Print this Article


ගුණධර්ම පහක් පුරුදු කරමින් දේවතානුස්සති භාවනාව වඩමු

ගුණධර්ම පහක් පුරුදු කරමින් දේවතානුස්සති භාවනාව වඩමු

බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වා දෙන එකම ශාස්තෘන් වහන්සේ නිසා ‘සත්ථාදේව මනුස්සසානං’ කියා හඳුන්වනවා.

බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්ම මාර්ගය දියුණු කළ මඟපලලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේම බ්‍රාහ්මකායික දෙවිවරුන්, බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹ ලොව දක්වා වැඩ සිටිනවා.

ඒ දෙවිවරුන් තුළ තිබෙන විශේෂ ගුණ ධර්ම පහක් තමයි, ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා, කියන සේඛ බල පහ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් සිත පහදවාගෙන තෙරුවන් සරණේ පිහිටීම යි. සීලය කියන්නේ කායික, වාචසික සංවරයයි. ශ්‍රැතය යනු ධර්ම ඥානය යි. පරිත්‍යාගශීලි ගුණය චාගය කියා හඳුන්වනවා.

චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ තමන්ට තිබෙන අවබෝධය ප්‍රඥාව යි. දේවතානුස්සති භාවනාවේ දි සිදු කරන්නේ දෙවිවරුන් තුළ ඇති මේ සේඛ බල තමන් තුළත් තිබෙන බව නුවණින් සිහි කිරීම යි.

එනම් දෙවියන් තුළ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා කියන ගුණධර්ම තිබෙනවා නම් ඒ දෙවියන් තුළ තිබෙන ගුණධර්ම මා තුළත් තිබෙනවා. ‘මා තුළ යම් ආකාරයකට සේඛ බල පිහිටා තිබෙනවා ද ඒ ගුණධර්ම දෙවියන් තුළත් තිබෙනවා.’ කියා සසඳා බැලීමයි, දේවතානුස්සතිය වඩනවා කියන්නේ.

දේවතානුස්සතිය වඩන ශ්‍රාවකයාට මරණින් මතු මිනිස් ලොව අත්හැර දෙව්ලොව ඉපදීමට අවස්ථාව ලැබෙනවා. එවිට මාර්ගඵලලාභී කල්‍යාණ මිත්‍ර දෙවිවරුන් ඇසුරේ තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කරන්නට පුළුවන්කම ලැබෙනවා. සෝතානුධත සූත්‍රයේ දී පෙන්වා දී ඇති ආකාරයට දෙව්ලොව දී මාර්ගඵල අවබෝධ කරන්නට සුවිශේෂී අවස්ථාවක් ඒ ශ්‍රාවකයාට විවෘත වෙනවා.

ඒ වගේ ම දේවතානුස්සති භාවනාව වඩන ශ්‍රාවකයාට ඒ අරමුණ තුළ ම සිත එකඟ කර ගන්න පුළුවන්. එවිට ධර්මයත්, අර්ථයත් වැටහීම නිසා ප්‍රමුදිතභාවය උපදිනවා. ප්‍රමුදිතභාවය නිසා නිරාමිස පී‍්‍රතිය ඇති වෙනවා. ඒ ශ්‍රාවකයාගේ කයත්, සිතත් සැහැල්ලු වී පස්සද්ධිය ඇති වෙනවා. සැපවත් වූ සිතින් යුක්තව දේවතානුස්සතිය තවදුරටත් වඩද්දී ඒ අරමුණ තුළ සිත සමාධිමත් වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ සමාධිමත් සිත තුළ පිහිටා විදර්ශනා වැඩුවොත් මාර්ගඵල අවබෝධ කර ගන්නට පුළුවන්. එම නිසා භාග්‍යවතුන් වහන්සේ දේවතානුස්සති භාවනාව ගැන මේ ආකාරයට දේශනා කොට තිබෙනවා.

“පින්වත් මහණෙනි, එක ම ධර්මයක් පුරුදු කළ විට, බහුල වශයෙන් පුරුදු කළ විට ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, කෙලෙස් සන්සිඳීම පිණිස, විශේෂ අවබෝධ ඥානය ලැබීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, අමා මහ නිවන පිණිස පවතිනවා. ඒ එක ම ධර්මය මේ දේවතානුස්සතිය යි.”

(ඒක ධම්මො භික්ඛවේ භාවිතෝ බහුලිකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝච ඒක ධම්මෝ? යදිදං දේවතානුස්සති

දේවතානුස්සති භාවනාව පුරුදු කරද්දී, මිනිස් ලොව තිබෙන මානුෂික සැප ගැන උපේක්ෂාවට පත් වෙනවා. දෙව්ලොව හිත පිහිටනවා. මේ නිසා ඒ කෙනාට පුළුවනි. මිනිස් ජීවිතය අත් හරින විට නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව උපදින්නට, දෙව්ලොව දී ශ්‍රද්ධාදී සේඛ බල වඩ වඩාත් දියුණු කරගෙන සීල, සමාධි, ප්‍රඥා වඩමින් ආර්ය මාර්ගය තුළ නිවන කරා යන්න අවස්ථාව ලැබෙනවා.

දේවානුස්සති භාවනාව චාතුම්මහාරාජික නම් වූ දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව ද, ශී‍්‍ර සද්ධර්මය පිළිබඳ ව ද, ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ව ද අවබෝධයෙන් යුතු ව ම, පැහැදීමෙන් යුතු වූවෝ ය. ඒ ශ්‍රද්ධාව නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. ඒ ආකාර වූ, අවබෝධයෙන් යුත් පැහැදීමක් මා තුළ ද ඇත්තේ ය. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණයකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, සත්ව ඝාතනයෙන් වැළකුණෝ ය. සොරකමින් වැළකුණෝ ය. වැරැදි කාම සේවනයෙන් වැළකුණෝ ය. බොරු කීමෙන් වැළකුණෝ ය, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝ ය. නිති පන්සිල් ද, පොහොය අටසිල් ද ආරක්ෂා කළෝ ය. ඒ සීලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මමද නිති පන්සිල් ද පොහොය අටසිල් ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්මය, මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේඛ බලය, දියුණු කර ගත්තෝ ය. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද, උතුම් ශ්‍රී සද්ධර්මය මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත බලය දියුණු කර ගනිමි. එය මට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි.. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මසුරු මල දුරු කොට, කර්ම, කර්ම - ඵල අදහා, ඉතා සතුටින් යුතු ව, තෙරුවන් උදෙසා, දන් පැන් පූජා කළෝ ය. ඒ චාග බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද, මසුරු මල දුරු කොට, පින් පව් අදහාගෙන, උතුම් තෙරුවන උදෙසා, නිති දන්පැන් දෙන්නෙමි. ඒ චාග බලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන, තිලකුණු පිළිබඳ ව ද, මේ ශරීරයේ හට ගැනීම පිළිබඳ ව ද, නැතිවීම පිළිබඳ ව ද, අවබෝධයෙන් සිටියෝ ය. ඒ ප්‍රඥා බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද, ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්, මේ ශරීරයේ හටගැනීම පිළිබඳ ව ද, නැතිවීම පිළිබඳ ව ද, අවබෝධයෙන් යුතු ව, කාලය ගෙවමි. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

තාවතිංස නම් වූ ........යාම නම් වූ............තුසිත නම් වූ.......නිම්මාණරතී නම් වූ.....පරනිම්මිත වසවත්ති නම් වූ ......

මේ සියලු දෙවියෝ, මේ මනුලොව දී, සේඛ බලයන් දියුණුූ කොට, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද මේ සේඛ බලයන්ගෙන්, සමන්විත වෙමි. එය මට මහා ලාභයකි. මහා රැකවරණයකි, මහා පිළිසරණකි, මහා ආලෝකයකි.