Print this Article


විනයෙන් සැරසී-නිවනින් සැනසෙන ශාසන පිළිවෙත

විනයෙන් සැරසී-නිවනින් සැනසෙන ශාසන පිළිවෙත

බුද්ධ ශාසනය ගත් කල එහි පැවැත්ම රැඳී තිබෙන්නේ භික්ඛු - භික්ඛුනී උපාසක - උපාසිකා යන සිව්වනක් පිරිසේ කටයුතු අනුව බව සෑමදෙනා දන්නා කරුණකි.

මෙහි භික්ඛුනී නම් කොටස මේ වන විට ශාසනය තුළ නැත. ඒ අනුව ගිහි උපාසක - උපාසිකා පිරිස වෙත ධර්ම ධනය ලබා දීමේ ශාසනික පූර්ණකාලීනයන් මෙන්ම එකම පින්කෙත ලෙස සැලකෙන්නේ බෞද්ධ භික්ෂුවයි.

බුද්ධ ශාසනය තුළ ලබන පැවිද්ද ලඝු කොට සැලකිය හැක්කක් නොවේ. පැවිද්ද ලැබිය හැකි, චීවර දරන වෙනත් බොහෝ ආගමික කණ්ඩායම් අද වන විටත් ඉන්දියාවේ මෙන්ම සුළු වශයෙන් ලංකාවේ ද විටින් විට සිටිති. ඒ අතරින් බෞද්ධ භික්ෂුව සම්පූර්ණයෙන් ම වෙනස් වන්නේ මේ රටේ පවතින මහාවිහාරීය ථෙරවාද සම්ප්‍රදායුනුකූල ව “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය”, සියලු දුකින් නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි යි යන වාක්‍යය තෙවරක් කියා විනයානුකූල ව ලබා ගන්නා පැවිද්ද, බුද්ධ ආඥාවට අනුව පවත්වා ගනිමින් නිර්වාණාවබෝධය කරා තමන් මෙහෙයවීමට එය යොදාගන්නා බැවිනි.

එම ගමන අතරතුර ශාසනික ප්‍රතිපදාවන්ට යටත් ව යම් යම් ශාසනික හා සමාජ කාර්යයන්හි යෙදෙන්නට භික්ෂුවට සිදුවේ. නමුත් මේ සියලු දේ සිදුවිය යුත්තේ පැවිද්දට අදාළ වූ කාරණාවලට පටහැනි නොවන ලෙසත්, ධර්මානුකූල, විනයානුකූල ලෙසත් පමණක් වන අතර, එය ඉක්මවීමට කිසිදු ආකාරයකින් බුද්ධ දේශනාව හා විනය අනුබල දී නොමැත.

බුද්ධ ශාසනයේ පැවිද්ද ලබන භික්ෂුවක් හට නිර්වාණය උදෙසා වෙහෙස වීම හැර පෞද්ගලික න්‍යායපත්‍ර තිබිය නොහැක. ශාසනය උදෙසා පූජා කරන දේ පරිහරණයට මිස අයිති කර ගැනීමට භික්ෂුවකට නොහැක. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති විනයට අනුව කිසිදු ස්ථානයක හෝ භාණ්ඩයක අයිතියක් තබා ගැනීමට පැවිදි වන්නකුට අවසර නැත. සියලු දේ අයත් වන්නේ මහා සංඝයාටය.

භික්ෂු ජීවිතයේ සෑම කරුණක දී ම ප්‍රත්‍යවේක්ෂාවේ වැදගත් බව විනයේ දී පැහැදිලි ව දක්වා ඇත. ඒ අනුව විනයානුකූලව කටයුතු කරන භික්ෂුව විසින්, ශාසනය තුළ රැඳෙමින්, විමුක්තිය උදෙසා කටයුතු කරමින්, සේනාසනාදිය පරිහරණය කරමින්, තමා හට උපස්ථාන කරන ගිලානප්‍රත්‍ය සපයන ගිහියන් උදෙසා අනුකම්පාවෙන් අර්ථ ධර්මානුශාසනාවෙන් ඔවුන්ට උපකාර කරනු ලබයි.

බුද්ධ ශාසනය තුළ මුල් විසි වසරක පමණ කාලය තුළ කය වචන සංවරව සිටි භික්ෂූන් වහන්සේ හට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පමණක් ප්‍රමාණවත් විය. පසුව නොයෙක් ආකාරයේ පුද්ගලයන් නන් දෙසින් ශාසනය තුළට ඇතුළත් වීමත් සමඟ විනය පනවන්නට උන්වහන්සේට සිදු වූ අතර, එතැන් සිට මේ දක්වා ප්‍රථම ධර්ම සංගායනාවේ දී එකඟ වූ පරිදි කුඩා කුඩා ශික්ෂාපද හෝ නොවෙනස්ව පවත්වාගෙන එන, පිළිපදින පිරිසක් ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේ හැඳීන්විය හැක. එසේ නමුත්, වර්තමාන සමාජයේ නොයෙක් විපරීත කාරණා සමඟ ගැටෙන්නට සිදුවීමත්, ශාසනය පවත්වා ගෙන යාම උදෙසා ඒ ඒ කාලීන ශාසන භාරකාරීත්වය විසින් සිදුකළ විවිධ දේ අනුව හැඩගැසීමත් නිසා භික්ෂුව නම් චරිතය සමාජය තුළ නොසිතූ ලෙස නින්දා අපවාදයන්ට ලක්වන තත්ත්වයට මේ වන විට පත්ව සිටීම මහත් සංවේගජනක ය.

සැබැවින් ම භික්ෂුවගේ කාර්යභාරය වන්නේ විහාර ඉදිකිරීම, නක්ෂත්‍ර හෝ වෙදකම් කිරීම, දේශපාලනය කිරීම, නීතියට හා රාජ්‍ය පරිපාලනයට මැදිහත් වීම, සමාජ සේවය කිරීම හෝ ගිහියන්ගේ මනදොළ සපයන වෙනත් කාරණා ඉටුකරන්නට කටයුතු කිරීම නොවේ. බුද්ධ ශාසනය තුළ පැවිද්ද ලබන්නේ එයට වඩා හාත්පසින් ම වෙනස් වූත්, ගැඹුරු වූත් කර්තව්‍යයක් වන නිර්වාණාවබෝධය ලබා ගැනීම පිණිස ය. ගිහි ජීවිතය සම්බාධක සහිත ය. කාමභෝගී ය. රාග ද්වේශ මෝහ සහිත ය. ජීවත්වන සමාජය තුළ ඇති දේවලට ඇලී ගැලී ඒවා මුල් කරගෙන ඒවා හා ගැටෙමින් වාසය කරන්න සිදුවන්නේ ය. පැවිද්ද ලබන්නේ ඒ සියල්ලෙන් නිදහස් ව මිටින් හළ කුරුල්ලෙක් මෙන් නිර්වාණය හඹා යාමට ය.

අවාසනාවකට මෙන් වර්තමානයේ ශාසනය තුළ පැවිද්ද ලබන සමහර භික්ෂූන් මෙම කාරණා පසෙක තබා ගිහියන්ටත් වඩා පෙර කී සමාජ කාරණ සමඟ ගැටෙමින්, තමන්ගේ විමුක්තිය දළ තමන් සමඟ කටයුතු කරණා පිරිසගේ ද විමුක්තිය අන් අතට හරවමින් කටයුතු කරනු දකින්නට ලැබේ. කිසිදු ධර්මාවබෝධයක් හෝ ශාසනික කාරණා පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරන අශ්‍රැතවත් ගිහි පිරිස් ද, ඒ බුද්ධ දේශනාවට පටහැනි මාර්ගයන් කරා යන්නට භික්ෂූන් වහන්සේට සහාය ලබා දෙමින් මහත් පව් රැස්කර ගනියි. සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශාසනය යම් දිනක විනාශ වන්නේ බාහිර බලවේග නිසා නොව, ශාසනය තුළම සිටින අලජ්ජී ලෙස කටයුතු කරන භික්ෂූන් නිසා බවයි. ඉතාම ශක්තිමත් යකඩයක් වුව විනාශ වන්නේ එහිම හටගන්නා මළකඩ තුළින් බවට උදාහරණය ද එහි දක්වා ඇත.

රටේ නීතිය පසිඳලන තැන්වල ද, සිරගෙවල්වල ද භික්ෂූන් යැයි සඳහන් අය කොතෙකුත් සිටිති. මෙම භික්ෂූන් යැයි පෙනී සිටින අය නිසා මුළු මහත් සමාජයක් ඇඟිල්ල දිගු කරන්නේත්, දෝෂාරෝපණය කරන්නේත් සමස්ත භික්ෂු සංඝයාට ය. වේදිකාවට නැගීමෙන් අනතුරුව අසිහියෙන් මෙන් දොඩන කරුණු, මුසාබස් හා හිස්බස් බවට සමාජයෙන් දෝෂාරෝපණය ලබනු අපට අසන්නට ලැබෙයි. භික්ෂුවක් කුමන හේතුවක් නිසා හෝ රජකුගේ, කුමාරයකුගේ, ගෘහපතියකුගේ (වර්තමානයේ නම් දේශපාලකයකුගේ හෝ ව්‍යාපාරිකයකුගේ) පණිවිඩකරුවකු නොවිය යුතු බව දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ කේවඩ්ඩ සූත්‍රයේ පැහැදිලි ව දක්වා ඇත.

තවත් සමහර භික්ෂූන් විවිධ විලාසිතා අනුව දහම් දෙසන්නට හා ගර්වයෙන් කටයුතු කරන්නට ගොස් සමාජ අපවාදයට ලක්වෙති. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් වන අංගුත්තර නිකායේ තෘතීක භාගයේ අනාගත භය සූත්‍රයේ සඳහන් පරිදි සංඝ ශාසනය කෙදිනක හෝ පිරිහෙන්නේ ශීලය නොරකින, ධර්මය ගවේශණය නොකරන, පිරිකරාදිය ගොඩගසන, දේශපාලනයට හවුල් වන, සුඛෝපභොගී ලෙස භික්ෂුවකට නුසුදුසු ලෙස හැසිරෙන භික්ෂූන් නිසා ය. මේ සියලු දේ ම හමුවේ උපේක්ෂාවෙන් කටයුතු කරන ධර්මධර, විනයධර සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නිසා ද, උන්වහන්සේගෙන් ලබන ශික්ෂණය හමුවේ හික්මී ඇති ගිහි පිරිස නිසා ද තවමත් බුද්ධ ශාසනය බුද්ධ දේශනාවට අනුව සුරැකී තිබෙයි.

සැබෑම කරුණ නම් ශාසනයට අනර්ථයක් සිදු කරන මෙවැනි භික්ෂූන් සහ ඔවුන්ට සමගාමී ව කටයුතු කරන ගිහියන් ඇත්තේ අතළොස්සක් බව ය. සමස්ත භික්ෂු සමාජය විවිධ කාරණා ඔස්සේ බෙදී සිටීමෙන් ශාසනයට අත්වන සුගතියක් නැත. බෞද්ධ උපාසක උපාසිකාවන් ප්‍රාර්ථනා කරණ සංඝ සමාජය කුමක්දැයි සියලු භික්ෂූන් වහන්සේ හොඳාකාරව ම දනිති. බුද්ධ කාලයේ මෙන් රහතුන් වහන්සේගෙන් පිරුණු සංඝ සමාජයක් අපේක්ෂා නොකළ දල, ධර්මය හා විනය අනුව කටයුතු කරන භික්ෂු සමාජයක් සියලු දෙනා බලාපොරොත්තු වෙති. එබැවින් නිර්වාණ දායක වූ ශාස්තෘ ශාසනය තවත් බොහෝ කාලයක් ලෝකයේ පැවතීම උදෙසා කටයුතු කිරීම පැවිදි- ගිහි අප සැමගේ ශාසනික වගකීමක් බව අප සියලු දෙනා සිතට ගෙන කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සිහිපත් කළ යුතු ය.