යමරජුගේ පණිවුඩය
යමරජු කෙබඳු අයෙක්ද? කවුරුත් පාහේ කියන්නේ, “රකුසු මුහුණක් සහ කළුවන් තරබාරු
සිරුරක් ඇත්තෙකි.” යනුවෙනි. විහාරගෙයි සිතුවමෙන් හෝ ඇඹීමෙන් යමරජුගේ රුව නිරූපණය
කරන්නේ එලෙසයි.
අප සිතන්නේ, නිරිසතුන් බියගන්වා ඔවුන්ට පමුණුවන වධබන්ධන සැලසුම් කිරීම යමරජුගේ
රාජකාරිය බවයි. එහෙත් සූත්‍ර සහ අටුවාවල කියැවෙන පරිදි යමරජු දහමට ළැදියි.
කාරුණිකයි. ඔහුගේ වැදගත් ප්‍රතිරූපයට අපේ සංස්කෘතියෙන් සාධාරණයක් ඉටු නොවේ. නැවත
සිතා බලමු. යමරජු පි‍්‍රයමනාප පුද්ගලයකු විය නොහැකිද?
යමරජ තනතුර ගැන ‘පපඤ්චසූදනී’ ආදි අටුවාවල මතය මෙයයි. නිරයේ දොරටු හතරට රජවරු හතර
දෙනෙක් සිටිති. ඒ හැම ධාර්මික රජවරු වෙති. ඔවුන්ගේ ආත්මවලට දෙව්සැපත් සන්තාපයත් සම
ව ලැබේ. මජ්ක්‍ධිම නිකායෙහි ‘දේවදූත සූත්‍රය’ අනුව යමරජු සිය අනාගතය මෙසේ සැලසුම්
කරයි.
“මට මිනිසත් බව ලැබේ නම්, එවකට බුදුරුවන ලොව පහළ වේ නම්, මට බුදුන් වහන්සේගේ
ඇසුරෙහි දහම් අසා අවබෝධ කර ගන්නට ලැබේ නම් අගෙයි.”
යමරජුට ඇත්තේ ආධ්‍යාත්මික රුචිකත්වයකි. ඔහු එය අනෙකා සමඟ බෙදාහදාගනියි. දේවදූත
සූත්‍රයෙහි දැක්වෙන්නේ, නිරයට එන අයට පෙර කළ කුසල් සිහිගැන්වීම වෙනුවෙන් යමරජු
වෙහෙසෙන තරමයි. එහි දී කුසලයක් සිහිපත්වන අය ආපසු සුගතියට හරවා යැවෙති. නිරයෙහි
නවතින්නේ කුසලයක සිත නොපිහිටන අයයි. පව්කාරයන් නිරයට නියම වෙද්දී යමරජු නිහඬ වෙයි.
නිරිසතුන් පෙළීමට යමරජු දායක නොවෙයි. ඔවුන් දඬුවම් විඳින්නේ කර්ම නියාමයෙනි.
කුසල් වැඩීමට හොඳම තැන මිනිස් ලොවයි. දේවදූත සූත්‍රය අනුව, මිනිසකු මැරී නිරයට
යද්දී යමරජුගෙන් ප්‍රශ්නාවලියක් ලැබෙයි. දේවදූතයන් දැකීමෙන්වත් කුසලච්ඡන්දයක්
නූපන්නේ දැයි යමරජු ඔහුගෙන් අසයි. දේවදූතයන් පහළවන්නේ මිනිසුන් අතරයි. ඔවුහු තමන්
පීඩිතව ඒ පීඩාව අලළා නිහඬ බණක් කියති. දේවදූතයෝ පස්දෙනෙක් වෙති. ළදරුවා, මහල්ලා,
ලෙඩා, දඬුවම් විඳින සොරා සහ මළකඳ යනුවෙනි.
දඬුවම් විඳින සොරා දේවදූතයකු වන හැටි පළමුවෙන් විමසා බලමු. දහමට අනුව සොරකම
අපරාධයකි. සොරකම මැඬ පැවැත්වූ රාජ නීතියත් අපරාධ දාමයේ පුරුකකි. රජ කාලයේ දී සොරකු
අල්ලාගත් විට ප්‍රසිද්ධියේ දෙතිස්වධ පමුණුවන ලදී. දඬුවම් විඳින සොරා සංකේතයක් ලෙස
ගතහොත්, ඔහුගේ ඛේදය සමාජය ඉදිරියේ ඔප්පු කරන්නේ කුමක්ද? පාපයේ විපාකය යි. “තමන් කරන
අයහපතට තමන් ම ගොදුරු වේ.” මෙය සියලු අයහපත කෙරෙහි බිය උපදවන පණිවිඩයකි. මෙහි සියලු
දේවදූතයන්ගේ පණිවුඩය කුමක් ද? “අයහපතෙන් මිදෙන්න. යහපතෙහි යෙදෙන්න.” දඬුවම් විඳින
සොරා ඒ තත්ත්වයෙන් සිටින්නේ අයහපතෙහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙයින් දේවදූතයන් අතරින්
සොරාගේ පණිවුඩය පැහැදිලියි. ළදරුවා, මහල්ලා, ලෙඩා සහ මළකඳ ඒ ඒ තත්ත්වයෙන් සිටින්නේ
අයහපතෙහි ප්‍රතිඵල ලෙස නොවේ. යහපතෙහි යෙදීමෙන් ඉපදීම, මහලුවීම, ලෙඩවීම සහ මියැදීම
නැවැත්විය නොහැකියි. සොරා හැර අනෙක් සිවුදෙනාගේ දේව දූත කාර්යය ප්‍රහේලිකාවකි. අපි
මෙය විසඳා ගනිමු.
ළදරුවා තමන්ගේ මළමුත්‍රා මත වැතිරී උඩුකුරුව බලාසිටියි. මහල්ලාගේ විරූපී ගත දුබල ය.
අවසඟ ය. එක්තැන් වූ ලෙඩා තමන්ගේ මළමුත්‍රා ගොඩේ දඟලමින්, නැඟිටීමටත් සැතපීමටත්
අනුන්ගේ උපකාර පතයි. මළකඳක් වශයෙන් ඉදිමී, නිල්වී, සැරව වැගිරී සිදුවන විනාශයෙන්
කයට ගැලවීමක් නැත.
ළදරුවා, මහල්ලා, ලෙඩා සහ මළකඳ යන දේවදූතයන් සිවුදෙනා කියාපාන්නේ කුමක්ද? මිනිස්
දිවියේ අසරණකමයි. ළදරුවා, මහල්ලා සහ ලෙඩා යන්තම් රැකෙන්නේ කාගේ හෝ පිහිටෙනි. මළකඳට
කාගේවත් පිහිටක් නැත. මේ අසරණකම් හතර සමස්ත මනුෂ්‍ය වර්ගයාට සාධාරණ වෙමින්,
මිනිසාගේ ‘ආත්ම දෘෂ්ටිය’ අභියෝගයට ලක් කරයි.
පුද්ගල, වස්තු සහ සිද්ධි ආදී ඕනෑ ම තත්ත්වයක් අරබයා ආත්ම දෘෂ්ටිය උපදී.
‘මෙය මගේ වසඟයෙහි පැවැත්වීමට හෙවත් මට වුවමනා පරිදි අවනත කර ගැනීමට පුළුවනි.’ යන
කල්පනාව ආත්ම දෘෂ්ටියයි. ආත්ම දෘෂ්ටියෙන් දකින ලෝකයේ ‘මමත්වය’ ආණ්ඩු කරයි. එහෙත්
සැබෑව නම්, ලෝකයේ කරන්නෙක් හෝ කරවන්නෙක් හෝ නැති බවයි. ඇත්තේ හේතුපල සම්බන්ධයක්
පමණකි. හේතු ප්‍රත්‍යයන්ගේ එළැඹීමෙන් අදාළ පලය හටගනියි. පෘථග්ජනයා අවිද්‍යා සහගත
බැල්මක් හෙළීමෙන් එතැනට ආත්ම දෘෂ්ටිය හෙවත් මමත්වය ආරූඪ කර ගනියි. ඔහු තවදුරටත්
මෙසේ සිතයි. “මට යමක් කළ හැකියි, මට කළ නොහැකි දේ තවෙකකුට හෝ කළ හැකියි” තමන්ගේ
නොහැකියාවකින් ආත්ම දෘෂ්ටියට පහරක් වදිද්දී, අසුවලා එය කරතැයි කියා අනුන්ගේ
කරපිටින් හෝ ආත්ම දෘෂ්ටිය නඟාසිටුවනු ලැබේ. කල්පිත ලෝකපාලක දෙවියන් පරමාත්මයක් සහිත
ව සිටින්නේ සියලු බැරි වැඩ කිරීමටයි.
ඉපදීම, මහලුවීම, ලෙඩවීම සහ මියයාම හමුවේ දැනෙන අසරණකම ජය ගන්නට මිහිපිට කාටත්
හැකියාවක් නැත. මේ නොහැකියාවෙන් ආත්ම දෘෂ්ටියේ ඔද සිඳී යයි.
ළදරුවා, මහල්ලා, ලෙඩා සහ ‘මළකඳ ලොවට උගන්වන පාඩම අනාත්මය යි. අනාත්මය උගන්වන නමුත්
ඔවුන් සිවුදෙනා දේවදූතයන් වන්නේ සුචරිතය ප්‍රවර්ධනය කරන හෙයිනි. අනාත්මයත්
සුචරිතයත් අතර සම්බන්ධය කුමක්ද? සිතින් අනාත්මය වැලඳගන්නා තරමට ක්‍රියාව සහ කථාව
සුචරිතවත් වේ.
ආත්ම දෘෂ්ටියේ වියරු ප්‍රකාශනය දුසිරිතයි. අවට ලෝකය, අයථා අයුරකින් තමන්ගේ වසඟයෙහි
පැවැත්වීමට සිතන අය දුසිරිතෙහි හැසිරෙති. දුසිරිතෙහි පදනම ආත්ම දෘෂ්ටියයි. ළදරුවා,
මහල්ලා, ලෙඩා සහ මළකඳ දෙස බැලීමෙන් ආත්ම දෘෂ්ටිය, සන්සිඳී, දුසිරිත පිටුදකින
මානසිකත්වයක් ගොඩනැඟේ. විචාරශීලි ව කරුණු ගළපා ගත්තත්, නැතත්, මේ දිව්‍යමය පණිවුඩය
හඳුනාගැනීමට අපේ සහජ ඉව සූදානම් ය.
ආත්ම දෘෂ්ටියෙහි ප්‍රාථමික ස්වරූපය තමන්ට ම පෞද්ගලික වූ අහිංසක මුහුණුවරකින් පෙනී
සිටියත් ආත්ම දෘෂ්ටිය කෙළවර වන්නේ බාහිර සමාජය පෙළෙන දුශ්චරිතයකිනි.
- ආසභ මහසිංහ |