සුපසන් වදනින් සුවපත් දිවියක්
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
වචන කියන්නේ ඉන්ද්‍රියයක් නොවේ. ඉන්ද්‍රියයන් කිහිපයක් නිසා කෙරෙන කාර්යයක්. හැබැයි
අපිට කතා කරන්න පුළුවන් වුණාට වචන භාවිත කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන්, සාධු වාචාය
සංවරෝ, වචනය සංවර කර ගැනීම ඉතා වැදගත්. වචනය අසංවරකම නොයෙක් භේද, ගැටුම්, දරුණු
ගණයේ විනාශ ඇතිකරන්න පුළුවන්.
මුවින් පිට කරන හැම වචනයක් ම පවිත්‍ර වචනයක් කර ගන්න. වචනය අපවිත්‍ර වුණාම ඔබ පමණක්
නොව සමාජය ම අපවිත්‍ර වන බව මතක තියා ගන්න. වචනයක් පිට කරන්න කලින් දෙවරක් හිතන්න.
ඔබේ එක වචනයකින් අනෙකාගේ ජීවිතයම නැති වෙන්න පුළුවන්. එම නිසා යහපත් වචනම භාවිත
කරන්න.
යහපත් වචන කතා කරනවා කියන්නේ ඇත්ත කතා කිරීමටයි. වෙන්ව සිටින අය එකතු කිරීම සඳහා
වචන භාවිත කරන්න. අන්‍යයන්ගේ සිත සැනහෙන විදිහට වචන භාවිත කරන්න. සහෝදරත්වය,
මිත්‍රත්වය, ඥාතීත්වය, සාමූහිකත්වය යන උතුම් මානව ගුණය වැඩෙන ලෙස වචන හසුරුවන්න.
සමහරු විනෝදයට, අනෙක් අය උපහාසයට, අපහාසයට ලක්වන විදියට වචන භාවිත කරනවා. ඒ අයට
තේරෙන්නේ නෑ. එම වචන නිසා කී දෙනකුගේ හිත නරක් වෙනවාද කියලා.
බුදුරජාණන් වහන්සේ වචනය සංවර කර නොගැනීම නිසා සිදු වන අකුසලකර්ම හතරක් දක්වනවා.
මුසාවාදා, පරුෂාවාචා, පිසුනාවාචා සම්ප්‍රප්ලාප.
මෙම වචනවල අසංවර බව නිසා වායු දූෂණය පවා සිදුවෙනවා. බොරු කීම, පරුෂ වචන, කේළාම්,
හිස් වචන කීම නිසා පිටවන වායුව තුළින් අවට පරිසරය දූෂණය වන බව බුදුරජාණන් වහන්සේ
පෙන්වා දී තිබෙනවා. පි‍්‍රය වචන කතා කිරීමේ වැදගත්කම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා
දුන්හ. වරදක් කරන ලද්දකුට දොස් නැඟීමේ දී බුදුපියාණන් වහන්සේ භාවිත කළ බරපතළම වචනය
මෝඝ පුරුෂයා, එනම් හිස් පුරුෂයා යන්නයි.
සමහරුන්ට බොරුකීම ඇබ්බැහි වීමක් වගේ. පුංචි දරුවො පමණයි ඇත්ත ම කතා කරන්නේ. එක
අතකින් අප සමාජය විසින් පොළඹවනවා බොරු කියන්න. අනුන් මුළා කිරීම, රැවටීමට සමහරු
බොරු කියනවා. සමහරු ඉටු කරන්නට බැරි පොරොන්දු දෙනවා. සමහරු අනුන්ට අයත් දේ කඩා වඩා
ගන්නට බොරු කියනවා. පිරිමි ළමයි ගැහැනු ළමයින් රැවටීමට බොරු කියනවා. සමහරු රටත්,
ජනතාවත් රැවටීම සඳහා බොරු කියනවා. ඇත්තට ම මේ මුසාවාදය, වචනය සංවර කර නොගැනීම නිසයි
සිදු වන්නේ. බොරුව රජ කරවන සමාජයක් සුචරිතවත් සමාජයක් වන්නේ නැහැ. යහපත් සමාජයක්
වන්නේ නැහැ.
පිසුනාවාචා කියන්නේ කේළාම් කීම. එය සමාජයේ බොහෝ ගැටුම්වලට මුල් වෙලා තිබෙනවා.
කේළාම් නිසා මිනිස් සමාජය ම භේද භින්න වෙලා. පවුල්වල අසමඟිය, අම්මා, තාත්තා අතර
අසමඟිය, සහෝදරවරු අතර අසමඟිය, යහළුවන් අතර අසමඟිය ඇතිවෙනවා. එම නිසා ඔබ කේලාම්
නොකියන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. ඒ වාගේම කේළාම් අහන්නත් එපා. කේලාම් කීමත්
වචනයෙන් කෙරෙන අකුසලයක්. පරුෂා වාචා, සිත දූෂණය කරන, අමිහිරි, සමාජයක් ඉදිරියේ කිව
නොහැකි, ලජ්ජා සහගත වචන භාවිත කරන්නත් එපා. සමහර පියවරු මත්පැන් පානය කරලා ඇවිත්
තමන්ගේ දූ දරුවන් ඉදිරියේ පරුෂ වචන කියනවා. වැඩිහිටි අය හරිම පරිස්සමෙන් වචන භාවිත
කරන්න ඕනෑ. මතක තබා ගන්න ඔබේ දරුවන් හොඳ දේට වඩා වේගයෙන් නරක දේ අල්ලා ගන්නවා.
සම්පප්‍රලාපයත් අකුසලයක්. දිනක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවීමට අඹ වනයට
යන අවස්ථාවේ දී උන්වහන්සේ භික්ෂුන් දහස් ගණනක් පිරිවරාගෙන සිටියද අවම වශයෙන්
කිවිසුමක හඬක් වැනි කිසිදු ශබ්දයක් භික්ෂුන් අතරින් පිට වූයේ නැහැ. එවිට එක්
භික්ෂුවකට කැස්සක් ඇති වුණා. අසල සිටි අනෙක් භික්ෂුවක් ඔහුට වැලමිටෙන් ඇන නිහඬ වන
ලෙස දන්වා සිටියා. ඒ දැක පුදුමයට පත් වූ රජු ඒ ගැන නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන්
ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් නිශ්ශබ්දතාව අගය කරන බවයි.
බුදුරජාණන් වහන්සේ නිහඬතාව අගය කළ බවට පොට්ඨපාද සූත්‍රය ද සාධක සපයනවා. උන්වහන්සේ
වැඩම කරන අවස්ථාවක දී බමුණා ස්වකීය ශ්‍රාවකයන් නිහඬ කර ගත්තේ ශ්‍රමණ භවත් ගෞතමයාණන්
අල්ප ශබ්දතා බැවින් නිහඬ වන ලෙස දන්වමිනි.
නිතරම කෑ කෝ ගසමින්, ශබ්ද පවත්වන භික්ෂුන් පවා බුදුරජාණන් වහන්සේගේ ගර්හාවට ලක් වී
ඇත්තේ මාළු මරණ කෙවුලක් හා සමාන කරමින්. එය චාතුම සූත්‍රයෙන් මැනවින් පැහැදිලි
වෙනවා.
උදාන පාලියේ යසෝජා තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂුන් පිරිසක් ශබ්ද ඇති කරමින්, උස්
හඬින් ඝෝෂා කරමින් පැමිණෙනවා දුටු බුදුරජාණන් වහන්සේ ඔවුන් පන්නා හැරි බවත් රැස්වූ
අවස්ථාවල දී දැහැමි කතාවකින් යුක්ත වීම හෝ ආර්ය තුෂ්ණිම්භූත භාවයෙන් යුක්ත වීම හෝ
අනුගමනය කළ යුතු බවත් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය සුන්දරව පවත්වා
ගැනීම සඳහා කොතරම් උත්සාහ ගත්තේ ද යන්න මේ තුළින් මැනවින් පැහැදිලියි.
හිස් වචන, නිරර්ථක වැඩකට නැති වචන සමහරු හරිම ආසයි කතා කරමින් ඉන්න. සමහරුන්ගේ කතාව
විතරයි වැඩ නැහැ. ඔබ පුරුදු වෙන්න වැඩියෙන් වැඩ කරලා ප්‍රමාණයට කතා කරන්න.
දිගින් දිගට ම හිස් වචන කතා කිරීමත් මානසික රෝගී තත්ත්වයක්. කතාවෙන් පමණක් රටක්
ජාතියක් ගොඩනඟන්න බැහැ නේ. ඕනෑ ම කෙනකුට ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕන නැහැ කියනවා නේ.
එම නිසා හොඳම වචන, අවශ්‍ය ම වචන, වැඩක් ඇති වචන නිතර ම පරිහරණය කරන්න. මේ වෙලාවේ මට
මතක් වෙනවා. පැළෑනේ සිරි වජිරඥාන හාමුදුරුවන්ගේ වැදගත් අදහසක්.
මහනෙල් සුවඳ ම ය
කුඩමසු පිලී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය |