Print this Article


පොලොන්නරුව පොත්ගුල් විහාරය

පොලොන්නරුව පොත්ගුල් විහාරය

පොලොන්නරු රාජධානියේ වැදගත් ඓතිහාසික ස්ථානයක් ලෙස පොත්ගුල් විහාරය හැඳීන්විය හැකි ය.

මේ විහාර සංකීර්ණය බෞද්ධාරාම සංකීර්ණයකි. පොලොන්නරු පරාක්‍රමබාහු ප්‍රතිමාවට ආසන්නයේ ඉදිකොට ඇති මේ විහාර සංකීර්ණය පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 – 1186) විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ.

වංශ කථාවල සඳහන් වන ආකාරයට ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ මෙය පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා කරවූ කපිල විහාරය විය හැකි බවයි. මෙරට අග නගරය පොලොන්නරුවෙන් විතැන් වීමෙන් සියවස් ගණනාවක් පුරා වල්බිහිව නටබුන් බවට පත්ව තිබූ මේ භුමිය එළිපෙහෙළි කළේ 1906දී බෙල් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි.

පුරාණයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් පාලි සහ සිංහල ග්‍රන්ථ රචනා කිරීම, සුරක්ෂිත ව තබා ගැනීම සහ අධ්‍යයනය කිරීමට මේ ස්ථානය භාවිත කළ බවට ද විශ්වාසයක් පවතී.

පොලොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ සිට වැව් බැම්ම මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ දකුණට ගිය විට පොත්ගුල් වෙහෙර පරිශ්‍රයට ළඟා විය හැකි ය.

පොත්ගුල් විහාර පරිශ්‍රයේ ප්‍රධාන ස්මාරක දෙකකි. එයින් එකක් මේ පරිශ්‍රයට ඇතුළු වූ පසු වම්පසින් ගල් කුලක ද්විභංග ආකාරයෙන් බහු උන්නතව 12 වැනි සියවසේ දී පමණ නිම කරන්නට ඇතැයි සැලකෙන තේජාන්විත පුරුෂයකුගේ පිළිමයයි. මේ පිළිමය අඩි 11 අඟල් 6ක් පමණ උසකින් යුත් බොකුටු කොණ්ඩය හිස මුදුනේ බැඳී කේතු රූපාකාර ජටා මකුටයකි. දිගු උඩු රැවුල සහ යටි රැවුල මනාව සකස් කොට ඇත. සිරස නෙළා ඇත්තේ පැතලි නාසයකින්, පළල් තොල් සඟලකින් සහ දිගු කන් සහිතවයි. මඳක් ස්ථුල ශරීරයේ ළැම සහ උදරය පිටතට නෙරා ඇත. පිරිපුන් බාහුවලින් යුත් වැලමිටින් ඉදිරියට යොමු වූ දෙඅත්වලින් යමක් දරා සිටී. උඩුකය නිරුවත් ය. පිරිමි ගැටයක් යෙදූ පටියකින් රඳවා ඇති අලංකාර දුහුල් දෝතියකින් යටිකය සරසා ඇත. වම් කකුලට බරදී දකුණු කකුල නිදහස්ව ද්විභංග ආකාරයෙන් සිටී. සමස්තයක් ලෙස සලකා බලන විට ප්‍රතිමාව මැදිවිය ඉක්‌මවූ ශාන්ත සහ තේජාන්විත පුද්ගලයකු නිරූපණය කෙරේ. මේ ආකාරයේ නෙළා ඇති මෙරට දක්නට ලැබෙන එකම ප්‍රතිමාව මෙයයි. මෙය අග්නිදිග ආසියාවේ දක්නට ලැබෙන විශිෂ්ට ප්‍රතිමා නිර්මාණයක් බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස මේ ප්‍රතිමාව සෘෂිවරයෙක් හෝ තාපසයකු හෝ පිළිබිඹු කරනවා යැයි මුලින්

විශ්වාස කළ ද පසුව එය පරාක්‍රමබාහු රජතුමාගේ බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

බරෝස් මහතාගේ මතය වන්නේ නීති ග්‍රන්ථයක් අතැතිව සිටින්නේ පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවක් බවයි.

මේ ප්‍රතිමාව අසල ඇති කුඩා කන්දක් සේ පෙනෙන භුමිය පැරකුම්බා රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකළ දාගැබ ලෙස විශ්වාස කෙරේ. පොත්ගුල් විහාර ප්‍රතිමාවේ සිට මීටර් 200ක් පමණ දකුණු දෙසින් පිහිටි ගොඩනැඟිලි සංකීර්ණය පොත්ගුල් විහාරය ලෙස හැඳීන්වේ.

මාලක හතරකින් සමන්විත මේ ගොඩනැඟිලි සංකීර්ණය ප්‍රාකාරයකින් වටවී තිබී ඇත. ප්‍රවේශ දොරටු නැඟෙනහිර, බටහිර සහ දකුණු දිසාවලට මුහුණ ලා ඇත. පහළින් වන මාලක සක්මන් මළු විය හැකි ය. තුන් වැනි මාලයේ ගොඩනැඟිලි නවයක නෂ්ඨාවශේෂ දැකිය හැකි ය. මේවා භික්ෂුන් වහන්සේ වැඩ සිටි කුටි විය හැකි ය. මේ ගොඩනැඟිලි ඉහළ මාලකයට මුහුණ ලා ඇත. ඉහළම මාලකයට පිවිසීමට නැඟෙනහිර පැත්තේ පඩි පෙළකි. ඉහළ මාලකයට එකතු වන වැසි ජලය බැහැර කිරීමට සිව් දෙසින්ම ශිලාමය ජල නල දෙකක් බැගින් පිහිටුවා තිබීම ද විශේෂත්වයකි.

ඉහළ මාලකය මධ්‍යයේ ඇති ගොඩනැඟිල්ල විශේෂිත ඉදිකිරීමකි. එය වට ප්‍රමාණය අඩි 157ක් වන ගෝලාකාර ගොඩනැඟිල්ලකි. ඊට කවුළු තබා නැත. ගඩොල්වලින් නිමකොට තිබූ අර්ධ ගෝලාකාර වහලය බිඳ වැටී තිබේ. ඇතුළු වන ශිලාමය උළුවස්ස ගොඩනැඟිල්ලට මනාව ගැලපී ඇත. අභ්‍යන්තර බිත්තිවල ඇඳ තිබූ සිතුවම්වල ශේෂ තවමත් දැකිය හැකි ය.

නැඟෙනහිර පැත්තේ ආයත චතුරශ්‍රාකාර අන්තරාලයක් හා තවත් අන්තරාලයක පාදමක නටබුන් තිබේ. ශේෂවී ඇති පේකඩ කොටස් තවම දැකිය හැකි ය. මේ ගොඩනැඟිල්ල පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා ජාතක කතා ශ්‍රවණය කිරීමට ඉදිකළ මණ්ඩල මන්දිරය විය හැකි බව බෙල් මහතා අදහස් කර ඇත.

මේ ගොඩනැඟිල්ලේ උළුවස්සේ ඇති පාලි භාෂාවෙන් සටහන් කොට ඇති සෙල් ලිපියේ මේ ගොඩනැඟිල්ල මුලින්ම පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ බවත්, පසුව ඔහුගේ දෙවැනි මෙහෙසිය වූ චන්ද්‍රාවතී රැජන ඊට මණ්ඩපයක් එක් කළ බවත් සඳහන් වේ. මෙවන් ගොඩනැඟිල්ලක් මෙරට වෙනත් කිසිම තැනකින් හමුවී නොමැත. බෙල් මහතා පවසා ඇත්තේ මෙය බෞද්ධ වාස්තු විද්‍යාවේ අනගි නිර්මාණයක් වන බවයි. කාම්බෝජයේ මින්බියන් විහාරයේ ගොඩනැඟිලි ද මේ හා සමාන බව කියනු ලැබේ.