Print this Article


කිසිවක් නෑ හැමදා පවතින්නේ සම්බුදු සරණයි අපට වටින්නේ....

කිසිවක් නෑ හැමදා පවතින්නේ - සම්බුදු සරණයි අපට වටින්නේ....

මහා දිය විල්, සිව් මහා සමුදුර සිඳී වියැළී යන කාලයක් එනවා. මහා සෙල්කුළු, මේ මහා පෘථිවිය නැසී යන කාලයක් එනවා.

ඒ වගේ ම යි ළදරු, තරුණ, මහලු ඕනෑම වයසක දී මරණය අප කරා පැමිණෙනවා. උදේට නැඟෙන හිරු හවසට බැහැල යනව වගේ, මරණය ස්ථිර යි.

මිනිසා වටා තියෙන ධනධාන්‍ය, දේපළ, වස්තුව, අඹුදරුවන්, නම්බුනාම, ගරු සත්කාර ඔහු සමඟ රැඳන්නේ මේ මනුලොවට සමුදෙන දිනය තෙක් පමණයි. නමුත් අපි කැමැති වුණත්, අකැමැති වුණත් එක දෙයක් අප පසුපස එනවා ම යි. ඒ අප ජීවත් ව සිටින කාලය තුළ ලොවට මුදාහල වචනයෙන්, කළ ක්‍රියාවෙන්, සිතූ සිතිවිලි සමුදායෙන් දායාද වූ කර්ම විපාකයි. එදාට අහසේ හෝ සයුරේ හෝ ගිරි ගුහාවක හෝ සැඟවී එයින් මිදෙන්න, වෙට්ටු දාන්න කාටවත් ම බෑ. කර්ම දායාදය එබඳු දෙයක්.

ධනපාල.....ඔහු දසන්න රටේ නුවරක ප්‍රධාන සිටුවරයෙක්. අමු රන් විතරක් කරත්ත 84ක් පිරෙන්න තිබුණා. රන්, රිදී, වෛරෝඩ්, මුතු, මැණික් සෑහෙන්න තිබුණා. අප තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිස් ලොව හිටපු කෙනෙක්. මොහු කෑවේ, බිව්වේ දොරවල් වහගෙන. එතරම් ම මසුරුයි. තණපතක අගින් වෑහෙන දිය තරම්වත් දෙයක් අන් අයට නොදුන් කෙනෙක්. දන් දෙන අයවත් ඒ පිනෙන් වැළැක්වූවා. සීලය ගැන කවර කතා ද? ඒ මදිවාට පොදු යහපත පිණිස හදල තිබුණ ළිං, පැන් පොකුණු වහල දැම්මා. උයන් වතු වනසල දැම්මා. ඒදඬු පාලම් කඩල දැම්මා. ඔය අතරේ ම ඔහුටත් හොරා ඔහුගේ ආයුෂත් ගෙවී ගියා.

ඉපදුණේ මරුකතරේ පේ‍්‍රතයෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවාට පසුව උපාසක පිරිසකට ඔහුව හමු වුණා. ඇඟේ නූල් පොටක් නැති, කටුගැහිච්ච පේ‍්‍රතයෙක්. ගංගාවක වතුර කටට වත්කළත් උගුරෙන් පහලට දිය බිඳක්වත් නොයෙන පේ‍්‍රතයෙක්. ඒ වෙනකොට අවුරුදු 55ක්. ඔහුට තව මාස 4කින් චුත වෙලා යන්න නියම මහා නිරයක් පේනවා. කර්ම දායාදයෙන් අන්ත අසරණ වෙච්ච ඔහු මෙහෙම පවසනවා.

“ඔබ එළිපිටවත්, රහසේවත් පව් කියන ජාතිය කරන්න එපා! මවට, පියාට,වැඩිහිටියන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳට සලකන්න. ඒ පිනෙන් සුගතියේ යන්න.” නමුත් ඔහු ප්‍රමාද වැඩියි. ඔහුට එම පින් යළි කවරදාක නම් කරන්න ලැබේවිද?

දිනක් අපගේ ශාස්තෘන් වහන්සේ නියසිලට පස් ස්වල්පයක් ගෙන පවසා වදාළේ පේ‍්‍රත ලොවින් චුතවන සත්වයන් අතරින් යළිත් මිනිස් ලොව උපදින්නේ නියසිල මත තිබෙන පස් වැනි ස්වල්ප පිරිසක් බවයි. මහ පොළොවේ ඇති පස් වැනි පිරිසක් නැවතත් පේ‍්‍රත ලොවට, තිරිසන් ලොවට, නිරයට වැටෙන බවයි.

දිනක් අපගේ මහමුගලන් මහරහතන් වහහන්සේ ඉදිරියට එවේලේ අසූචි වළෙන් ගොඩ වූ, අසූචි නාගත්ත පේ‍්‍රතියක් ආවා. ඇය තමයි ඒ ආවාසය හදල පූජා කරපු දායිකාව. ආවාසය බාරගත් භික්ෂුවත් සසුන් ප්‍රතිපදාව අමතක වූ කෙනෙක්. සිල්වත් භික්ෂූන් වඩිනකොට දායිකාව ලවා එළවා ගන්නවා. දෙදෙනා ම මිය ගියා. බුද්ධාදී, උතුමන් අසූචි සේ සලකා බැහැර කරන ලාභසත්කාර කෑදරකමින් වැළඳගෙන, සිල්වතුන් වෙහෙස වූ පාපයට ඒ භික්ෂුව ගිහින් උපන්නේ ආරාමයේ වැසිකිළි වළ ඇතුළේ. දායිකාව උපන්නේ ඔහුගේ හිස උඩ. පැනල දුවන්නද? කර්මයේ දායාදය....පේ‍්‍රතිය මිනිස් අසූචි කනවා. පේ‍්‍රතයා පේ‍්‍රතියගේ අසූචි කනවා. අහෝ....! ඊර්ෂ්‍යාව, මසුරුකම, සිල්වතුන්ට, ගුණවතුන්ට ගැරහීම, ලාභසත්කාරයට ගිජුවීම මිනිසා සුගතියෙන් පැහැරගෙන අසූචි වළක සිර කෙරූ ආකාරය..! ආයෙ කෙදිනක නම් ඔවුන්ට සිල්වතුන්, ගුණවතුන් මුණගැසේවිද? තථාගත දහමක්, පිවිතුරු පැවිද්දක්, නැණවත් ජීවිතයක් කෙදිනක ලැබේවිද?

ඒ දුර්ලභ බව බුදුමුවින් වදාළ මේ දෙසුම බලන්න. මේ මහා පෘථිවිය ම එක ම ජලාශයක් වී සිව්දිගින් හමන සුළඟට කැළඹි කැළඹී තියෙනවා. ඒ මත ම එක සිදුරක් ඇති වියගහක් පාවි පාවී තියෙනවා. වසර සියයකට වතාවක් උඩට එන කණ කැස්බෑවකුට ඒ විය ගස තිබෙන තැනින් මතු වී ඔහුගේ පේන ඇසට අර විය සිදුර සම්බන්ධ වී, ඒ සිදුරෙන් අහස දකිනවා යන කාරණය කවරදාක සිදු වේවිද? ඒ අහඹු සිදුවීම කල්ප කාලාන්තරයකින් විය හැකි සිදුවීමක්.

එබඳු වූ සිතින් සිතාගත නොහැකි වූ සුදුර්ලභ ව සිදුවන දෙයකි සම්මා සම්බුදුවරයකු ලොව පහළ වීම, තථාගත ශ්‍රී සද්ධර්මය ලොව පැවැතීම, එබඳු යුගයක මිනිසත් බව ලැබීම, මේ සියල්ල කෙනකුට ලැබී වටිනාකම නො දැන ගිලිහී ගියොත්, වරදා ගතහොත් ඒ අවාසනාව ගැන කෙසේ වචනවලින් පවසන්නද? මේ තාක් ලොව පහළ වූ බුදු සසුන්වල නිර්වාණ ද්වාරයෙන් සසරෙන් මිදී ගිය මුනිවරු අපමණයි. නමුත් අප අවාසනාවේ ද්වාරයෙන් සසරට විසි වී ගිය අය නොවේද?

කාශ්‍යප බුදු සසුනේ බොහෝ පින් දහම් කරන උපාසකතුමකුගේ බිරිඳක් සිටියා. මේ ඇගේ කතාව. ඇයත් සිල්වත්. නමුත් සල්ලාලයන්ගේ නො මඟ යැවීමකින් ඇය දිනක් තම සිල් බිඳ ගත්තා. ස්වාමියා කරුණු විමසද්දී ඇය බොරුවට දිව්රුවා. ඇයට ඒ වෙලාවේ තිබුණේ වරද පිළිගන්නයි. 500ක් වෙච්ච ඇගේ මිතුරියන් පිරිසත් ඇයගේ වරද සඟවා ඔවුනුත් බොරුවට දිව්රුවා. ඇය මිය ගියා. හිමාලයේ විමාන පේ‍්‍රතියක් ව ඉපදුණා. මිතුරියන් පිරිස දාසියෝ වෙලා ඉපදුණා. බුදුසසුනේ රැස් කළ පිනුත්, පවත් එකට ම විපාක දෙන්න පටන් ගත්තා. බුද්ධාන්තර කල්පයක් පුරාවට හැමදාම රෑට ඇයට ඇහැරෙනවා. විමානෙන් බැහැල පොකුණ ළඟට යනවා. එතැනට ඇත්පැටියෙක් තරම් විශාල කන් දෙක නැති බල්ලෙක් එනවා. ඇයව බිම පෙරළගෙන, ඇය කෑගහද්දී ඇටසැකිල්ල පෑදෙන්කල් මස් කඩ කඩා කනවා. ඇටසැකිල්ල නැඟිටල පොකුණට බහිනවා. ආයෙ ශරීරය ප්‍රකෘති තත්ත්වයට පත්වෙනවා. කවදා මේ දුක්ඛිත විපාකයෙන් ගැලවෙන්නද?

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ යම් වරදක් සිත, කය, වචනයෙන් සිදුවුවහොත් දහම දුටු ශ්‍රාවකයකුට කිසි දිනක එය සඟවාගෙන සිටිය නොහැකි බවයි. එය තමයි ඔහුගේ අවංක බව. දහම දුටු බව. ඔහු නුවණැතියන් ඉදිරියේ විවෘත වී සංවර වෙනවා. එදා ඇය වරද පිළිගෙන සංවර වුණා නම්, අද වන විට ඉහළ දෙව්ලොවක ඉපිද හෝ ගෞතම බුදු සසුනේ හෝ මඟඵල ලබන්න පවා ඉඩ තිබුණා. ඒ සියල්ල අහිමි වූ ඇය අදටත් විමාන පේ‍්‍රතියක්. ඔය ඉරණම දිගේ මේ සසර පුරා අපිත් කොපමණ තාක් කල් නම් ගමන් කරමින් එන්න ඇතිද? අහෝ......! මේ සසර නම් ඒකාන්තයෙන් ම අනියත යි.......අස්ථිර යි. අස්වැසිලි රහිත ම යි. මේ සසර ගැන කලකිරෙන්න නිසි බව සත්‍ය ම යි. නො ඇලෙන්න නිසි බව සත්‍ය ම යි. නිදහස් වෙන්න නිසි බව ඒකාන්ත සත්‍යයක් ම යි.

සුජාත කුමාරයා කියලා කියන්නේ අස්සක රජුගේ පුතා. වයස දහසයයි. ජීවිත ආරක්ෂාව පිණිස මේ කුමාරයාට වනගත වෙන්න සිදු වුණා. ඔහුට පිය රජතුමා පැවසුවේ තමා මිය ගිය පසු පැමිණ රාජ්‍යය භාරගන්නා ලෙසයි. බඩගිනි එනකොට ගහක ගෙඩියක් කනවා. නැත්නම් මුවෙක් මරා ගන්නවා. ඒක තමයි ඔහුගේ ජීවිතය. දිනක් ඔහුට ඒ මහා වනයේ දී ශාන්ත ශ්‍රමණ රුවක් මුණගැහුණා. ඒ අපගේ මහා කච්චායන රහතන් වහන්සේ. ඒ නිකෙලෙස් හදවතේ කරුණාවට මේ කුමාරයා අතිශය පැහැදුණා. ඒ වෙද්දි ඔහුගේ ඊළඟ උපත හැදිල තිබුණේ නිරයට. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාත්, සසරේ කළ පින් තිබූ නිසාත්, ඔහු තිසරණ සරණේ පිහිටා සිල්වත් වුණා. ඔහුට මහරහතන් වහන්සේගෙන් ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමකුත් ලැබුණා. තම රාජ්‍යයට ගිය ඔහු පියාට පවසා ධාතු මන්දිරයක් තනවා සර්වඥ ධාතුන් වහන්සේ එහි තැන්පත් කොට දිවා රාත්‍රී බුද්ධෝපස්ථානයේ යෙදුණා. දන් දුන්නා. සිල්වත් ව වාසය කළා. බුදු සසුන තුළ පහන් සිතින් රැස්කර ගත් පුණ්‍යස්කන්ධය විසින් ඔහුට විවර ව තිබූ නිරයේ දොරටුව වසා දමා ඔහු ව තව්තිසා දෙව්ලොවට රැගෙන ගියා.

සංවේග විය යුතු තැන සංවේග වීමත්, සංවේගයට පත්ව වීරිය කිරීමත් නුවණැතියන්ගේ ලක්ෂණයක්. ඒ නුවණ ඔහුට ලැබෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ සරණින් පමණයි. ඒ සඳහා ඔහුට ජවය සපයන්නේ ශාස්තෘන් වහන්සේගේ සරණයි.

කාම ලෝකයේ වේවා, රූප ලෝකයේ වේවා, අරූප ලෝකයේ වේවා හටගත් සෑම දෙයක් ම - ආශ්වාදය උපදවා දෙන සෑම දෙයක් ම වෙනස් වෙනවා. ස්ථිර නැහැ. සදාකාලික නැහැ. යළි යළි දුකට වැටෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් යළි යළි සසරට නොවැටෙන, සීල සමාධි ප්‍රඥාවෙන් වැඩී යන එක ම ඍජු මාවත අප ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ සේක. කර්මයේ සැඩ සුළඟින් උඩුයටිකුරු කොට බිහිසුණු සසරට විසිකර දමන අපගේ අසරණ ජීවිතවලට ඇති එක ම සරණ ඒ උතුම් සම්බුදු සරණ ම පමණයි.