Print this Article


සම්බුදු ගුණ සිහිකරමින් භාවනා වඩමු

සම්බුදු ගුණ සිහිකරමින් භාවනා වඩමු

බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදුගුණ සිහිකොට වඩන භාවනාව බුද්ධානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්සේ ඒ ගැන මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සන්සිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම හේතු වෙනවා. ඒ එක ම එක දේ බුද්ධානුස්සතිය යි.”

විශාඛා උපෝසථ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුස්සති භාවනාව ගැන තවදුරටත් මෙසේ පෙන්වා දුන්නා.

“පින්වත් විශාඛා, ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරනවා. තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරන ඔහුගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම් ඒවා ප්‍රහාණය වනවා.”

තවත් වරෙක දී මහානාම ශාක්‍ය රජුට බුද්ධානුස්සතිය වැඩීමේ අනුසස් මෙසේ පැහැදිලි කර දී තිබෙනවා.

“මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරයි නම්, එවිට ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වුණ සිතක් නැහැ. ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබනවා. ධර්මය තුළින් සතුට ලබනවා. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබනවා. ප්‍රමුදිත වූ කෙනාට පී‍්‍රතිය උපදිනවා. පී‍්‍රති සිත් ඇති කෙනාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුණ කය ඇති කෙනා සැපයක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ව ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩ පහරට පැමිණියේ බුද්ධානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

බුද්ධානුස්සති භාවනාව

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුණ සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ, අනන්ත වූ සීලයෙන් යුතු වන සේක. අනන්ත වූ සමාධියෙන් යුතු වන සේක. අනන්ත වූ ප්‍රඥාවෙන් යුතු වන සේක. අනන්ත වූ විමුක්තියෙන් යුතු වන සේක. අනන්ත වූ විමුක්ති ඤාණ දර්ශනයෙන් වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ, ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නො ඇලුණ සේක. නො ගැටුණ සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නො ඇලුණ සේක. නො ගැටුණ සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නො ඇලුණ සේක. නො ගැටුණ සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නො ඇලුණ සේක. නො ගැටුණ සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නො ඇලුණ සේක. නො ගැටුණ සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ අරහං වන සේක.... අරහං වන සේක... අරහං වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැති ව ම අවබෝධ කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළ යුතු වූ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප්‍රහාණය කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ යුතු වූ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම සාක්ෂාත් කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ප්‍රගුණ කළ යුතු වූ දුක නැතිවීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප්‍රගුණ කොට නිමවා වදාළ සේක. මෙසේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පරිවර්ත තුනකින් යුතු ව, ආකාර දොළොසකින් යුතු ව, ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක...

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීම, ජලයේ සක්මන් කිරීම, පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවීම, ඕනෑම තැනකට නො පෙනී ගමන් කිරීම ආදි ඍද්ධි ප්‍රාතිහාර්ය ඤාණය ලබා ගත් සේක. තමන්ගේ මනෝමය ශරීරයෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව වූ මනෝමය ඍද්ධි ඤාණය ලබා ගත් සේක. ඕනෑම දෙයක් ඇසීමේ හැකියාව වූ දිව්‍ය ශ්‍රවණය ලබා ගත් සේක. ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වූ දිවැස් නුවණ ද ලබා ගත් සේක. සියලු සත්ත්වයන්ගේ සිත් සතන් දැකීමේ හැකියාව වූ පරචිත්ත විජානන ඤාණය ලබා ගත් සේක. සියලු අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබා ගත් සේක. සියලු ලෝක සත්ත්වයන් කර්මානුරූප ව උපදින ආකාරය ද, චුත වන ආකාරය ද දැකීමේ හැකියාව වූ චුතුපපාත ඤාණය ලබා ගත් සේක. තමන් වහන්සේ තුළ පැවති සියලු කෙලෙසුන්, සියලු අවිද්‍යා, සියලු තණ්හා, සියලු උපාදාන නැති කොට ආසවඛ්‍ය ඤාණය ලබා ගත් සේක.

මෙසේ අනන්ත ඤාණ ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත සිල් ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක.... විජ්ජාචරණ සම්පන්න වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මඟ අවබෝධ කරගෙන සුන්දර නිවනට පැමිණ වදාළ නිසා සුගත වන සේක. සුගත වන සේක... සුගත වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක ද, සියලු දිව්‍ය ලෝක ද, මේ මිනිස් ලෝකය ද, සතර අපාය ආදි මේ සියලු ලෝකයන් අවබෝධ කරගෙන මේ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා ලෝකවිදූ වන සේක.... ලෝකවිදු වන සේක... ලෝකවිදු වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නො හැකි වූ අකීකරු දෙවි මිනිසුන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් දමනය කොට, දහමට කීකරු කරවා, අමා නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිස දම්මසාරථි වන සේක... අනුත්තරෝ පුරිස දම්මසාරථි වන සේක..... අනුත්තරෝ පුරිස දම්මසාරථි වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දෙව් ලොව දෙවියන්ට ද මනුලොව මිනිසුන්ට ද, සසර කතරින් එතෙර වීම පිණිස ඒ අමා නිවන් මඟ පෙන්වා වදාළ නිසා නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක.... සත්ථා දේව මනුස්සානං වන සේක... සත්ථා දේව මනුස්සානං වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කරවීම පිණිස ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක... බුද්ධ වන සේක... බුද්ධ වන සේක....

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මේ සියලු සම්බුදුගුණ දරා ගැනීමට තරම් භාග්‍යය ඇති සේක... භාග්‍යය ඇති සේක... භාග්‍යය ඇති සේක.. හිරු සඳුඑළිය පරදන අනන්ත වූ ප්‍රඥාලෝකය දරා ගැනීමට තරම් භාග්‍යය ඇති සේක.... භාග්‍යය ඇති සේක.... භාග්‍යය ඇති සේක.... බුදුරජාණන් වහන්සේ භගවා වන සේක... භගවා වන සේක. භගවා වන සේක....

අනන්ත ගුණ ඇති, අනන්ත නුවණ ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සිල් ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, මහා කරුණා ඇති, මහා ප්‍රඥා ඇති, බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. දෙවනුව ද මම සරණ යමි. තෙවනුව ද මම සරණ යමි. මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම ආලෝකය වේවා. මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම පිළිසරණ වේවා. එක ම සැනසිල්ල වේවා....