පුන්සඳක් සේ බබළන්න
කරත්තයේ බැඳි ගොනාට ඒ බර අදින්නට ම සිදු වේ. කරත්ත රෝද ගොනාට වේදනා දි දී ඌ
අත්නොහැර පසුපසම කරකැවෙයි. ලිහා දමනතුරු නිදහසක් නොවේ. ගිනි කාෂ්ඨක අව්වක, රත්වුු
බිමක මෙලෙස බර පැටවූ කරත්තයක් ඇදගෙන යන ගොනකු ගේ දසුන ම මොනතරම් නම් ඛේදනීය ද?
මේ නිදර්ශන අපේ ජීවිතයට දෙන පාඩම සුවිශේෂී ය. අප විසින් කරන ලද පාප, අකුසල විපාක ද
මෙලෙසින් ම ය. ඒවා දුක් වේදනා දෙමින් මඟ නොහැර අප පසුපසින් එයි.
තථාගතයන් වහන්සේගේ සිරුරේ ලේ සොළවා ආනන්තරීය පාප කර්ම කළ දෙව්දත් තෙර අදත් අපායේ
අප්‍රමාණ දුක් විඳියි. පෙර භවයක බිරියගේ කීම අසා සිය මවුපියන් පෙළූ අකුසලයට මහ රහත්
බව ලැබු භවයේ දී පවා මුගලන් මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්නට පෙර දරුණු
මිනිසුන්ගෙන් වධ හිංසා ලබන්නට සිදු විණි. පාපය බිහිසුණු ය. අකුසලය ද එලෙස ය. සසර
පුරා එහි අනිටු විපාක පල දෙයි.
මේ තාක් වැරැදි මඟ ගියත් මේ මොහොතේ පටන් වත් එයින් මිදී, නිවැරැදි ව යහපතෙහි
යෙදෙන්නේ නම්, වළාකුලෙන් මිදුණු සඳ සේ ඒ පුද්ගලයා බබළන බව අපේ බුදුපියාණන් වහන්සේ
දේශනා කොට වදාළහ. |