Print this Article


කෙලෙස් කම්පා කරවන ධූතාංග ධර්මයෝ

කෙලෙස් කම්පා කරවන ධූතාංග ධර්මයෝ

සීත හිමගිරි මුදුනෙහි සුපුෂ්පිත කිණිහිර කුසුමක් සෙයින් ස්වර්ණවර්ණ දේහ විලාසයෙන් ශෝභමාන වූ පරම පූජනීය මහා කස්සප මහ රහතන් වහන්සේ ධුතාංගධාරී භික්ෂූන් අතර අග්‍රභාවයට පත්ව වැඩ සිටි සේක.

උන්වහන්සේ ඇතුළු සුපිළිපන් මහ සඟ රුවනෙන් විහිද ගියේ බාහිර අලංකාරයේ සාටෝප බව නො ව, සම්බුදු සසුනක පමණක් අත්විඳිය හැකි අහිංසක ආධ්‍යාත්මික ගුණ සුවඳෙහි සුමිහිරි බව යි. උතුම් පැවිදි බව ලැබ, කය සහ ජීවිතය යන දෙකෙහි අපේක්ෂා විරහිත වැ අමා නිවන නමැති එකම අරමුණ ඔස්සේ වැඩම කළ මහෝත්තමයන් වහන්සේ දෙව්ලොවෙහි ද, බඹලොවෙහි ද නො වූහ. එහෙත් බුදුසසුන් පෙත් මඟෙහි නම්, කෙලෙස් කම්පා කළ නිමල රහතුන්ගේ පිය සටහන් ඇඳී තිබෙනු දැක ගත හැකි වූයේ ය.

උන්වහන්සේගේ අසිරිමත් ගුණ සම්පත් අබියස ක්ලේෂයෝ ප්‍රකම්පිත වැ ගියාහු, ළහිරු කිරණ මාත්‍රයක් දැක සැණෙකින් නො පෙනී යන පිනි බිඳු පරිද්දෙනි. සකල ලෝකයට මුදුනින්, දෙව් බඹුන්ගේ ප්‍රභාවත් මිණිකිරුළු මත සිය පා දුහුවිලි හෙළමින්, සියලු ලෙව් සතුන්ගේ වැඳුමන්ට සුදුසු වූ මහ සඟ රුවන වැඩ සිටියේ ඒ මහා ගුණ කඳ නිසා ම ය. උන්වහන්සේ තුළ දිස් වූ අති ගම්භීර ගුණයන් පිළිබඳ නැවත නැවත ඇසීම, මහ සඟ රුවන විෂයයෙහි අපගේ සිත් නිරායාසයෙන් ම සුපහන් කරවයි. සිහි කිරීම් මාත්‍රයකින් සුගති උපත සැලසෙන මහ සඟරුවන ගැන සුපහන් සිතින් සිටීම කළ යුතු දෙයක් ම ය.

මෙතැන් සිට අපි විස්තර වශයෙන් ඉගෙන ගන්නට යන්නේ, පරම පූජනීය මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රධාන පිළිවෙත් සරු මහ සඟ රුවන දරා වැඩ සිටි උතුම් ධූත ගුණයන් පිළිබඳව යි.

ඉතා අසිරිමත් වූ ධුත ගුණ පිළිබඳ ඉගෙන ගනිමින් උතුම් සඟ සරණ පිළිබඳ ඔබට බලවත් ව සිත පහදවාගත හැකියි. මේ අයුරින් සුපිරිසුදු, සුදො සුදු බ්‍රහ්මචර්යාවක් පනවා වදාළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ම මිස වෙන කවුරුදැයි ඔබට සිතේවි!

මහා මාරුතයක් පැමිණ ගසක පත්‍රයක් ගලවා දමන්නා සේ, පාපී කෙලෙස් නැති පත්‍ර ගලවා දමන මහා මාරුතය වන්නේ ධුතාංග ධර්මයන් ය. පිළිවෙත් පිරීම මඟින් කෙලෙසුන් කම්පා කර හරින භික්ෂුව ‘ධුත’ යන නාමයට සුදුසු වන සේක.

එමෙන් ම කෙලෙසුන් ප්‍රහාණය කිරීමට උපකාර වනුයේ, සීලය හා සමාධිය ඔස්සේ ප්‍රගුණ කර ගත් ප්‍රඥාව යි. ප්‍රඥාව තුළින් ද කෙලෙසුන් කම්පිත වැ යන බැවින්, ප්‍රඥාව ද ධුත යන නාමයට සුදුසු වේ. සියලු ධුතාංග ධර්මයෝ ප්‍රඥාවට අනුකූල වෙති. එබැවින් නුවණ මුල්කර ගත් මෙම වත් පිළිවෙත් ‘ප්‍රඥාවෙහි අංග‘ යන අරුතින් ‘ධුතාංග‘ නම් වෙයි.

තෘෂ්ණාව මුල් කර ගත් කාමයෙහි ලොල් බව ප්‍රහාණය කිරීම උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ධුතාංගයෝ පනවන ලද්දාහු ය. ඒවා පනවන ලද්දේ, නිවන පිණිස දිවි පුදා කැප වෙන්නවුන් උදෙසා ය. එබඳු වූ ධූතාංගයෝ 13ක් වෙති. ඒවා නම්.

පාංසුකූලිකංගය, තෙචීවරිකංගය, පිණ්ඩපාතිකංගය, සපදානචාරිකංගය, ඒකාසනිකංගය, පත්තපිණ්ඩිකංගය, බලුපච්ඡාභක්තිකංගය, ආරඤ්ඤකංගය, රුක්ඛමූලිකංගය, අබ්භෝකාසිකංගය, සෝසානිකංගය, යථාසන්ථතිකංගය, නේසජ්ජිකංගය

පිළිවෙත් සරු ශ්‍රාවක සඟරුවන මහත් ගෞරවයෙන් යුතුව දරා වැඩ සිටි ඒ උතුම් ධූතාංග ධර්මයන් ගැන දැනගෙන ඒ උතුම් බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇවැතුම් පැවැතුම් කෙරෙහි සිත පහදවා ගැනීමේ දුර්ලභ භාග්‍යය අප සියලු දෙනාට ම උදා වේවා!