Print this Article


සිත පුහුණු කරන සුවිශේෂී උගැන්වීම ගිරිමානන්ද සූත්‍රය ඇසුරින්

සිත පුහුණු කරන සුවිශේෂී උගැන්වීම ගිරිමානන්ද සූත්‍රය ඇසුරින්

අප මුහුණ දෙන සියලු ගැටලුවලට, අසහන, අතෘප්තිකර තත්ත්වයන්ට සියලු ආකාරයේ කායික, මානසික රෝගාබාධයනට, සමාජයීය අවුල් වියවුල්වලට විශ්වීය ලෙස ලෝකයේ පවතින යුද ගැටුම්වලට උද්වේගකරම හා සාකල්‍යයෙන් ම සුබදායි සාර්ථක ම පිළියම ලෙස මානව වර්ගයා තුළ පුහුණු සිතක් ඇති කරවීම අතිශයින් වැඩදායක ය.

මේ පුහුණුව වඩාත් ප්‍රතිඵලදායක හැම අංශයකින් ම විශද බලපෑමක් කළ හැකි එකම හා සුදුසු ම දෙය බව මේ වනවිට බුද්ධිමත් ලෝකය ම පිළිගෙන තිබේ. එය සනාතන සත්‍යයක් ම වෙයි.

ඒ තුළින් නිරායාසයෙන් ම ඇතිවන කායික, මානසික ශික්ෂණය සමඟ ම අප අත්‍යවශ්‍ය ලෙසම උනන්දු කරවන මානව ගුණධර්ම උද්දීපනයකට ඉන් මඟ පාදනු ලබයි.

නිවනින් මෙහා ලබන අංග සම්පුර්ණ ප්‍රීතිමත් සැනසිලිදායක සාමකාමී ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉන් ලබන පිටිවහල ගණනය කිරීමට මානයක් තවමත් ලොව නොමැති තරම් ය.

මේ උත්තුංග ප්‍රතිලාභය ග්‍රහණය කර ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශාන්තිදායක දේශනය සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ සූත්‍ර 20 කම මැනවින් දේශනා කර තිබේ.

ඒ සමඟ ම මධ්‍යම නිකායේ ආනාපාන සති සූත්‍රය ප්‍රධානම සූත්‍ර දේශනාව ලෙස සැලකිය හැකි අතර, චතුෂ්ක හතරකින් හා පියවර 16කින් යුතු ව එම අනාපාන කමටහන වැඩිය යුතු ආකාරය මැනවින් ම පැහැදිලි කරයි.

සූත්‍ර පිටකයේ ආනාපාන කමටහන ගැන ඇති සියලුම සූත්‍රවල විස්තර කරන්නේ මෙම පියවර 16කින් යුතු ව වඩන ආනාපාන සති භාවනාව යි. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ මහා රාහුලෝවාද සූත්‍රයත්, විනය පිටකයේ පාරාජිකා පාලියේ 3 වන සූත්‍රයත් ඊට සාධක සපයයි.

අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගයේ 60 වන සුත්‍රය වන මහා ගිරිමානන්ද සූත්‍රය මෙහිදී අපගේ අවධානයට යොමු කරන්නේ ඉහත සඳහන් කළ සිද්ධිවාචක නිදසුන වඩාත් ම ගැඹුරින් මෙම සූත්‍ර විග්‍රහ තුළ මැනවින් ප්‍රදර්ශනය වන නිසා ම ය.

බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ භාවනාවක් වශයෙන් මේ තරමට ම දේශනා පැවැත්වූ වෙනත් උගැන්වීමක් නොමැති බව වැටහෙන්නේ උන්වහන්සේ වැඩවිසූ බොහෝ තැන්වල පුන පුනා මෙම ඉගැන්වීම සුවිශේෂී ලෙස සිදුකර ඇති නිසා ම ය. නිදසුන් ලෙස ගතහොත් සැවැත්නුවර ජේතවනාරාමයේ දී පමණක් , මහා රාහුලෝවාද සූත්‍රය, ඒකධම්ම සූත්‍රය, සුද්ධක සූත්‍රය, කප්පින සූත්‍රය කායගතා සති සූත්‍රය බෝජ්ඣංග සූත්‍රය හා දීප සුත්‍රය මේ කමටහන පිළිබඳ සිදු කෙරුණු අගනා දේශනා ලෙස ප්‍රකට ය.

ගිරිමානන්ද සූත්‍රය අපගේ අවධානයට ලක්වන්නේ මෙම කමහටනේ ඇති සාන්දෘෂ්ටික වටිනාකම විශදව මෙහි දේශනා කරන නිසාවෙනි. ආනන්ද මහා තෙරුන් විසින් ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් බලවත් ලෙස ගිලන් ව දුකට පත්වී ඇති බවත් උන්වහන්සේ බැහැදැකීමට වැඩම කරවන ලෙසට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ විට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ ආනන්ද ඔබම ගොස් දස සංඥා උන්වහන්සේ අභියස සිහිපත් කරන ලෙසත් ය.

එනම් අනිත්‍ය, අනාත්ම, අශුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ, අනභිරථ සියලු සංඛාර අනිත්‍ය හා ආනාපාන සති සඥා යන මේ දසවැදෑරුම් සංඥා දේශනා කරවන ලෙස ය.

මෙහි සඳහන් සංඥා පිළිබඳ විස්තරාත්මක දේශනාව ද අතිශයින් වටිනා ධර්ම විග්‍රහයකි. දහමෙහි හමුවන ගැඹුරුම උගැන්වීම් පද්ධතියකි.

මේ සමඟ ම අවසානයට සාකච්ඡ‍ාවන ආනාපාන සති සංඥා මෙම කමටහන් අපගේ ජීවිතවලට පුරුදු පුහුණු කළ යුතු ආකාරය ක්‍රමානුකුලව, පියවරෙන් පියවර දේශනා කරන ආකාරය සැබවින්ම ආශ්ලාදජනක ය. ඕනෑම ගිහි පැවිදි යෝගාවචරයකුට බෙහෙවින්ම ප්‍රායෝගිකව

පුහුණු කළ හැකි අයුරින් දේශනාවී තිබීම අතිශයින් ම සිත් ගන්නා සුළු ය.

මෙහිදී ආනන්ද හිමියන් අමතමින් ආනන්දයෙනි, ආනාපාන සතිය නම් කුමක්දැයි ප්‍රශ්න විචාරාත්මක ස්වරූපයෙන් කරන විග්‍රය අගනේ ම ය. භාවනා කරන්නට අදහසක් ඇතිවූ කල ඒ සඳහා සුදුසු පරිසරය ගස් මුලක හිස් භූමියක සොයා ගතයුතු අයුරුත් ඒ අනුව කය ඍජුව ම පිහිටුවා ගනිමින් තමා සකස් කර ගත් ආසනයේ හිඳ සිහිය ගැන සිත යොමු කරන්නට ආරම්භ කළ යුතු ය. ඒ මඟින් හුස්ම ඉහළට පහළට හෙළන ආකාරය යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් එළඹ සිටි සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රාශ්වාස වාතය සිත සමඟ මනා සම්බන්ධයෙන් සිදු කළ යුතු වේ. ඉන් අදහස් කරන්නේ පුරුදු ලෙස කරන හුස්ම වැටීමේ ක්‍රියාවලියට මුළුමනින් ම සමුදිය යුතු බව ය. සිත සමඟ ම හුස්ම වැටීම කළ යුතු බව ය. මෙහිදී එසේ කළ යුතු පුහුණුව ආකාර 32 මෙහි විස්තර වෙයි.

1. දීර්ඝව ආශ්වාස කරමින් ඒ බව මනසින් දකී.

2. දිර්ඝව ප්‍රාශ්වාස කරමින් ඒ බව මනසින් දකී.

3. කෙටියෙන් ආශ්වාස කරමින් ඒ බව මනසින් දකී

4. කෙටියෙන් ප්‍රාශ්වාස කරමින් ඒ බව මනසින් දකී.

5. සියලු කය මුල, මැද, අග සිතින් දකිමින් ආශ්වාද කරයි

6. සියලු කය මුල, මැද, අග සිතින් දකිමින් ප්‍රශ්වාස කරයි.

7. සියලු කයම සන්සින්ඳුවමින් එය සිතින් දකිමින් ආශ්වාද කරයි

8. සියලු කයම සන්සිඳුවමින් එය සිතින් දකිමින් ප්‍රශ්වාස කරයි.

9. මේ මඟින් ඇතිවන ප්‍රීතිය සිතින් දකිමින් ආශ්වාස කරයි.

10. මේ මඟින් ඇතිවන ප්‍රීතිය සිතින් දකිමින් ප්‍රශ්වාස කරයි

11. ප්‍රීතිය සමඟ ඇතිවන සැපය සිතින් දකිමින් ආශ්වාස කරයි

12. ප්‍රීතිය සමඟ ඇතිවන සැපය සිතින් දකිමින් ප්‍රශ්වාස කරයි

13 .සිතේ පහළවන සංස්කාර සිතින් දකිමින් ආශ්වාස කරයි

14. සිතේ පහළවන සංස්කාර සිතින් දකිමින් ප්‍රශ්වාස කරයි.

15. එම සංස්කාර හික්මවෙන අයුරු සිතින් දකිමින් ආශ්වාස කරයි

16. එම සංස්කාර හික්මවෙන අයුරු සිතින් දකිමින් ප්‍රශ්වාස කරයි

17.සිතින් සිත දකිමින් ආශ්වාස කරයි

18.සිතින් සිත දකිමින් ප්‍රශ්වාස කරයි

19.සිත පහන්වීම දකිමින් ආශ්වාස කරයි

20.සිත පහන්වීම දකිමින් ප්‍රශ්වාස කරයි

21. සිත අරමුණෙහි පිහිටුවා එය දකිමින් ආශ්වාස කරයි

22. සිත අරමුණෙහි පිහිටුවා එය දකිමින් ප්‍රශ්වාස කරයි.

23. සිත නීවරණවලින් මුදවමින් එය දකිමින් ආශ්වාස කරයි.

24. සිත නීවරණවලින් මුදවමින් එය දකිමින් ප්‍රශ්වාස කරයි.

25. අනිත්‍ය දකිමින් සිත සන්සිඳුවමින් ආශ්වාස කරයි .

26. අනිත්‍ය දකිමින් සිත සන්සිඳුවමින් ප්‍රශ්වාස කරයි.

27. විරාගය දකිමින් සන්සුන් සිතින් ආශ්වාස කරයි.

28. විරාගය දකිමින් සන්සුන් සිතින් ප්‍රශ්වාස කරයි.

29. නිරෝධය දකිමින් සන්සුන් සිතින් ආශ්වාස කරයි.

30. නිරෝධය දකිමින් සන්සුන් සිතින් ප්‍රශ්වාස කරයි.

31. උපේක්ෂාව දකිමින් සන්සුන් සිතින් ආශ්වාස කරයි.

32. උපේක්ෂාව දකිමින් සන්සුන් සිතින් ප්‍රශ්වාස කරයි.

පියවරෙන් පියවර අත්දැකීම් ලබමින් සමාධිගත වන සිතක ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිත පුහුණු කිරීම සිදු කළ යුතු ආකාරය මෙම සූත්‍රයේ දී ප්‍රායෝගික අභ්‍යාසයන් ලෙස සජීවී ලෙසින් ඉදිරිපත් කරන ආකාරය එම පුහුණුව ලබන්නට අප ව දැඩි ලෙස උනන්දු කරවයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම අතීත බුදුරජාණන් වහන්සේ ආනාපානසති කමටහන වඩා ඒ තුළින් විදසුන් වඩා සම්මා සම්බෝධියට පත්වී වදාළහ. මෙම උතුම් කමටන වඩන ඕනෑම භාවනා අභිලාෂි අයකුට පියවරෙන් පියවර ධර්ම මාර්ගයට අවතීර්ණ වෙමින් සංයෝජන බිඳ දමා සියලුම කෙලෙස් ප්‍රහාණය කරනු ලබති. සිත, කය සන්සිඳුවමින් විමතියකින් සැකයකින් හෝ ඇලීම් ගැටීම්වලින් හෝ තොරව සමාධි සිත දියුණු කර ගන්නා අතර ඕනෑම ගතිපැවතුම් ඇති කෙනකුට වුව ද මෙම භාවනා කමටහන තම අධ්‍යාත්මික ප්‍රගමනය පිණිස මැනවින් උපයෝගී කර ගත හැකිය.ඒ අනුව මෙම අනාපාන සතිය ඕනෑම කෙනකුට වැඩිය හැකි, හැම දෙනාට ම ගැලපෙන සරල වූත්, බෙහෙවින් අර්ථසම්පන්නවුත්, ගැඹුරු, සිත පුහුණු කරන ක්‍රමවේදය ලෙස මෙය අපගේ අවධානයට ලක්වෙයි.

මෙම භාවනාව පුරුදු පුහුණු කරන හැම කෙනකුගේ ම සිත් ප්‍රාණවත් කරමින් ප්‍රීතිය, සැප, සැහැල්ලුව සමඟ ශාන්ත ප්‍රනීත සන්සි¼දීමක් නිරන්තරයෙන් දැනෙනු ඇත. හුස්ම සමඟ කරන මෙම ආධ්‍යාත්මික ගනුදෙනුවේ දී මොළය, ස්නායු පද්ධතිය සමඟ සියලු ඉන්ද්‍රියයන් මනාව ක්‍රියාත්මක් වීම තුළ රුධිර ධාවනය සමතුලිත ව ඇතිවන මානසික ශාරීරික ක්‍රියාකාරිත්වය නිසා සැමවිටම නිරෝගී ජීවිතයක් ලබාදීමත්, බොහෝ කාලයක් ආයු වින්දනය කිරීමටත් මඟ පැදීම අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ඔබ අත්දකිනු ඇත. එය මෙම ප්‍රායෝගික ක්‍රියාදාමයෙන් ලබන සාන්දෘෂ්ටික යහපතයි

විශේෂයෙන් අපට මුහුණ දෙන්නට වන සමහර මානසික ආතතිය ඇතුළු මනස සම්බන්ධ ආකුලතා සුවපත් කිරීමට මෙම සති භාවනාව අතිශයින් ඉවහල් කර ගත හැකි බවට නූතන විද්‍යාව, නූතන වෛද්‍ය විද්‍යාව බෙහෙවින් අගය කරන අතර, අද එය බොහෝ දියුණු රටවල නිරන්තර භාවිත වෙන මනෝ චිකිත්සක ක්‍රමයක් ලෙස බෙහෙවින් ඇගයුමට ලක් කෙරේ.

ඉතාම සියුම් ස්වභාවික ශක්තියක් වන ආශ්වාස ප්‍රශ්වාස අපේ ප්‍රාණ වායුවයි. අප මොන කටයුත්තක මොන වෙලාවක යෙදුණත් ජීවිතය පුරාම අප ඇත නොහැර මානසික ආධ්‍යාත්මික ශක්තින් පුබුදුවාලමින් වර්ධනය කරමින් අප සමඟ වසන කුලුපග ම මිතුරා එයයි. නිරන්තරව අප මෙහෙයවන ලෝභ, ද්වේශ, මෝහවලින් අපවිත්‍ර වන කය, වචන සිත් එයින් මුදවා,කෙලෙස් මළ බැහැර කොට යෝනිසෝ මනසිකාරය ඔප්නංවා හොඳ අරමුණට අප යොමු කොට කායික මානසික සංවරයත් ඇතිකරමින් සමාධිගත සිතක් හා ඒකාග්‍රතාව දියුණු කොට ප්‍රඥාව ලබාදී සත්‍යාවබෝධයට මඟ පාදයි. මඟඵල ලබා දී නිවනට පමුණුවාලයි.

මනුෂ්‍යයන් වන අප විසින් නිරතුරුව කරන ක්‍රියාදාමයන් තුනක් වෙයි. සිතීම හුස්ම ගැනීම හා වයසට යාමයි. හුස්ම කමටහනක් ලෙස ගෙන සිත මෙවලමක් ලෙස යොදා ගනිමින් වයසට යාම ඇතුළු ලෙඩවීම මරණය යන විශ්වමය තත්ත්වයන් සම්පූර්ණයෙන් දුරිභුත කර නිවන් සාක්ෂාත් කිරීම යන බෞද්ධ මාර්ගයේ මූලික අභිප්‍රාය සපත කරවයි.