Print this Article


නායකත්වයට ප්‍රඥාව

නායකත්වයට ප්‍රඥාව

අතීතයේ දඹදිව බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකු රාජ්‍ය කරන කාලයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුරු කුලයේ ඉපදුණා. අනතුරුව පන්සියයක් වූ වඳුරු රංචුවේ නායකයා බවට පත් වුණා.

හිමාලයේ තමන්ගේ පිරිසත් එක්ක කාලයක් ජීවත් වෙන විට ටිකෙන් ටික කෑම අඩු වී ගියා. බෝසත් වඳුරු නායකයා හිතුවා පිරිසත් රැගෙන රාජ උයනට ගියා නම් කෑම බීම යහතින් සපයා ගන්න පුළුවන් කියලා. ඉතින් තමන්ගේ පන්සියයක් වූ පිරිසත් සමඟ රජතුමාගේ වනෝද්‍යානයට ගියා. කෑම බීම ඇති වෙන්න තිබුණා. සතුටින් හැම දෙනාම සෙල්ලම් කර කර ජීවත් වෙන්න පටන් ගත්තා.

මේ උයනට ඇවිත් හිටියා තවත් වඳුරන් පන්සියයක්. ඒ පන්සිය දෙනාටත් නායකත්වය දුන්න වඳුරු නායකයෙක් හිටියා. රාජ උද්‍යානය දැක බලාගෙන නාගෙන යන්න ඕන කියා දවසක් රාජ පුරෝහිතයා උයනට ආවා. නිල් දිය පිරුණු පොකුණුවලින් ස්නානය කළා. බිසෝ මාලිගාවල සුවඳ විලවුන් අලේප කරමින් සුවඳවත් වුණා. උයන් පාලකයාට ස්තුති කරලා හරිම සතුටින් නැවතත් මාලිගාවට යන්න පිටත් වුණා. උයනට ඇතුළු වෙන තැන තියෙනවා රටේ රාජ ලාංඡනය සහිත අලංකාරවත් මහා ප්‍රතාපවත් තොරණක්. ඔතැනින් යන විට උයනේ හිටිය එක වඳුරෙක් පුරෝහිතයාගේ ඔළුවට වර්චස් පිඬක් දමලා ඒක දිහා බල බල විනෝදයට පත් වුණා. පුරෝහිත බැලුවා මොනවද ඔළුවට වැටුණේ කියලා. අතින් හිස අතගාලා බැලුවා. අත පුරාම ගෑවුණා දියරයට තිබුණු වර්චස්. දැන් මුළු අතම දුගඳයි. කෝපයෙන් උඩ බැලුවා කවුද මේ වැඩේ කළේ කියලා. වඳුරා එතකොට ම තවත් වර්චස් පිඬක් දැම්මා. ඒ ටික ගිහින් වැටුණා කටට. අනෙක් අතින් ඒ ටික පිහල දානකොට මුහුණ පුරාම ඒවා ගෑවිලා ගියා. දැන් අත් දෙක ම දුගඳයි. ඒ විතරක් නෙවෙයි කෙස් ටිකත් හිසත් දුගඳ හමනවා. මාලිගයට යන්න පුළුවන්කමකුත් නැහැ. යහළුවන්ට, රාජ්‍ය නිලධාරීන්ට, මගතොටේදී හමුවෙන අසල්වැසියන්ට, රටවැසියන්ට පවා මුහුණ දෙන්න බැරි වුණා. පුදුම විදිහට අසරණ වුණා. නැවතත් උඩ බලන කොට ඒ වඳුරා අත්තෙන් අත්තට පැන පැන ඈතට යන්න යනවා දැක්කා. පුරෝහිත කෝපයෙන් බැනවදිමින් එතැනින් යන්න ගියා. මේ සිදුවීම් සියල්ල ම දැක්කා හිමාලයේ ඉදලා ආපු අනෙක් වදුරු රංචුව. ඒ මොහොතෙ ම ගිහින් තමන්ගේ නායක වඳුරාට සිදුවීම කියා සිටියා.

‘ස්වාමිනි, අපි දැක්කා අර වඳුරු රංචුවේ වඳුරෙක් පුරෝහිතගේ හිසටත්, මුහුණටත්, කටටත් වැටෙන්න වර්චස් කරපු හැටි. එතුමා බොහෝම කෝපයෙන් පිටත් වුණේ. නායක බෝසත් වඳුරා සීල ගුණයෙනුත්, සමාධියෙනුත්, ප්‍රඥාවෙනුත් යුක්ත නායකයෙකි. ඔහු සිතුවා දැන් මෙතැන හිටියොත් අපගේ සීල ගුණයටත්, අපගේ එකමුතුකමටත් බාධා එන්න පුළුවන්. ඒ බාධා නිසාම පිරිසට හානි පැමිණෙන්නත් පුළුවන්. මේ වගේ අසත්පුරුෂයන් ඉන්න තැනක තව මොහොතක් හෝ ජීවත් වීම ඉතා අවධානම්. නුවණැත්තෝ මේ වගේ අවස්ථාවල තමන්ගේ ප්‍රඥාව මෙහෙයවලා හොඳ තීරණයකට එන්න ඕන යි හිතා තමන්ගේ පන්සියයක් වූ වඳුරු සේනාව අමතා කියනවා.

‘මගේ මිතුරෙනි, මගේ ඥාතීනි, අද මේ වගේ සිදුවීමක් වෙලා තිබෙනවා. පුරෝහිතතුමා කෝපයට පත්වෙලයි ඉන්නේ. අපි නො කළ වරදකට අපව විනාශයට පවා පත් වෙන්න පුළුවන්. අන් අයගේ දෝෂවලට අපට දඬුවම් විඳින්න බෑ. ඒ වගේ නපුරු, චණ්ඩ, අසත් ගති ඇති අය දුරු කළ යුතු වෙනවා. අදම අපි මේ උයනින් නික්මී නැවතත් හිමාලයට යන්න ඕන. ඒකට සූදානම් වෙන්න‘යි උපදෙස් දුන්නා.

හැම දෙනාම ඉක්මනින් එතැනින් පිටත්ව හිමාලයට යන්න ගියා. දවසින් දවස ගෙවී ගොස් සති කිහිපයක් ම ඉක්ම ගියා. මේ කාලයේ රජතුමාගේ ඇත්ගාලට සමීපයෙන් පොඩි ගෙදරක මැහැල්ලක් ජීවත් වුණා. එයා කට්ටිය යොදවලා කුඹුරු වගා කරලා ආදායමක් උපයා ගන්නවා. මේ කාලයේ ගොයම් මැඩලා වී ටික ගෙදරට ගෙනල්ලා වේලන්න පටන්ගෙනයි තිබුණේ. මේ වී වල සුවඳ ඉව වැටුණු එළුවෙක් හොරෙන් හොරෙන් ඇවිත් දවස් කිහිපයක් ම වී කන්න පටන් ගත්තා. දවසින් දවස වී අඩුවෙන නිසා මැහැල්ල හැංගිලා බලා හිටියා කුමක්ද වෙන්නේ කියලා. එතකොට දැක්කා වෙන දේ. පුදුම කේන්ති ගියා. ලිපට දමල තිබුණ ගිනි පෙනෙල්ලක් රැගෙන ඇවිත් දමල ගැහුවා. ඒක එළුවාගේ ඇගේ වැදුණා පමණක් නොවේ එළුවාගේ රෝම පිච්චෙන්න පටන් ගත්තා. ඒවා නිවා ගන්න හිතාගෙන ඌ දිව්වා ඇත්හලට. එහි තිබුණ තණ කොළවල පෙරළුණා. එතකොට ඒවාට ගිනි ඇවිලුණා. ටික ටික විශාල ගින්නක් බවට පත් වුණා. ඒ ගින්න පැතිරිලා ගොස් ඇත්හල කඩාගෙන වැටුණා. ඇත්හලේ හිටිය රජතුමාගේ මංගල හස්තිරාජයා මේ ගින්නෙන් වගේම වැටුණු ලීවලින් ඇඟ හැම තැනම පිච්චිලා ගිහින් තුවාල ඇති වුණා. රජතුමා මේ ගැන දැනගෙන ඇතා සුවපත් කරන්න රාජ්‍ය වෛද්‍යවරුන්ට බාර කළා. ඒ අය කිව්වා

‘රජතුමනි, ඇතා සනීප කරන්න අමාරුයි. බොහෝම තදින් පිච්චිලා තුවාල වී තියෙනවා‘ කියලා. වෛද්‍යවරුන්ගේ මේ කතාව අහපු රජතුමා පුරෝහිතයා අමතලා

‘පුරෝහිත, අපගේ ඇතා සුව කරන්න බෑ කියනවා. මේකට බෙහෙතක් කරන්න පුළුවන්දʼ කියලා ඇහුවා. එතකොට පුරෝහිත කල්පනා කරනවා “මට දැන් තමයි අවස්ථාව උදා වුණේ වඳුරන්ට හොඳ පාඩමක් උගන්වන්න යැයි සිතා

‘රජතුමනි, ඔය තුවාල සනීප කරන්න පුළුවන්. අපේ පරපුරෙන් පැවැත එන බෙහෙතක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ වඳුරු මාංශ ගෙන තෙල් හිදවලා ඒවා ගාන්න ඕන. ඉක්මනින්ම සුව වෙනවා‘යි කිව්වා. රජතුමා අහනවා වදුරෝ කොහෙද ඉන්නේ හොයා ගන්න කියලා. එතකොට පුරෝහිත කියනවා,

රජතුමනි, උයනේ පන්සියයක් විතර වඳුරෝ ඉන්නවා. ඒ අයගේ මාංස ගමු කියලා. ඊට පස්සේ රජතුමා දුනුවායන් කැඳවලා වඳුරු රංචුව ම මරණයට පත් කරන්න කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ ඊ පාරක් නායක වඳුරාට වැදුණා. ඔහු මොකද කළේ වේදනාව පිට ම ලේ හල හලා වහ වහා ජීවිතය බේරා ගන්න හිමාලයට ම දිව්වා. හිමාලයට ඇතුළු වෙන කොට ම සිහි නැතිව අපගේ බෝසත් වඳුරු නායකයා ඉදිරියේ ඇද වැටුණා. ඒ වඳුරාගේ දේහ ලක්ෂණ පරීක්ෂා කර බලන කොට දැන ගත්තා මේ උයනේ හිටිය නායක වඳුරා නේද කියලා.

තමන්ගේ පිරිස නැවතත් කැඳවලා බෝසත් වඳුරා කියනවා ‘සත්පුරුෂයන් ජීවත් වන තැනක ජීවත් වෙන්න. නැතිනම් එතැනින් වෙන තැනකට වහා යන්න. එහෙම නො වුණොත් තමන්ටත්, තමන්ගේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් ආදි හැම දෙනාට ම විනාශයක්මයි වෙන්නේ‘යි කියලා ධර්මාවවාද දුන්න ලස්සන වගේම ජීවිතයට ඉතාම වටිනා ධර්මෝපදේශ ඇතුළත් ජාතක කථාවක් ජාතක පොතේ තුන්සිය අනූඅටවන ජාතකය ලෙස සඳහන් වෙනවා.