හැම ගැටලුවකටම හරි විසඳුමක් දෙන සතිමත් සක්මන
බිබිලේ ධම්මසිරි හිමි
ඔබ නිවෙසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් නිවෙස ඇතුළත හෝ පිටත සක්මන් මළුවක්
සඳහා ද ඉඩකඩ වෙන්කිරීමට සතිමත් වෙන්න.
අඩි 30කට වඩා දිගින් සහ අඩි 02ක් පමණ පළලින් යුතු තැනිතලා බිමක් මේ සඳහා යෝග්‍ය වේ.
නිවෙසින් පිටත ඉදිකෙරෙන සක්මන් මළුව ඇතුළට අඟලක් පමණ ඝනකමකින් යුතු ව වැලි තට්ටුවක්
අතුරා ගැනීම ප්‍රමාණවත් ය. නැතහොත් එවැනි තැනක තණකොළ වැවී තිබේ නම් වැලි අවශ්‍ය
නොවේ. අඟලක් හෝ දෙකක් හෝ පමණ වන සේ තණකොළ මට්ටම් කරගෙන ඒ මත සක්මන් කිරීම සුදුසු ය.
නිවෙස ඇතුළත එවැනි ඉඩකඩක ලණු පැදුරු පාපිස්සක් (පළල අඩි 1 1/2ක්) එළා ගැනීම
ප්‍රමාණවත් ය. මේ කිසිත් කරගත නොහැකි නම් ඔබට නිවෙස ඇතුළත හෝ පිටත හෝ සිමෙන්ති හෝ
ටයිල් හෝ කොන්ක්‍රීට් හෝ අතුරා තිබේ නම් එහි සක්මන් කරන්න. නමුත් ඉහත සඳහන් කළ
සක්මන් මළුවලින් ලැබෙන සක්මන් ආනිසංස ඔබට මින් නොලැබෙන්නට පුළුවන. එහෙත් පසුබට
නොවන්න.
පි‍්‍රයමනාප ලෙස සකස් කළ සක්මන් මළුවේ සතිමත් ව සක්මන් කොට එහි ආනිසංස ලබා ගන්නේ
කෙසේ දැයි විමසා බලමු.
ඔබ පළමුව පිරිසිදු වී තෙරුවන් සිහිකර සක්මන් මළුවට පිවිසෙන්නේ නම් වඩාත් සුදුසු ය.
සක්මන් මළුවේ කෙළවරක සිටගෙන සක්මන් මළුව නිරීක්ෂණය කරන්න. සාමාන්‍ය විදියට වට
කිහිපයක් (විනාඩි 3ක් 4ක්) මළුවේ එහාට මෙහාට ඇවිඳින්න. එවිට ඔබට සක්මන් මළුව හුරු
පුරුදු තැනක් බවට පත්වේවි. අනතුරුව සක්මන් මළුවේ ආරම්භක ස්ථානයේ හිටගෙන දෙඅත් පහසු
විදියට ඉස්සරහට හෝ පසුපසට හෝ එක්කර ගන්න. සක්මන් මළුවේ අවසන් කෙළවරින් දකුණට හැරිය
යුතු බව මෙනෙහි කරගෙන තමන් හිටගෙන සිටින ඉරියව්ව නිරීක්ෂණය කරන්න. සිරුර කෙළින් ඇති
අතර, දෙපා යුගලට සිරුර බර බෙදී ඇති අයුරු ඔබට වැටහේ දැයි නිරීක්ෂණය කරන්න. එවිට ඔබට
ඒ බව හොඳින් වැටහෙනු ඇත. මම දැන් මෙතන හිටගෙන සිටිනවා යැයි ඔබට වැටහෙනු ඇත.
ඔබ දැන් සිටින්නේ ඔබත් සමඟ බව දැන ගන්න. අතීත, අනාගත සිතුවිලිවලින් තොරව ඔබගේ මනස,
කය වෙතට ගන්න. වෙන දෙයක් ගැන හෝ වෙන කෙනෙක් ගැන හෝ නොසිතා සක්මන ආරම්භ කරන්න. වටපිට
නොබලා තමන් ඉන්න තැන සිට බඹයක් පමණ දුරින් දෙඇස් බිම රඳවා ගන්න. එහෙත් බිම ඇති
කිසිවක් ගැන අවධානය යොමු නොකර දෙපාවලට අවධානය යොමු කර ගන්න. වම තබන විටත්, දකුණ තබන
විටත් සිහිය යටිපතුල තුළ රඳවා ගැනීමට උත්සාහ ගන්න. දැන් ඔබ පියවරින් පියවර ඉදිරියට
ගමන් කරන බව ඔබට වැටහෙනු ඇත. යන වේගය කය තීරණය කරනු ඇත. ඔබගේ යටිපතුලට දැනෙන දේ ගැන
සිහිය පවත්වමින් ඉදිරියට ගමන් කොට සක්මන කෙළවර නතරවන්න. එවිට ඔබ නතරවී සිටින බව
දැනෙනු ඇත. දෙපාවලට සිරුරේ බර දැනෙන ස්වභාවය නිරීක්ෂණය කරන්න. එසේ තේරුම් ගෙන දකුණු
පැත්තට හැරෙන්න. එවිට පාද දෙක හැරෙන විට සිරුර හැරෙන හැටි දකින්න. නැවත ඔබ සක්මන
ආරම්භ කරන්න.
මෙසේ සතිමත් ව ගමන් කරන ඔබට ඔබගේ සිත වෙනත් අරමුණුූ කරා (සිත පිටයන බව) දිව යෑමට
පටන් ගනී. එය සාමාන්‍ය දෙයකි. ඔබ ඒ ඔස්සේ නොයා යටිපතුලට අවධානය යොමු කරගෙන ම
ඉදිරියට ගමන් කිරීමට උත්සාහ ගන්න. ඔබට විවිධ ශබ්ද ඇසෙන්න පුළුවන. ඒවා ශබ්දයක් ලෙස
සලකා ඔබ ඔබගේ සක්මනට හිත තබන්න. කයේ විවිධ ස්ථානවල වේදනා දැනෙන්න පුළුවන. ඒවාට
ප්‍රතික්‍රියා නොදක්වා ඒ දෙස බලන්න. ඒ සියල්ල වේදනා ලෙස සලකා නැවත සක්මනට හිත ගන්න.
සිත පිටයන හැමවිටම මූල කර්මස්ථානයට (සක්මනට) හිත තබන්න. සක්මනේ දී ඔබට දැනෙන දේ
කෙරෙහි අවධානය යොමු කරන්න. යටිපතුලට පෑගෙන දේ දැනෙන්නේ කෙසේදැයි බලන්න. ශීතල,
උෂ්ණත්වය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය වැනි ගති ස්වභාවයන් දැනෙන්නේ දැයි
නිරීක්ෂණය කරන්න. ඔබට මේවා දැනෙනවා යනු ඔබ සාර්ථක සක්මනක සිටිනවා යන්නයි. ඔබට
සතුටක් දැනෙන්න පුළුවන.
සතර සතිපට්ඨාන සූත්‍රයේ “ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාතී” යනුවෙන් කියැවෙන්නේ යන්නේ,
යන්නේ’ මි’ යි කියා සිහියෙන් දැන ගනිමින් යන බවයි. ඔබට යන බව දැනෙන්නේ යටිපතුලට
පෑගෙන යම් යම් දේ දැනෙන්න පටන් ගත් විටය.
“භාවිතා බහුලී කතා”
යනුවෙන් මේ ක්‍රියාව බහුලව, බහුලව කරන්න කියන එකයි. එවිට සක්මනේ තව තව ලක්ෂණ ඔබට
දැනෙන්නත්, නොදැනෙන්නටත් පටන් ගනී. මෙතෙක් කාලයක් නොදැනුණ දේ දැනෙන්න පටන් ගනී.
අපූරු සංසිද්ධියක්, අපූරු අත්දැකීම් රැසක් ඔබට දැනෙන්න පටන් ගත්විට ඔබ සාර්ථක
පියවරක් ඉදිරියට ගොස් ඇති බව දැන ගන්න. මෙම අත්දැකීම් කිසිවක් පැවසූ දෙයක් නොව තමන්
විසින් ම අවබෝධ කරගත් ප්‍රත්‍යක්ෂ දැනුමකි.
සක්මන් කරන ඔබට කාම සිතුවිලි, තරහ (ව්‍යාපාද) සිතුවිලි එන විට ඔබ ඒ ගැන නො සිතා
යටිපතුලේ දැනෙන්නේ කුමක් දැයි බලන්න. නැවත නැවත එවැනි පව්කාර සිතුවිලි එනවිට ඒ
ඔස්සේ නොගොස් සක්මනට හිත තබන්න. එවිට එම සිතුවිලි පැමිණීමේ වේගය අඩුවී යන බව ඔබට
වැටහේවි. නිදිමත, කම්මැළිකම, උදාසීන ගතිය, සක්මන නතර කිරීමට හිතෙන ගතිය වැනි නොහැකි
සංඥා එන විට ඔබ වීරිය ගෙන තවදුරටත් සක්මන කරගෙන යාමට උත්සාහ දරන්න. පියවර කිහිපයක්
තබමින් ඒ පියවර ගණන වැඩි කර ගන්න උත්සාහ ගන්න. එය නොවරදින බව ඔබට වැටහේවි. එවිට ඔබට
සතුටක් දැනේවි. ඔබ තුළ වීරිය, නුවණ සහ සිහිය වැඩෙනු ඇත.
සක්මන පැය භාගයක් හෝ පැයක් හෝ කිරීමට අදිටන් කොට ඒ කාලය ඉක්ම යෑමට පෙර සක්මන නතර
නොකිරීමට උනන්දුවීම තුළ ඔබට සක්මනෙහි ආනිසංස ලැබෙන්න පටන්ගනී. ඔබට එයින් කාය විවේකය
හා චිත්ත විවේකය ද හිමිවෙනු ඇත.
මෙය ලක්ෂ කෝටි සංඛ්‍යාතව යෙදෙන්නේ නම් මහත්ඵල ආනිසංස (මාර්ග ඵල) අනිවාර්යයෙන්
ලැබෙනු ඇත. එසේ නම් සක්මන හා පරියංකය නිවැරැදිව කළ යුතු ය. ඒ සඳහා ගුරු උපදෙස් ලබා
ගත යුතු ව ඇත.
බුදුපියාණන් වහන්සේ ඇතුළු මහා ශ්‍රාවකයාණන් වහන්සේ නිතර නිතර සක්මන් කළ බව
ත්‍රිපිටකයේ සඳහන් වේ. අදටත් එවැනි සක්මන් මළුවල නටබුන් දඹදිව දැක ගත හැකි ය.
අනුරාධපුර යුගයේ සක්මනට විශේෂ තැනක් තිබූ බවට දැනට එහි පවතින නෂ්ඨාවශේෂ සාක්ෂි
දරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුරයෙහි නීරෝගිමත් පිරිසක් මෙන්ම රහතුන් වහන්සේ
ද විශාල පිරිසක් වාසය කර ඇත.
අද ඇතැම් රෝහල්වල ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සක්මන යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුවී
තිබේ. එය සතුටට කරුණකි. සමහර යෝගීන් තම නිවෙසේ සක්මනක් ඉදිකර එහි සක්මන් කරන බවක්
දැනගන්නට ලැබී ඇත.
පාසල් ළමයින්ට සක්මන හුරුපුරදු කිරීම ගැන රජයේ ද අවධානය යොමුවී තිබේ. මවුපියන්
දරුවන් වෙනුවෙන් කළ හැකි උතුම්ම දායාදය හා යුතුකම මෙය විය යුතු ය. ඔබ මෙලොවට පැමිණි
රාජකාරිය වන්නේ තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කිරීම යි. එය කළ හැකි ලෙහෙසි ම
ක්‍රියාකාරකම වන්නේ සතිමත් සක්මනක් තම ජීවිතයට හුරු පුරුදු කිරීම යි. බාල, මහලු,
ස්ත්‍රී, පුරුෂ ආදි භේදයකින් තොරව කළ හැකි වටිනා වැඩපිළිවෙළකි. ඔබගේ සියලුම ගැටලුවට
ස්ථිර විසඳුමක් ලැබෙන මෙම උත්කෘෂ්ඨ වැඩපිළිවෙළට ඔබ අදම එක්වෙන්න. ඔබ දැනටම එහි
නිරතවී සිටින්නේ නම් එය බහුලව කරන්න උත්සාහ ගන්න. |