Print this Article


විල්ගම්වෙහෙර රාජමහා විහාරය

විල්ගම්වෙහෙර රාජමහා විහාරය

අනුරාධපුර යුගයේ දී ඉදි කළ සේරුවිල විල්ගම්වෙහෙර රාජමහා විහාරය ඉපැරැණි බෞද්ධ ආරාම සංකීර්ණයකි.

මෙරට සොළොස්මස්ථාන අතරින් එකක් වන සේරුවිල විල්ගම්වෙහෙර රාජමහා විහාරය බෞද්ධයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි.

ඉතිහාසයේ සඳහන් වන පරිදි විල්ගම්වෙහෙර රාජමහා විහාරය ඉදිකළේ දුටුගැමුණු මහරජතුමාගේ පියා ලෙස සැලකෙන කාවන්තිස්ස රජු විසිනි. කාවන්තිස්ස රජුගේ සොයුරා වූ චූලතිස්ස කුමරු දඩයමේ ගිය අවස්ථාවක දී මේ ස්ථානය සොයා ගෙන ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ. පසුව මේ ස්ථානයේ සම්බුද්ධ ධාතූන් වහන්සේ තැන්පත් කළ චෛත්‍යයක් ඉදිකිරීමට රජතුමාට දැනුම් දී ඇත. ඒ අනුව බුදුරදුන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කර මේ විහාරය ඉදි කළ බව පුරාවෘත්ත සඳහන් කරයි. මෙහි පැරැණි චෛත්‍යයක්, ශිලා ලේඛන සහ විහාර ගොඩනැඟිලි ආදිය දැක ගත හැකි ය.

පාලි ධාතුවංශය,සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලී යන පැරැණි මුලාශ්‍රවලට අනුව සේරු නම් විල කෙළවර ගිරිඅභය නම් ප්‍රාදේශීය රජෙක් ගෞතම බුදුරදුන්ගේ ධාතූන් වහන්සේ නිධන් කරවා ස්තූපයක් කරවූ බව සඳහන් ය. එම සෑය යනු වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හඳුන්වන මේ ස්තූපය විය හැකි බව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශයට පත්කර තිබේ. ඒ මත අනුව සේරුවිල විල් කෙළවර සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර සෑදූ එම ස්ථූපය විල්ගම්වෙහෙර මහා සෑය ලෙස හඳුන්වා දිය හැකිය.

සේරුවිල මංගල මහා සෑයේ සිට තොප්පූර් මුස්ලිම් ගම්මානයට මායිම් ව සේරු නම් විල කෙළවර උතුරට කිලෝ මීටර් 04ක් පමණ දුරින් නටබුන් වූ පුරාණ ස්තූපය වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හැඳීන්වේ. ක්‍රිස්තු වර්ෂ 16 සහ 17 වැනි සියවස්වල සිට තොප්පූර් ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන්ගේ වාග් ව්‍යවහාරය අනුව සෝම්පුර > සෝම්පූර් > තෝම්පූර් > තෝප්පුර් ලෙස විකාශනය වී ඇති බව වාග් විද්‍යාඥයන්ගේ මතය යි. ථූපපුර > තෝප්පුර් යන්න තවත් මතයකි.

විල්ගම්වෙහෙර චෛත්‍යයේ පුරාවිද්‍යා කැණීම්වලදී ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ගඩොල් ද, එම යුගයට අයත් චෛත්‍යවල පවතින ශෛලමය ඡත්‍රය සහ ස්ථම්භය ද හමුවී ඇත. එම යුගයේ ලක්‍ෂණ සහිත සිරිපතුල් ගල් සහ ශෛලමය පද්ම ද, අනුරාධපුර මුල් යුගයේ ලක්ෂණ පෙන්වන ඉපැරැණි ඇත් පවුරක් ද හමුව ඇත. මේ චෛත්‍ය යුග කිහිපයක් ප්‍රතිසංස්කරණය කර ඇත.

සේරුවිල විල්ගම්වෙහෙර විහාරය දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ විහාරස්ථානයක් ලෙස ද ඇතැමුන් සලකනු ලබන්නේ බෝධි වංශයේ සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙර ලෙසින් සඳහන් වන බැවිනි.