්ථාන කළ යුතුයි.

මෙසේ උපස්ථාන කරනවා දැකලා මේ වගේ බෝසත් ගුණ ඇති දරුවන්ට තෙරුවන් සරණයි දෙවියන්ගේ ආරක්ෂාවයි. තව තවත් දියුණු වේවා, යහපතක් වේවා, ආයුෂ, වර්ණ සැප, බල, ප්‍රඥාවෙන් වැඩේවා කියලා මවුපියෝ ආශීර්වාද කරනවා. එවැනි දරුවන්ට මනුෂ්‍යයන් පමණක් නොවේ, අමනුෂ්‍යයන්, දෙවියන් පවා ආශීර්වාද කරනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේගේ ආශීර්වාදයට ලක්වෙනවා.

මේ ජීවිතයේ ම මේ වගේ ආනිශංස ලබන, සැප විහරණයෙන් ගත කරන, මවුපිය උපස්ථාන කරන ගුණවත්, නැණවත් දරුවන් ආයු කෙළවර ඒකාන්තයෙන් ම සුගතිගාමී වෙනවා පමණක් නොව, භවයක් පාසා ම නැණවත්, ගුණවත් කල්‍යාණ මිත්‍ර මවුපියන් ලබන්නට හේතු වන අතර, ඒ මවුපියන්ගේ පිහිටත්, ආශීර්වාදයත් ලබමින් සුව සේ පාරමී දම් පුරා පරම සුවය නම් වූ ශාන්ති ලක්ෂණ නිර්වාණයට සැපත් වීමට සමර්ථයෙක් වෙනවා කියා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.