Print this Article


රාහුල මාතා - 06

ප්‍රජාපතී ගෝතමිය එදා තවත් කාන්තාවන් කීප දෙනකු සමඟ දෙව්දහනුවරට ආවා ය.

ඇය අමිතා දේවිය සමඟ කළ කතාබහ කුටියක සිටි යශෝදරාට ඇසිණි.

“මේ දිනවල අපේ සුද්ධෝදන රජතුමාට එන්නට කිසිම ඉඩක් නැහැ. සිද්ධාර්ථ ආවාහය සඳහා කුමරියක් සොයනවා.” ප්‍රජාපතී කීවා ය.

යශෝධරා වැතිර සිටි යහනින් වහා නැඟිට කුටියේ දොරකඩ වූ අසුනෙක හිඳ ගත්තා ය. දැන් වඩාත් හොඳින් කතාබහට කන් දී සිටිය හැකි ය.

“මා සිතුවා සිද්ධාර්ථ විවාහයකට කැමැති නැහැ කියල” අමිතා දේවිය කීවා ය.

“සිද්ධාර්ථගේ කිසි කැමැත්තක් නැහැ. අපටයි වුවමනා. නෑදෑයන් එකතුවෙලා, සාකච්ඡා කොට කුමරු හමුවුණා. ඔබ විවාහ විය යුතුයි. ඒ සියලු දෙනා ම එක් හඬින් කුමරුට කීවා. සතියකින් ඔබට මා පිළිතුරු දෙනවා කියා කුමරු ඔවුන්ට කීවා.

සිය කුටියට වී ඔහු සතියක් ම කල්පනා කරමින් සිටියා. පසුව ලිපියක් ලියා පියරජතුමාට දුන්නා. ඔහු බලාපොරොත්තු වන කුමරියගේ ගුණාංග ඔහු ඒ ලිපියෙන් ඉදිරිපත් කළා. මා අද ඒ ලිපියේ පිටපතක් ඔබට පෙන්වීමට ගෙනාවා.” “ඔබ ම එය කියවන්න” අමිතා දේවිය කීවා ය. ප්‍රජාපතී එය කියවන්නට සැරසුණා ය.

එවිට ම අසුනක් ඇදෙන හඬක් කුටිය තුළින් ඇසිණි.

“කුමක්ද ඒ හඬ? ප්‍රජාපතී ඇසුවා ය.

අමිතා කුටියට එබී බැලුවා ය.

“මේ අපේ දියණිය යශෝධරා. එන්න ඔබත් අප ළඟට. ඔබ මෙය අසා සිටියාට කමක් නැහැ.”

යශෝධරා මහත් සතුටින් ආවා ය. ප්‍රජාපතී ළඟින් හිඳ ගත්තා ය.”

“හරි. දැන් කියවන්න “ අමිතා කීවා ය.

“යශෝධරා දුව ම මේක කියවන්නකො” ප්‍රජාපතී කීවා ය.

යශෝධරා ඒ ලිපිය ශබ්ද නඟා කියවන්නට වූවා ය.

“මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇත්තියක විය යුතුයි.

ඕ රූප මදයෙන් මත් නොවිය යුතු ය.

මවක සේ, සොහොයුරියක සේ, මෙත් සිතැත්තියක විය යුතු, මහණ බමුණන්ට දන්දීමෙහි ඇලුණියක විය යුතුයි. මානය, කිපෙන ගතිය, රළු බව, ඊර්ෂ්‍යාව, වංක බව, යන දුර්ගුණ නැති ස්වාමි භක්තිය ඇති, උඩඟු නොවූ හැඩිදැඩි නොවූ, රසයෙහි ගිජු නොවූ, ගැයුම්, වැයුම් ආදි වශයෙන් පැවැත්වෙන ගාලගෝට්ටි කරෙහි ඇලුම් නැති, සුවඳ විලවුන් දැරීමේ ආශා නැති, ලොහොබි නොවූ, අන් සතු දැය දැක ආශා නොකරන, සත්‍යවාදී වූ සැපතෙහිදී ආඩම්බර නොවන, විපතෙහි දී නොතැවෙන, ඒ හැම තැන දි මධ්‍යස්ථව සිටින ලජ්ජා, බය ඇති, දෘෂ්ට මංගල ශ්‍රැත, මංගලයෙහි (පි‍්‍රය දෑ දැකුම් ආදියෙන් සුබ පල ලැබෙතැයි යන මතයෙහි) නොඇලුණු, ගුණදහමින් යුත්, හැම කල්හිම හිත, කය, වචන යන තුන් දොරම පිරිසුදු ලෙස රැක ගන්නා. අලස බවින්, කුසීත බවින් දුරු වූ, කුල මාන, වංශ මානයෙන් මත් නොවූ විමසා කටයුතු කරන, ධර්මාචාරී වූ, නැඳි මයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති, දාසියක සේ යටහත්, මවක සේ කාරුණික, කුහක නොවූ එකියක විය යුතුයි.

මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි.”

යශෝධරා එය කියවා හමාර කළා ය. ඇය සිය මවගේ සහ නැන්දණියගේ මුහුණූු දෙස බැලුවා ය. ඒවා සිනාමුසු ය.

“ඒ සියලු ගුණ එක්වූ කෙනකු ගැන මා දන්නවා.” අමිතා දේවි කීවා ය.

“මාත් දන්නවා” ප්‍රජාපතී ද කීවා ය.

“කවුද ඒ?”

“පසුව කියන්නම්”

ඔවුන් දෙදෙනාගේ ම දෑස් යශෝධරාට යොමුවිය. ඇගේ මුහුණ ලජ්ජා මුසු බවක් පළ කළාය.

එහෙත් එහි සැඟවී ඇති සතුට වැඩිහිටියන් දෙදෙනාට ම පෙනිණි.

සිද්ධාර්ථ විසින් පිළියෙළ කැරුණුූ උතුම් බිරිඳකගේ ගුණාංග ඇතුළත් ලියවිල්ල ශාක්‍ය දේශයේ මෙන්ම අවට රාජ්‍යවල රූමතියන්ගේ, නැණවතියන්ගේ බලවතියන්ගේ සිත් සසල කළාය.

සිද්ධාර්ථ හිමිකැර ගැනීමේ වුවමනාව ඒ ලලනාවන්ට තිබුණ ද ඒ ගුණාංග සියල්ල ඔවුන් තුළ නොවීම ය සසල බවට හේතුව.

තරුණියෝ සියයකට වැඩි පිරිසක් සිද්ධාර්ථ අපේක්ෂාවෙන් තරග වැදුණහ. එහෙත් සිද්ධාර්ථ අර ලියවිල්ල අනුව ලොවෙහි උතුම් ම කත තෝරා ගත්තේ ය.

යශෝධරා සිද්ධාර්ථගේ බිරිය වූවා ය. ඒ විවා මඟුල දා ම සිද්ධාර්ථ ශාක්‍ය දේශයේ රජු වශයෙන් ද අභිෂේක ලැබී ය. යශෝධරා ඒ රජුගේ අගමෙහෙසිය වූවා ය.

ඒ උතුම් කාන්තා ගුණාංග යසෝධරා ළමා වියේ සිට පළ කළා ය. දේවදත්ත ළමා වියේ සිට දෙව්දහනුවර වැසියන්ගේ අප්‍රසාදයට ලක්වූයේ ය. කුලහීනයන් පිළිකුල් කළ ඔහු කුරුල්ලන්ට, සාවුන්ට, මුවන්ට මෙන්ම මිනිස් පැටවුන්ට ද හිංසා කිරීමෙන් සතුටක් ලැබූයේ ය. නැඟණිය පිළිබඳ ව පියාට කේළාම් කීවේ ය. මවට බොරු කීවේ ය.

ඔහුගේ එක ම නැඟණිය වූ යසෝධරා සිය අයියණ්ඩියගේ ගතිගුණවලට මුළුමනින් ම වෙනස් වූවා ය. මිනිසුන් අතර කුලීන, කුලහීන වෙනසක් ඇයට නොපෙනිණි. ඇය කතා කළේ ඇත්ත ය. බොරුව, කේළාම් කීම ඇයට හුරු නොවී ය කුරුල්ලන්ගේ, ලේනුන්ගේ දුක මෙන්ම මිනිසුන්ගේ දුක ද ඇගේ ඇසට කඳුළු නැංවී ය. ඇය, මවට පියාට කීකරු වූවා ය. අයියණ්ඩියට නම් අකීකරු වූවා ය. ඒ, ඔහුගේ කුරිරුකම් නිසා ය.

මතු සම්බන්ධයි