Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 48 කොටස: සාමකාමී මනසක මල්පල ගැන්වෙන මෛත්‍රිය

සුවපත් මනසක් සුවබර දිවියක් - 48 කොටස:

සාමකාමී මනසක මල්පල ගැන්වෙන මෛත්‍රිය

මේ ලෝකයෙහි අනාගතය සඳහා ඇතිකරගත හැකි හොඳම බලාපොරොත්තුව මෛත්‍රීයයි. එහි අන්තර්ගත, අන්‍යයන් කෙරෙහි දැක්වෙන කරුණා දයාව බුදුරජාණන් වහන්සේගේ පණිවුඩයෙහි මූලිකම අංගයකි.

උන්වහන්සේගේ ඉගැන්වීම්වල මෙන්ම, ජීවිතය ගත කළ ආකාරය පුරාමත් එය නොමසුරුව පැතිරී තිබෙනු දැකිය හැකි ය.

අප සෑම කෙනකු තුළ ම මෛත්‍රීය දැක්වීමේ හැකියාව උපතින් ම පිහිටා තිබේ. එහෙත් එම බීජ වැඩෙන්නේ තරහ, ලෝභය හා ඊර්ෂ්‍යාවෙන් තොර වූ සන්සුන් මනසක පමණි. සාමකාමී මනස නමැති සරුසාර පොළොවෙහි මෛත්‍රීය හොඳීන් වැඩී මල්පල ගැන්වේ. අපි, අප තුළ මෛත්‍රීයෙහි බීජ පෝෂණය කරන අතරම, අන්‍යයන් තුළ ද ඒවා රෝපණය වී වැඩෙන්නට උදව් කළ යුතු වෙමු.

මා ලොව බොහෝ රටවල ධර්මය උගන්වමින් ගමන් කරන නිසා ගුවන් තොටුපොළවල බොහෝ වේලා ගතකරන්නට සිදුවේ. දිනක් ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපොළෙහි ගුවන් යානයක් බලාපොරොත්තුවෙන් මම රැදී සිටියෙමි. පිටත්වීමට බොහෝ කල්වේලා තිබූ නමුත් එසේ බලා සිටීම මට ප්‍රශ්නයක් නොවේ. එය මට සතුට ගෙන දෙන කරුණක් වූයේ භාවනා කිරීමට මට ඒ කාලය යොදා ගත හැකි බැවිනි. එදා මම ගුවන්තොටුපොළේ මගී බංකුවක් මත එරමිණිය ගොතා වාඩිවී දෑස පියාගෙන භාවනාවෙහි යෙදුනෙමි. මා අවට බොහෝ සෙනඟක් ගුවන්යානා කරා යමින් එමින් සිටි අතර, හාත්පස මහත් කැළඹිලි ස්වභාවයකින් පැවතිණි. මෙබඳු අවස්ථාවලදී මම සියලු දෙනා කෙරෙහි කරුණා මෛත්‍රී සිතිවිලිවලින් සිත පුරවා ගනිමි. සෑම හුස්මක්, සෑම නාඩිවැටීමක්, සෑම හද ගැස්මක් සමඟම මගේ මුළු සිරුර පුරා මෛත්‍රීයේ ආලෝකය ගලා යන්නට මම ඉඩ හරිමි.

එම කලබලකාරී ගුවන් තොටුපොළෙහි මෛත්‍රී සිතිවිලිවල නිමග්න වී සිටි මම හාත්පස සිදුවන කැළඹිලි කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළෙමි. ඒ අතර කිසිවකු මගේ බංකුවෙහි හිඳගත් බවක් මට දැනුණ නමුත් දෑස් නොහැරම සියල්ලන් කෙරෙහි මෛත්‍රී සිතිවිලි පතුරවමින් භාවනාවේ ම යෙදී සිටියෙමි. එවිට එක්වර ම කුඩා සියුමැලි දෑතක් මගේ කර වටා යනු දැනුණ නිසා දෑස් හැර බැලීමි. අවුරුදු දෙකක් පමණ වයසැති ඉතා ලස්සන දැරියක් එහිදී මගේ නෙත ගැටිණි. දිලිසෙන නිල්වන් දෑසක් සහ තඹ පැහැති බොකුටු හිසකේ සහිත මේ සුරතල් දැරිය ඇයගේ දෑත් මගේ ගෙල වටා යවා මා බදාගෙන සිටියි. මොහොතකට පෙර මවගේ අතේ එල්ලී සිටි ඇය මවගෙන් මිදී මා වෙත දුවවිත් තිබේ.

ඇයගේ මව ඈ පසුපසින් දුව එමින් සිටී. දැරිය මගේ බෙල්ලේ එල්ලී සිටිනු දුටු ඈ “කරුණාකර ඇයට ආශිර්වාද කර යන්න හරින්න” යැයි මගෙන් ඉල්ලා සිටියා ය. දැරිය කුමන භාෂාවක් කතා කළා දැයි නො දන්නා නමුත් මම ඉංග්‍රීසියෙන් ඇයට මෙසේ කීවෙමි. “කරුණාකර යන්න. ඔබේ මව ළඟ ඔබට හාදු ගොඩකුත්, සෙල්ලම් බඩු ගොඩකුත් රසකැවිලි ගොඩකුත් ඇති. මා ළඟ ඒ කිසිවක් නෑ. ඒ නිසා කරුණාකර යන්න.” ඒත් බෙල්ලේ එල්ලී ගත් දැරිය එලෙසම සිටියා ය. එවිට ඇයගේ මව දෑත් එකතු කර බැගෑපත් ව මට නැවත ආයාචනා කරමින් “කරුණාකර ඇයට ඔබතුමාගේ ආශිර්වාද ලබාදී යන්න ඉඩ හරින්න” යැයි කියා සිටියා ය.

මේ වන විට ගුවන් තොටුපොළෙහි සිටි අනෙක් මගීන්ට ද මේ සිදුවීම දැක ගන්නට ලැබිණි. මේ දැරිය මා දන්නා කෙනකු හෝ මට සම්බන්ධයක් කෙනකු හෝ යැයි ඔවුන් සිතන්නට ඇත. අප දෙදෙනා අතර කුමන හෝ දැඩි බැ¼දීමක් ඇති බව ඔවුන් සිතුවා විය යුතු ය. එහෙත් මා මීට පෙර කිසි දවසක ඇය දැක තිබුණේ නැත. කුමන භාෂාවක් කතා කළා දැයි පවා මා දැන සිටියේ නැත. මා නැවත මව සමඟ යෑමට ඇය පෙළඹවීමට තැත් කළෙමි. “කරුණාකර යන්න. අම්මා සමඟ ඔබ ගුවන් යානයට යා යුතුයි. ඔබට පරක්කු වෙයි. අම්මා ළඟ සෙල්ලම් බඩුයි, රසකැවිලියි තියෙනවා. මා ළඟ මොකුත් නැහැ. අනේ කරුණාකර යන්න” නමුත් සිඟිති දැරිය වඩ වඩා තදින් මගේ බෙල්ලේ එල්ලී සිටියා ය. මව ඉතා මෘදු ලෙස ඇයගේ දෑත් මගේ ගෙලෙන් මුදා ගනිමින් ඇයට ආශිර්වාද කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා ය. “ඔබ අපූරු දැරියක්. ඔබේ මව ඔබට ගොඩක් ආදරෙයි. ඉක්මන් කරන්න. ඔබට ගුවන් යානය මඟ හැරෙයි. දැන් යන්න” මා එසේ කීව ද ඇය නොසෙල් වුණා ය. ඇය හඬන්නට පටන් ගත්තා ය. අන්තිමේදී මව ඇය ඔසවා ගත්තා ය. ඒත් දැරිය අඬමින් කෑ මොරගසමින් මා වෙත එන්නට ම දැඟලුවා ය. එවර ඇය ගුවන් යානය වෙත ගෙන යෑමට මවට හැකි වුවත් මා පෙනෙන තෙක් මානයේ සිටින තාක් ඇය මවගෙන් බේරී මා වෙත ඒමට දැඟලුවා ය.

සමහරවිට මගේ සිවුර සහ වර්ණයට පි‍්‍රය කළ නිසා සුරංගනා චරිතයක් යැයි දැරිය සිතුවා විය හැකි ය.

වෙනත් අන්දමක හේතුවක් තිබුණා වන්නට ද පුළුවන. මා ඒ බංකුව මත වාඩිවී සිටි කාලයේ මෛත්‍රී භාවනාව වඩමින්, සෑම හුස්මක් සමඟම මෙත් සිතිවිලි පතුරුවමින් සිටියෙමි. ඇතැම් විට මේ දැරියට එය දැනුණා විය හැකි ය. දරුවන් මෙබඳු දේට ඉතා සංවේදී වන අතර, අවට ඇති වන මානසික ශක්තීන් උරා ගැනීමේ වැඩි හැකියාවක් ඔවුන්ට ඇත. ඔබ අමනාප වුවහොත් එය වහාම ඔවුන්ට දැනෙයි. ඔබ ආදර කරුණාවෙන් යුක්ත වූ විට ඒ බව ද ඔවුන්ට දැනෙයි. මේ දැරිය ඇයට දැනුණ ආදර කරුණා හැඟීම නිසා මා වෙත ඇදුනා විය හැකි ය. අප අතර ආදර කරුණාව නිසා ඇති වූ බැම්මක් තිබෙන්නට ඇත.

මෛත්‍රීය හාස්කම් කරයි. අපට මෛත්‍රී සහගතව ක්‍රියා කිරීමේ හැකියාව ඇත. මෙම ගුණාංගය අප තුළ ඇති බව පවා අප නො දන්නවා විය හැකි ය. නමුත් මෛත්‍රීය අප සෑම දෙනා තුළ ම පවතී. මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද සතර බඹ විහරණවලින් එකකි. අනෙක් තුන කරුණා, මුදිතා සහ උපේක්ෂාව යි. මේ සතර එකිනෙක හා බැඳී පවතී. එබැවින් අනෙක් ගුණාංගවලින් තොරව එක් ගුණාංගයක් පමණක් දියුණු කළ නොහැකි ය.