Print this Article


භව ගමන සදන ආශ්‍රව දුරු කරන හැටි

භව ගමන සදන ආශ්‍රව දුරු කරන හැටි

ධර්මයට අනුව ‘ආශ්‍රව’ ලෙස හඳුන්වන්නේ කාලාන්තරයක් පුරා සිතේ ඇති නරක සිතිවිලි ය.

එලෙස සිතේ ඇති ආශ්‍රව ඉවත් කිරීමට අප උපායශීලී විය යුතු ය. එය නිවනට ද හේතු වේ. මෙසේ යමෙක් ආශ්‍රව උපායශීලී ව ඉවත් කිරීමට සමත් වේ නම් හෙතෙම අපායේ නොවැටෙයි. පුද්ගලයා සසරෙහි ඇඳ බැඳ තබන ආශ්‍රව වර්ග තුනකි. එනම් කාමාසව, භවාසව, අවිජ්ජාසව වේ.

කාමාසව - ඉන්ද්‍රියය පිනවමින් පංචකාම වස්තු පරිහරණයට ඇති කැමැත්ත යි. පංච ඉන්ද්‍රිය උපයෝගී කරගෙන රූප ආදි කාම වස්තු පිනවීමට පුද්ගලයා යොමු වන්නේ කාමාසවය නිරතුරුව පුද්ගල සන්තානයේ පවතින නිසා ය.

භවාසව - භවයට එනම් සසර පැවැත්මට ඇති කැමැත්ත යි. ඒ නිසා ම පුද්ගලයා අනවරාග්‍ර සසරට වැටී දුකට පත් වේ. සිත තුළ ඇති ආසා සඵල කර ගැනීමට සිත, කය සහ වචනය උපයෝගී කරගෙන මනෝ කර්ම, වචී කර්ම සහ කාය කර්ම රැස් කිරීම නිසා පුද්ගලයා භවයට හෙවත් සසරට වැටී එහි සැරිසරයි. එසේ සැරිසරන භව තුනකි. එනම් කාම භවය, රූප භවය සහ අරූප භවය යි.

කාමාවචර හෙවත් කාමලෝක ලෙසින් හඳුන්වන්නේ කාම සුගති හා කාම දුගතිය යි. එනම් සතර අපාය, දිව්‍ය ලෝක හය හා මනුෂ්‍ය ලෝකය යි. රූපාවචර භවය යනු රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය වේ. අරූපාවචර භවය යනු අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර වේ. මෙලෙස පුද්ගලයා භව තිස්එකක ඉපදී සසරෙහි ගමන් කරන්නේ භවාසවය නිසයි.

අවිජ්ජාසව - චතුරාර්ය සත්‍ය පිළිබඳ ව නොදැනීමයි. එසේ ම සියලු සංස්කාරයන්ගේ යථාර්ථය හෙවත් ත්‍රිලක්ෂණය නොදැනීමයි. ඒ නිසා ම සත්වයා අනිත්‍ය දෙය නිත්‍ය ලෙසත්, දුක් සහිත දෙය සැප ලෙසත්, අනාත්ම දෙය ආත්ම ලෙසත් ගෙන තණ්හා, මාන, දිට්ඨි වශයෙන් කෙලෙස් උපදවාගෙන දුකට පත්වන්නේ ඉහත ආශ්‍රව සිහියෙන් හා නුවණින් දුරු කර ගැනීමට උත්සාහවත් නොවන නිසා ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සිහිනුවණින් යුතුව ආශ්‍රව දුරු කළ හැක්කේ එය දන්නා හඳුනන, දකින තැනැත්තාට බවයි. ඒ බව ‘ජානතො’හං භික්ඛවේ පස්සතො ආසවානං ඛයං වදාමි’ යනුවෙන් දේශනා කර ඇත. ඒ අනුව ඒවා දුරු කිරීමට ධර්මයට අනුව වීර්යවන්ත ව ක්‍රියා කළ යුතු ය.

මෙලෙස සිතේ පහළවන ආශ්‍රව හෙවත් කෙලෙස් දුරු කරන අදියර තුනකි. එනම් තදංග, වික්ඛම්භන සහ සමුච්ඡේද යනුවෙනි.

තදංග - කෙලෙස් තාවකාලික ව යටපත් කිරීම යි. අප එදිනෙදා ජීවිතයේ දී සිදු කරන දාන ධර්මාදි පින්කම්වල දී කෙලෙස් තදංග ලෙස දුරු කර ගනී.

වික්ඛම්භන - කෙලෙස් හැඳීන, කෙලෙස් අවුස්සා නො ගෙන කටයුතු කිරීම යි. සමාධිමත් වූ සිතට මෙසේ කෙලෙස් අවුස්සා නො ගෙන කටයුතු කළ හැකි ය.

සමුච්ඡේද - සිත තුළට කිඳා බැස ඇති අනුසය කෙලෙස් සහමුලින් ම නැති කිරීම යි. එ සඳහා විදර්ශනා ඥානය බෙහෙවින් උපකාරි වේ.

මෙසේ සිතේ පැන නඟින කෙලෙස් යටපත් කිරීමට කෙලෙස් දැකීමට හා කෙලෙස් හඳුනා ගැනීමට කළ යුතු ප්‍රතිපදාව ද ධර්මයේ දැක්වේ. ඒ මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙනි.

ඒ බව දහමෙහි විස්තර කර ඇත්තේ

“ඉදං දුක්ඛන්ති භික්ඛවේ ජානතො පස්සතො ආසවානං ඛයෝ හෝති. දුක්ඛ සමුදයෝ භික්ඛවේ, දුක්ඛ නිරෝධෝ’ති. භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා’ති භික්ඛවේ” යනුවෙනි.

එයින් පැහැදිලි කරන්නේ දුක දන්නා කෙනාට, දකින කෙනාට ආශ්‍රව ක්ෂය කර ගත හැකි බවයි.

එසේ ම දුක්ඛ සමුදය හෙවත් තණ්හාව දන්නා සහ දකින කෙනාට දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කළ හැකි බවයි.

එසේ ම සිත තුළ පැනනඟින ආශ්‍රව දුරු කර ගැනීමට සතර සතිපට්ඨානය ද හේතු වෙයි. එහි දී කායානුපස්සනා හෙවත් සියලු ක්‍රියාකාරකම් පිළිබඳ සිහිය පවත්වා ගැනීම, වේදනානුපස්සනා හෙවත් ඒ ක්‍රියාකාරකම් හමුවේ සිතේ ඇති වන මනාප, අමනාප චිත්ත, චෛතසික ස්වභාවය නුවණින් දැකීම, චිත්තානුපස්සනා හෙවත් සිතේ ඇති වන අයහපත් සිතිවිලි තේරුම් ගෙන එයට ප්‍රතිවිරුද්ධ යහපත් සිතිවිලි උපදවා ගැනීම, ධම්මානුපස්සනාවෙන් කුසල් සිතුවිලි වර්ධනය කිරීමත්, අකුසල් සිතුවිලි පාලනය කිරීමත් ධර්මයෙන් මෙහෙයවනු ලැබේ.

මේ සඳහා ප්‍රධාන වශයෙන් ‘ආතාපි’ කෙලෙස් තවන වීර්ය ඇති කර ගත යුතු බව ද ධර්මයේ දැක්වේ.

මෙයට අමතරව බුදුරජාණන් වහන්සේ සිතේ කෙලෙස් ඇති කරන ආශ්‍රව දුරු කරන උපක්‍රම සබ්බාසව සූත්‍රයේ දී දේශනා කර ඇත.

ඒවා මෙසේයි.

ආශ්‍රව දැකීමෙන් ඒවා දුරු කර මාර්ග ඵල අවබෝධ කර ගැනීම, ඉන්ද්‍රිය සංවරයෙන් ආශ්‍රව හැඳීන ආශ්‍රව දුරු කිරීම, එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය පරිහරණයේ දී ඒවායේ අවශ්‍යතාව ගැන පමණක් සිතා ඒ ප්‍රත්‍යයනට නො ඇලී පරිහරණය කිරීම, සිතේ පැනනඟින ක්ලේශ මඟහැර දැමීමෙන්, ඒවායේ ආදීනව දැකීමෙන් ආශ්‍රව දුරු කිරීම සහ භාවනා බොජ්ඣංග ධර්ම වඩමින් ධර්මයේ උගැන්වෙන සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා ආදී අයහපත් සිතිවිලි හෙවත් ආශ්‍රව දුරු කිරීමයි.