Print this Article


හැකි හැම මොහොතකමසතුටින් දන් දෙන්න

හැකි හැම මොහොතකම සතුටින් දන් දෙන්න

අනුරාධපුර රාජධානිය පැවැති කාලයේ රජතුමාට ඉතා ආදරයෙන් වගේම ගෞරවයෙන් සේවය කළ රාජ පුරුෂයෙක් අගනගරයේ හිටියා.

දවසක් රාජ අණක් නිසා මේ සේවකයාට අගනගරයෙන් ඈත පිහිටි මුග්ගායතන නම් දනව්වේ කොට්ඨක කියන ගමට යන්න සිදු වුණා. ඒ ගමේ හිටිය මිනිස්සු මේ රාජ සේවකයා ආදරයෙන් පිළිගෙන ඇති පදමට රා බොන්න දුන්නා. එසේ කළේ රාජකාරි කටයුත්ත ලිහිල් කර ගන්නා අදහසින්. එදා රෑ පුරාම සිහිකල්පනාවකින් තොරව රාජ සේවකයා කට මැත දොඩවමින් විහිළු තහළු කරමින් රාත්‍රිය ගත කළා. තමන් ආපු රාජකාරිය අමතක ව ගියා. පහුවදා උදේ අවදි ව බලන විට තමන් වටා ගමේ මිනිස්සු ඉන්නවා. ඒ අයත් හරිම ආදරයෙන් වගේම, ගෞරවයෙන් අවශ්‍යතා හොයා බලමින් සලකනවා. රාජ පුරුෂයාට දැන් හරිම බඩගිනියි. ඒ නිසා ඇහුවා ‘මට පුදුම බඩගින්නක් තිබෙන්නේ. බත් එහෙම නැති ද? කියලා. ගමේ මිනිස්සු කිහිප දෙනෙක් පැත්තකට වෙලා

‘රජ්ජුරුවන්ගේ අණ ක්‍රියාත්මක කරන්න ආපු සේවකයානේ. අපි හොඳට සැලකුවොත් අයබදු එහෙම අඩුවෙන් ගනියි. ඒ නිසා හොඳට සලකමු‘යි කසුකුසුවේ කතිකා කරගෙන ඇවිත් කිව්වා. ‘මහත්මාණෙනි, ටිකක් ඉවසලා ඉන්න. අපේ නිවෙස්වල ඔබතුමා වෙනුවෙන් ම ආහාර සකසනවා කිව්වා. ඒ අනුව කිහිප දෙනෙක් ගෙවල්වලට ගිහින් එක ගෙදරක බත් සකසන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළා.

තවත් කෙනෙක් තමන්ගේ නිවෙසට ගොස් කුකුළු මාංශයක් සකස් කරන්න බිරියට බාර කළා. ඔහොම මාළු පිනි කිහිපයක් සකස් කරන්න ගෙවල්වලට නියම වුණා. ඉතින් පැයකින් විතර මේ රාජ පුරුෂයා නැවතී හිටිය ගෙදරට මේ කෑම ගෙනැවිත් කෑමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළා. මේ මාළු පිනිවල සුවඳ මුළු ගම පුරාම වගේ පැතිරිලා ගියා. මේ සුවඳට ඉව වැටුණු බඩගින්නෙන් පෙළුණු බැල්ලක රාජ පුරුෂයා හිටිය තැනට දුවගෙන ඇවිත් රාජ පුරුෂයාගේ බත් පිඟාන දිහා බලාගෙන හිටියා. කුකුළු මාංශය එක්ක අනාගත් බත් කට මුවට ළං කරන්න හදනකොට ම මේ අපිරිසිදු, දුගඳ හමන බැල්ල ඇවිත් ඉදිරියේ ඉන්නවා දැක්කා. ඇගේ කටින් කෙළ වැගිරෙනවා. හරිම අප්‍රසන්නයි. මේක දැකපු රාජ පුරුෂයාට පුදුම කේන්තියක් ආවා. තොල් දෙක හපා ගත්තා. දත් විලිස්සාගෙන මුහුණ රතු කර ගත්තා. පරුෂ වචනවලින් බැන වැදුණා. ඒ බැල්ල එළවන්න නොයෙක් දේ කළා. ඒත් ඇගේ අධික කුසගින්න නිසා ගියේ නෑ. රාජ පුරුෂයාගේ කේන්තිය එන්න එන්න ම වැඩි වුණා. ළඟ පාත දඬුු මුගුරක් වත් තිබුණේ නෑ දමල ගහන්න. කේන්තිය ඉවසා ගන්න බැරිම තැන බත් ගුලියකින් දමලා ගැහුවා. ඒ බත් පිඩ බැල්ලගේ ඇඟේ වැදුණා. පසුව බැල්ල ඒ බත් ටික රස කර කර කෑවා. රාජ පුරුෂයා නැවතත් බත් පිඩක් අනාගෙන අනුභව කළා. එතකොට තමයි දැන ගත්තේ ඒ බත් හා මාළු පිනි එතරම්ම රසයි කියලා. තමන්ගේ මුළු ශරීරය ම රසයෙන් පිනා ගියා. ඉතින් මේ රාජ සේවකයා හිතනවා මේ තරම් රසවත් බත් පිඩකින් නේද මම බැල්ලට පහර දුන්නේ. ඒක තමයි ඇය දුවන්නේ නැතිව ඒ බත් ටික කෑවේ. සතුටින් ඒ බත් ටික කෑවා නේද? මම පහර දීලාවත් ගියේ නෑ. මම බැනලවත් ගියේ නෑ. ඒත් ඇය සතුටින් බත් ටික කෑවා කියලා පසුව ඔහුගේ කේන්තිය නිවී ගිහින් හිතේ යහපත් චේතනාවක් ඇති වුණා.

ඒ නිවෙසේ මිනිස්සු අහළ පහළක හිටියේ නැති නිසා මේ ගැන කවුරුත් දැන ගත්තේ නෑ. කෑම කාලා අවසන් ව පැවරුණ රාජකාරි කටයුත්තත් සිදු කරගෙන එදා හවස ආයෙත් අගනුවරට යන්න පිටත් වුණා. අගනුවරට යන්න කෙටි මාවතක් වගේ ම දිගු මාවතකුත් තිබුණා.

කෙටි මාවත වැටිලා තිබුණේ ‘ඒරවස’ කියන මහා කැලෑව මැදින්. මේ වනයේ මං පහරන හොරු රංචුවක් ඉන්නවා. ඒ ගැන නො හිතා ඉක්මනින් යන අදහසින් කැලෑව මැදින් තිබු කෙටි අඩිපාරෙන් යන්න පිටත් වුණා. සොරු රංචුව මොහු අල්ලාගෙන ගමේ මිනිසුන් දීපු සියලු දේ ගෙන ඔහුව මරා දැම්මා. කාලක්‍රියා කළ මේ රාජ පුරුෂයා අගනගරයට ඈතින් පිහිටි ‘මලහලවෙහෙර’ නමින් ප්‍රසිද්ධ විහාරය තිබු ගමේ එක් පවුලක මව්පියන්ට දාව උපත ලැබුවා. මව්පියන් හරිම ශ්‍රද්ධා සම්පන්නයි. නිතර ධර්මයේ හැසිරෙනවා. ඒ වගේම සංඝයා වහන්සේට දන් දෙනවා. මේ නිසා දරුවාට ‘සංඝදත්ත’ කියලා නම් තැබුවා. ටිකින් ටික පුංචි දරුවා ළමා වයසට පත් වුණා. විහාරයට නිතර ගිය නිසාත්, භික්ෂූන්ගේ ඇසුර නිසාත් පැවිදි වීමේ චේතනාවක් පහළ වුණා. මව්පිය අවසරය ඇතිව පැවිදි වුණා. වත්පිළිවෙත් කරමින් බුදුන් වඳිමින් හොඳීන් පැවිදි ජීවිතය ගත කරන්නත් පුරුදු වුණා. මෙහෙම කාලය ගත කරද්දී ඒ ප්‍රදේශයට මහා නියං සමයක් පැමිණියා. ඒ නියං කාලය ‘බැමිණිටියාසාය’ කියල පහුකාලයේ හඳුන්වා තියෙනවා. මේ කාලයේ

‘මලහලවෙහෙර’ ගමේ හිටිය හැම දෙනා ම කෑම බීම තියෙන තැන්වලට පලා ගියා. සමහර අය ඉන්දියාවට පලා ගියා. මේ විහාරයේ හිටිය භික්ෂූන් වහන්සේ ද පිටතට වැඩම කළා. ඒ හැම දෙනා ම යන යන අවස්ථාවල දී විහාරයට ඇවිත් මේ ‘සංඝදත්ත’ භික්ෂුවට කියනවා.

‘ස්වාමිනි, එන්න අපිත් එක්ක බැහැරට යමු. ජීවිතය ගලවා ගනිමු‘යි කියලා. ඒ හැම වතාවේ ම කියන්නේ ‘

මේ බෝධීන් වහන්සේට, දාගැබ් වහන්සේට, බුද්ධ මන්දිරයට වතාවත් කරන්න කෙනෙක් නෑ හැමෝම ගියහම. මම ඒ ටික පුළුවන් කාලයක් කරමින් වැඩ ඉන්නවා‘යි කියලා. ගම්මානයේ කිසිම කෙනෙක් නැති විදිහට හැමෝම පිට පළාත්වලට යන්න ගියා. මෙහෙම පාළුවට ගිය ගම දිහා බලමින් දවසක් විහාරයේ ඉදිරිපස ඉඳගෙන කල්පනා කරමින් සිටින අවස්ථාවක අසල තිබු ගසකට අධිගෘහිත දෙවි කෙනෙක් පැමිණ

‘ස්වාමීනි, ඔබවහන්සේට මම දානයෙන් උපස්ථාන කරන්නම්. මෙහි වැඩ හිඳීමින් භාවනා කටයුතු, වත්පිළිවෙත් පුරන්න‘ යැයි ආරාධනා කළා. ඒ විදිහට ම දිව්‍ය ආහාරපාන හැමදාම සකස් කර පූජා කළා. දොළොස් අවුරුද්දක් ම මෙහෙම දිව්‍ය ආහාරපානවලින් උපස්ථාන කළා. අවසානයේ දැන ගත්තා මේ දිව්‍ය පුත්‍රයෙක් තමන්ට උපස්ථාන කරන්නේ කියලා. ඒ නිසා දවසක් ඒ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා

‘පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ මට දොළොස් අවුරුද්දක් උපස්ථාන කළේ මගේ කවර පුණ්‍ය මහිමයක් නිසා ද? මම පෙර ආත්මයක පසේ බුදුවරයකු හෝ බුදුවරයකු හෝ මහරහතන් වහන්සේ නමක හෝ පෘථග්ජන භික්ෂූන් වහන්සේ නමක හෝ සාමණේරයකු හෝ වෙනත් කවරකුට හෝ දෙන ලද දානයක් නිසා ද? මට ඔබගේ දිව්‍ය ඥානයෙන් පවසන්න‘යැයි ඉල්ලා සිටියා.

එවිට භූමාටු දෙවියෝ කියනවා.

‘ස්වාමිනි, සම්බුදු නමකට හෝ පසේ බුදුකෙනකුට හෝ මහරහතන් වහන්සේ නමකට හෝ දුන් දානයේ විපාක කියන්නට බුදුරදුන් හැර වෙනත් කිසිවෙක් සමත් වෙන්නේ නෑ. ඔබ වහන්සේ තුළ ඇති වූ කුඩා ම කුඩා දාන චේතනාවක් නිසා මෙ තරම් විපාක ලැබුවේ‘යි කියලා අතීත කතා පුවත කියන්න පටන් ගත්තා. ඒ කතාව අහගෙන හිටිය තෙරුන් වහන්සේ කල්පනා කරනවා කෝපයෙන් බැල්ලකට ගැසූ බත් පිඩක විපාකය මෙසේ විපාක දෙන කොට ශ්‍රද්ධාවෙන් සිල්වතුන්ට දෙන දානයේ විපාක කෙසේ නම් වේද? යි විස්මයටත්, අතිශය සතුටටත් පත් වෙමින් උපන් ප්‍රීතියෙන් ම සිත එකඟ කරගෙන රහත් බවට පත් වූ බව කියන රසවත් කථා පුවතක් සද්ධර්මාලංකාරයේ ඇතුළත් වෙනවා. පින්වත්නි, තිරිසන් සතකුට දාන චේතනාවක් නැති ව, ශ්‍රද්ධාවක් නැති ව, කෝපයෙන් දමා ගැසූ බත් පිඩ කෙරෙහි පසුව දාන චේතනාව ඇති කර ගැනීමෙන් පමණක් රහත් බව පවා ලබා ගැනීමට පුණ්‍ය විපාක ලබා ගත් හැටි. ඒ නිසා භවභෝග සම්පත් වගේ ම නිවන් සම්පත් ළඟා කර දෙන දන් දීමෙහි සිත අලවා වාසය කරන්න. පුළුවන් හැම අයුරකින් ම තිරිසන් සතකුට හෝ හිතේ සතුටින් යමක් දන් දෙන්න. එය දෙලොව යහපත හා සැප පිණිස ම හේතු වෙනවා.