ගමේ පන්සලට
මුල් තැන් දුන්
ගැමි සංස්කෘතිය
දේශාභිමාන ශ්‍රී ලංකාතිලක
ටී. කුලසිරි ප්‍රනාන්දු
ශ්‍රී ලංකා දෙරණේ ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන උතුම් සංකල්පය ගොඩනැඟෙන්නේ
අනුබුදු මිහිඳු මාහිමි විසින් දේශිත නිර්මල ථේරවාදී බුදු දහම පදනම් කරගෙන බව අපි
කවුරුත් දනිමු.
ශ්‍රී.බු.ව. 237 පොසොන් පුර පසළොස්වක දින මිහිඳු මාහිමිපාණෝ මිහින්තලා පව්වේ දී අපට
දායාද කළේ දුර්මතවලින් තොර, ශික්ෂණයෙන් මහත් ප්‍රතිඵල ලැබිය හැකි, මෙලොවදීම උතුම්
ඵල නෙළා දෙන අකාලික වූ ජීවන දර්ශනයකි. එය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මූර්තිමත් කළ
ධර්මස්කන්ධයකි.
චන්ද්‍රයා නිසා රාත්‍රියත්, රාත්‍රිය නිසා චන්ද්‍රයාත්, ඒ දෙකම නිසා අහසත් බබළන්නා
සේ, බුදු දහම නිසා මිනිසාත්, මිනිසා නිසා බුදු දහමත් ඒ දෙකම නිසා සමාජයත් බැබළිය
යුතු ය. පුන්සඳ පායා ඇති පැහැදිලි රැයක මුළු ගම ම සඳ එළියෙන් බැබළෙන මොහොතක ඒ
හඳපානේ වැඩියෙන්ම බබළන්නේ ගමේ පන්සලේ වෙහෙර වහන්සේ ය.
පුරාණ සිංහල ගමක ආකෘතියක් නිරීක්ෂණය කළහොත් ගමට පන්සලත්, පන්සලට ගමත් නැතිවම බැරි
බව පෙනේ. වැවයි, දාගැබයි, ගමයි පන්සලයි අතර පැවතියේ ඈත් කළ නොහැකි බන්ධුතාවකි.
පන්සල ගැමි ප්‍රජාවගේ දෛනික ජීවන රටාවට සම්බන්ධ වන්නේ ඔහු මෙලොව එළිය දකින්නටත් පෙර
සිට ගමේ පැවැත්වෙන හැම කාර්තව්‍යයකට ම පන්සල සම්බන්ධ විය. ගොවිතැන්බත් කිරීමට පවා
පන්සලේ හාමුදුරුවන්ගේ උදවු උපකාර අවශ්‍ය විය. සිංහල ගැමියාට පන්සලට වඩා පුණ්‍යවන්ත
භූමියක් වෙනත් නැත. පන්සල ශුද්ධ භූමියක් ලෙස සලකන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ
රත්නයටම එය වාසභූමියක් වන බැවිනි.
තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදුකළ හැකි
චෛත්‍ය තුන් වර්ගයක් ඇත. ඒ, ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය සහ උද්දේසික
චෛත්‍යය යි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත්
කොට නිර්මිත ස්තූප ශාරීරික චෛත්‍යයෝ ය. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කළ සිවුරු,
පාත්‍ර, සම්බුද්ධත්වයට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ද පරිභෝග කළ ස්ථාන,
ඉපදීම, බුද්ධත්වය, ප්‍රථම දහම් දෙසීම, පරිනිර්වාණය යන සිව්මහා සංවේගස්ථාන ද,
ශ්‍රීපාද ලාංඡනය ද, යන සියල්ල පාරිභෝගික චෛත්‍යයෝ ය. බුදුරජාණන් වහන්සේ උදෙසා
ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා මෙන්ම බෞද්ධ සංකේත උද්දේශික චෛත්‍යයෝ ය.
හෙළ සිංහල බෞද්ධයන් විහාරස්ථානයේ දී කතාබස් කිරීමේ දී ගෞරවාන්විත බස් වහරක් භාවිත
කිරීම පෙනේ. ජලය පැන් වශයෙනුත්, අත සේදීම දෝවනය යනුවෙනුත් පන්සල් බිම, බෝමළුව
අතුගෑම අමදිනවා යනුවෙනුත් හඳුන්වයි. අපේ හාමුදුරුවන් වහන්සේ යමක් ප්‍රකාශ කළ විට
“එහෙමයි අපේ හාමුදුරුවනේ” යි කීම ඔබ අසා ඇත. උන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදී ඉවත්ව
යන්නේ “අවසරයි හාමුදුරුවනේ” යැයි අවසර ගැනීමෙන් පසුව ය.
එදා ගැමියා විහාරස්ථානය සමඟ සහසම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා
විහාරස්ථානය මුල්කොට ගෙන ඉටුකර ගත්හ.
පන්සල් භූමියේ දර්ශනය වන සෑම වස්තුවක් ම පොදු වස්තු යන හැඟීමෙන් සැලකීම පුරාණ
ගැමියාගේ සිරිතකි. එමෙන්ම සාංඝික දේපළ තම පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම කිසිදා
වන්නේ ද නැත. අපේ පැරැණි ජන සමාජය බුදු දහමට අනුගාමීව තම දෛනික ජීවිතය හැඩගස්වා
ගැනීමට උත්සාහ කළහ. කුසල් අකුසල් පිළිබඳව තත්වාකාරයෙන් නිවැරැදිව, අවබෝධයෙන්
ක්‍රියා කළහ.
දුසිරිත, දුරාචාරය , අපචාරය, ම්ලේච්ඡත්වයට අද සමාජ සන්දර්භය තුළ ඉස්මතු වී ඇති බව
පෙනේ. වර්තමානයේ ඇතැම් බෞද්ධයන්ට බුදු දහමේ පිහිට අවැසි වන්නේ තමන්ගේ පැවැත්මේ එක්
පැතිකඩක් වශයෙන් පමණි.
දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය ජය ගැනීමට නම් අපි නිවැරැදි මාවතේ ගමන් කළ යුතු ම ය.
බොරුව හා මිථ්‍යා මත බැහැර කොට සදහම් මාර්ගයට අවතීර්ණ විය යුතු ය. ධර්ම ප්‍රතිපත්ති
හා ඊට අදාළ ඇවතුම් පැවතුම්වලට ජීවිතය හුරුකර ගතහොත් ජීවිතය ජයගත හැකි ය. තථාගතයන්
වහන්සේ මෙන්ම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් නිර්මල ථේරවාදී
බුදු දහම අපි ප්‍රතිපත්තියක් ලෙස ජීවිතයට ගළපා ගැනීමට අදිටන් කරගත යුත්තේ ඒ නිසයි.
|