Print this Article


විනය වඩමින් නැණස දල්වමු

විනය වඩමින් නැණස දල්වමු

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්විම තුළ දී අධ්‍යාපනය යන කාරණය ඉතා පුළුල් මාතෘකාවකි.

තිලෝගුරු නමින් හැඳීන්වෙන උන්වහන්සේ, තුන්ලොවේ ම අතීතයේ ද, අනාගතයේ ද, වර්තමානයේ ද ගිණිය නොහැකි තරම් ශිෂ්‍යයන් පිරිසක් සිටින ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වෙයි. වර්තමානය වන විට බුදු දහම තුළ ඇති අධ්‍යාපනය සම්බන්ධ කාරණා පිළිබඳ අවබෝධයක් ලබා තිබීම දෙමාපියන්ට ද, ගුරුවරුන්ට ද, ශිෂ්‍යයින්ට ද එක ලෙස වැදගත් වන කාරණයකි.

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ දේවදූත වග්ගයේ එන සබ්‍රහ්මක සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් දරුවන්ට පූර්වාචාර්ය (මුල්ම ගුරුවරු) වන බව (මාතාපිතූනං එතං අධිවචනං පුබ්බාචරියාති) දේශනා කර ඇත. දෙමව්පියන් විසින් දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කරන බවත්, පෝෂණය කරන බවත්, ඔවුන්ට ලෝකය පෙන්වා දෙන බවත්, දරුවන්ට අනුකම්පා කරන බවත්, එසේ කරන දෙමව්පියන්ට ආහාර පාන, වස්ත්‍ර ආදිය දී ඔවුන් රැකබලා ගැනීමත්, වන්දනා කිරීමත්, සැබෑ පණ්ඩිතයකුගේ ගතිගුණ බවත් (තස්මාහි නෙ නමස්ස්‍යෙ ය, සක්‌කරෙය්‍ය ච පණ්‌ඩිතො) උන්වහන්සේ දේශනා කර ඇත. එලෙස කටයුතු කරන දරුවන්ට මෙලොව හා පරලොව යන දෙලොව දී ම සැපතක් වන බව එම දේශනාවේ සඳහන් වේ.

සිඟාලක සූත්‍රයේ දී මෙම පූර්වාචාර්ය වන දෙමව්පියන් කටයුතු කළ යුතු අන්දම විස්තර කර තිබේ. ඒ අනුව පළමුවෙන්ම හොඳ නරක පැහැදිලි කර පාපයෙන් වැළැක්විය (පාපා නිවාරෙන්ති) යුතු ය. යහපත් ක්‍රියාවෙහි (කල්‍යාණෙ නිවෙසෙන්ති) යෙදවිය යුතු ය. නිසි අධ්‍යාපනය (සිප්පං සික්ඛාපෙන්ති) ලබා දිය යුතු ය. සුදුසු කාලයෙහි විවාහ කටයුතු (පතිරූපෙන දාරෙන සංයොදෙන්ති) සිදුකර දිය යුතු ය. සුදුසු කාලයේ දී දේපළ ආදිය පවරා (සමයෙ දායජ්ජං නිය්‍යාදෙන්ති) දිය යුතු ය.

ඒ අනුව දරුවන්ට මුල්ම ගුරුවරු බවට පත්වන දෙමව්පියන් විසින් දරුවන් පළමුවෙන්ම යහපත්, සදාචාරමත් පුද්ගලයන් බවට පත්කොට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ සිඟාලක සූත්‍රයේ දී දේශනා කර ඇත.

ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඇති සම්බන්ධතාව ගැන දේශනා කිරීමේ දී, ගුරුවරයා විසින් පළමුව ශිෂ්‍යයා හොඳීන් හික්මවිය (සුවිනීතං විනෙන්ති) යුතු ය. විනයානුකූල කළ යුතු ය. ඉන් පසු හොඳීන් අධ්‍යාපනය ලබා දිය යුතු ය. තමා දන්නා සියලු විෂය කාරණා හොඳීන් (සබ්බ සිප්පසුතං සමක්ඛායිනො භවන්ති) කියා දිය යුතු ය යන ආකාරයෙන් වූ කරුණු බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලක සූත්‍රයේ දී දක්වා ඇත.

එයට පිළිතුරු ලෙස ගුරුවරයා හට හුනස්නෙන් නැඟිට ගරු කිරීම, උපස්ථාන කිරීම, උගන්වන කරුණු හොඳීන් අසා දැනගැනීම, උගන්වන දේ නිසි ලෙස පිළිගැනීමෙන් ද ශිෂ්‍යයා විසින් ගුරුවරයාට ගරු කළ යුතු බව එහි දක්වා තිබේ.

කාරණා එලෙස වුව ද, වර්තමානයේ පූර්වාචාර්යවරුන් ලෙස සලකන දෙමව්පියන් කටයුතු කරන අන්දම ඊට හාත්පසින් ම වෙනස් ය. අද පවතින තරගකාරී සමාජය තුළ මුදල් පසුපස හඹා යාම ප්‍රමුඛ වී ඇති බැවින්, දරුවන් යන්තම් වැඩෙන කාලයේ දී ම මව්පිය සෙනෙහසින් ඈත් කර සේවිකාවන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබේ. එහිදී දරුවා කා බී ඔහේ කාලය ගත කරමින් සිටින අතර, මවිපියන්ගෙන් මෙන් ගුණ ධර්ම වර්ධනයට අවශ්‍ය මඟපෙන්වීමක් අන් අයගෙන් ඔවුන්ට නො ලැබේ.

ඒ සමඟ ම බොහෝ විට දරුවන් පෙරපාසල් අධ්‍යාපනයට යොමු කරන අතර, වර්තමානයේ පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඒකාබද්ධ ව ඇති ආයතන බොහොමයක් ඇති හෙයින්, බහුතරයක් කුඩා දරුවන් ඒවායේ ඔහේ කාලය කා දමති. වර්තමාන පෙරපාසල් අධ්‍යාපනයේ දී දරුවන් ඉන් පසුව පැමිණෙන තරගකාරී පාසල් අධ්‍යාපනික රටාවට හුරුකිරීම උදෙසා දරුවා, දරුවකු ලෙස නොව කුඩා අත් පා ඇති වැඩිහිටියකු ලෙස සලකා කටයුතු කරන බැවින්, එයින් ද මානුෂීය ගුණාංගවලින් දුරස් වූ දරුවෙක් ගොඩනැඟෙයි. ජාතක පාළියෙහි එන සත්තිගුම්භ ජාතකයේ මෙන් මව්පිය ගුණධර්ම ඇසුරින් ගොඩනැඟීමට ඉඩ නැති දරුවා, සොරමුල සිටින දෙසට වැටුණු ගිරවා මෙන් අවිචාරවත් ව වැඩෙයි.

සම්බුද්ධ දේශනාව අනුව පූර්වාචාරීන්ගෙන් යහපත, අයහපත ඉගෙනීමට අවකාශ නොමැති දරුවා දරුවකු ලෙස නො වැඩෙයි. එලෙස වැඩෙන දරුවා ඉන් අනතුරුව සමාජය සමඟ ගැටෙන්නේ ආත්මාර්ථය හා පරිකල්පනයක් රහිත දරදඬු ගතිගුණයෙන් යුක්ත වූ කුඩා වැඩිහිටියකු ලෙස ය.

වර්තමාන පාසල් පද්ධතිය තුළ ඇති තත්ත්වය ද ඉතා කනගාටුදායක ය. තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් වල්මත් ව සිටිනා ශිෂ්‍යයන් එකී තරගකාරීත්වය තුළ ඉදිරියට තල්ලුකිරීම පළමුකොට සැලකීම මිස, සදාචාර සංවර්ධනය පළමුකොට සලකා ශිෂ්‍යයන් හික්මවීමට ගුරුවරුන්ට ඉඩ නැත. විවිධ ක්‍රමවේද ඔස්සේ ගුරුභූමිකාවට අවතීර්ණය වන ඇතැම් අයට ද මෙම හර පද්ධතිය ගැන අල්පමාත්‍ර හෝ දැනුමක් නො තිබීම ද අද තිබෙන ඛේදජනක තත්ත්වයට හේතුවක් වී ඇත. රජයේ වුව ද, පෞද්ගලික වුව ද, ගුරුවරයා ගුරු ගෞරවය පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.

අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් තොරව, විෂය දැනුම පමණක් ඇති අය විශාල වශයෙන් අද ගුරුභූමිකාවට අවතීර්ණ වී ඇත. එසේ හෙයින් වර්තමානයේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ගුරු භූමිකාවට ප්‍රතිවිරුද්ධ ගමනකින් යුක්ත වී ඇත. මුදලට උගන්වන ගුරුවරු සිතන්නේ ශාස්ත්‍රීය දැනුම ලබා දීම තමාගේ එකම වගකීම බව ය. පාසල් ගුරුවරුන්ට ද සිදුව තිබෙන්නේ විවිධ වෙනත් රාජකාරී මධ්‍යයේ විෂය නිර්දේශ ආවරණය කිරීමට ය.

ගුරු භූමිකාව පසෙකින් තබා ශිෂ්‍යයන් සමඟ නුසුදුසු ලෙස හැසිරෙන්නට ගුරුවරයෙක් සිතයි නම්, ශිෂ්‍යයින් ගැන කුමක් කියන්නට ද? බොහෝ පෞද්ගලික ගුරුවරු තම පෞද්ගලික පන්ති තුළ සිසු සිසුවියන්ට රිසි සේ හැසිරෙන්නටත්, තමා නො දන්නා විෂයයන් පිළිබඳ (ධර්මය ගැන පවා) විකෘති කරුණු කියා දෙන්නටත් කටයුතු කර මඩිය තර කර ගනිති. මෙලෙස ගුරුවරු සාදාචාරයෙන් බැහැරව කටයුතු කරන කල ඔවුන්ගෙන් ශිල්ප ලබන සිසුවන්ට ද සිදුවන්නේ පෙර සඳහන් කළ සත්තිගුම්භ ජාතකයේ සොරමුල අසලට වැටුණු ගිරවාට සිදුවූ කාරණය ම ය.

අනාගතයේ සමාජය තුළට පුරවැසියකු ලෙස ඇතුළුවන දරුවන් සමාජයට හිතකාමී පුද්ගලයන් කිරීම උදෙසා මව්පියන් හා ගුරුවරුන් සතු ව සුවිශේෂි කාර්යභාරයක් ඇති බව මින් වටහාගත යුතු කාරණය යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ විනය වඩා ඒ ඔස්සේ දැනුමට යන මාර්ගයකි. එම දේශනා වර්තමාන අධ්‍යාපන ක්‍රමයට අනුගත කර ගැනීමෙන් ද, ඒ පිළිබඳ දැනුවත් ව කටයුතු කිරීමෙන් ද, සමාජයේ පවතින ගැටුම් රාශියකට මූල බීජය සපයන අධ්‍යාපනයේ ඇති සාරධර්ම රහිත වීමේ අඩුපාඩුව සකසා ගෙන, සමාජයේ බොහෝ ගැටලුවලට විසඳුම් ලබා ගත හැකි සදාචාරමත් අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත.