Print this Article


නුවණින් දැකිය යුතු කුසල් අකුසල් මූල

නුවණින් දැකිය යුතු කුසල් අකුසල් මූල

සෑම කායික, වාචසික සහ මානසික ක්‍රියාවකට ම මූලික වන යම් චේතනාවක් පවතී. මෙම චේතනා හසුරුවන ප්‍රධාන මූලධර්ම හයක් බුද්ධ දේශනාවේ විස්තර කෙරේ.

ඒවා “කුසල් මූල” සහ “අකුසල් මූල” ලෙස හඳුන්වනු ලබයි. දසුත්තර සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල දී මෙම මූලයන් හඳුනා ගැනීම, නිවැරදි දැක්ම හෙවත් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය මූලික පියවරක් ලෙස පෙන්වා දී ඇත.

අකුසල් මූලයන් ලෙස හැඳින්වෙන්නේ සිත කිලිටි කරන, පුද්ගලයා පාපයට යොමු කරන ලෝභ, දෝස සහ මෝහ යන කරුණු තුනයි.

‘ලෝභය’ යනු හුදෙක් යමක් ලබා ගැනීමට ඇති ආශාව පමණක් නොවේ. එය තණ්හාව සහ උපාදානය දක්වා විහිදෙන දැඩි ඇලීමකි. ශරීරය වයසට යද්දී ඉන්ද්‍රියයන් දුබල වුව ද ලෝභය නමැති සිතුවිල්ල දිනෙන් දින වර්ධනය වෙමින් සිත අශාන්තිමත් කරයි. ලෝභයෙන් මත් වූ පුද්ගලයා අනුන් සතු දෑ පැහැර ගැනීමටත්, තමා සතු දෑ අනුන්ට නොදී තබා ගැනීමටත් පෙළඹේ. මෙය සංසාර ගමන දීර්ඝ කරන ප්‍රධාන සාධකයකි.

“දෝසය” හෙවත් ද්වේෂය යනු සිතේ ඇති වන තරහව, ක්‍රෝධය සහ වෛරයයි. එය මහා ගින්නක් මෙන් තමාත් දැවී අනුන්වත් දවාලන ස්වභාවයක් ගනී. ද්වේෂය සිතක පවතින විට කිසිදු යහපත් හෝ මෘදු සිතුවිල්ලකට එහි ඉඩක් නොලැබේ. ‘මෝහය’ යනු මුළාවයි. හරි වැරැද්ද හඳුනා ගැනීමට ඇති නොහැකියාව හෙවත් අවිද්‍යාව මෝහය ලෙස හැඳින්වේ. අඳුරේ සිටින්නාක් මෙන් මෝහයෙන් මුළා වූ තැනැත්තා වැරදි මාවත නිවැරදි යැයි සිතා ගමන් කිරීමට පෙළඹෙයි. ලෝභය සහ ද්වේෂය පෝෂණය වන්නේ මෝහයෙනි.

මේ ජීවිතයේ සැනසීම වනසන සතුරන් ය. මෙම අකුසල් මූලයන්ගෙන් මිදීමට නම් ඒ වෙනුවට කුසල් මූලයන් සිත තුළ වර්ධනය කරගත යුතු ය. අලෝභය, අදෝසය සහ අමෝහය යනු එම යහපත් පදනම් තුනයි.

‘අලෝභය’ යනු අත්හැරීම හෙවත් ත්‍යාගශීලී බවයි. දානය වැනි උතුම් පින්කම් සඳහා පදනම වැටෙන්නේ මෙලෙස සිතේ ඇති වන අත්හැරීමේ ගුණය නිසා ය.

‘අදෝසය’ යනු මෛත්‍රිය සහ ඉවසීමයි. සියලු සතුන් කෙරෙහි හිතෛෂී බව පැතිරවීමෙන් ක්‍රෝධය යටපත් කර සිතේ සාමය ළඟා කර ගත හැකි ය. ‘අමෝහය’ යනු ප්‍රඥාවයි. ලෝකයේ යථාර්ථය විනිවිද දකිමින් මෝහය නමැති අන්ධකාරය දුරු කිරීමට ප්‍රඥාව නමැති ආලෝකය උපකාරි වේ.

අභිධර්ම විග්‍රහයට අනුව අපේ සිත ක්‍රියා කරන්නේ ප්‍රත්‍ය නියමයන්ට අනුව ය. පෙර සංසාරයේ සිට පුරුදු කරන ලද අකුසල් සිතුවිලි ආසේවන ප්‍රත්‍ය මඟින් නැවත නැවතත් මතුවීමට උත්සාහ කරයි. හරියට එකම ඉරක නැවත නැවතත් ඉරක් ඇඳීම වැනි ය. අප දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ මෙම අකුසල් මූලවලට ඉඩ දුනහොත් සිත කිලිටි වූ රෙද්දක් මෙන් වේ. කිලිටි රෙද්දක් සායම් කළ විට එය නියම වර්ණය නොගන්නා සේ ම, අකුසල්වලින් පිරි සිතක ධර්මාවබෝධය ඇති නොවේ. එබැවින් ධර්ම ඥානයෙන් සිත පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රායෝගික ජීවිතයේ දී මෙම කුසල් සහ අකුසල් මූල හඳුනා ගැනීම ඉතා වැදගත් ය. අකුසල් මූලයන්ට යට වූ විට ඊර්ෂ්‍යාව, මානය, මසුරුකම සහ කේළම් කීම වැනි දුර්ගුණ ඉස්මතු වේ. එය පුද්ගල පිරිහීමට මෙන්ම සමාජ අසමගියට ද හේතු වේ. නමුත් කුසල් මූලයන් මත ජීවිතය හැඩගස්වා ගන්නා පුද්ගලයා අටලෝදහම හමුවේ කම්පා නොවන, සන්සුන් සහ ගුණගරුක තැනැත්තකු බවට පත් වේ.

මුදිතාව හෙවත් අනුන්ගේ දියුණුව දැක සතුටුවීමේ ගුණය ඇති වන්නේ කුසල් මූල පදනම් කරගත් සිතක ය.

සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් වන පරිදි යමෙක් අකුසලයත්, එහි මූලයත්, කුසලයත් එහි මූලයත් නිවැරදිව ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නේ ද ඔහු නිවැරදි මාවතට අවතීර්ණ වූවෙකි. අපගේ භව ගමන තීරණය වන්නේ මෙම මූලයන් මත ය.

ලෝභයෙන්, තරහෙන් සහ මුළාවෙන් තොරව කටයුතු කිරීම මෙලොව සැනසීමටත්, පරලොව සුගතියටත්, අවසානයේ උතුම් නිර්වාණාවබෝධයටත් හේතු වන බව ඒකාන්ත ය.