Print this Article


පත්තර කලාවේ අමරණීය නාමය ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

පත්තර කලාවේ අමරණීය නාමය ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

දේශප්‍රේමියකු වූ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික සහ සමාජමය කටයුතු සිදු කළේ සැබෑ දේශීය සහ ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ පරම අභිලාසයෙනි.

මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ අතිශය වැදගත් සේවාවක් සහ බලපෑමක් ඇති කළ පඬිවරයකු වන ඩී. ආර්. විජයවර්ධනයන් පුවත්පත් කර්මාන්තය දියුණු කිරීමට පමණක් නොව, ලාංකේය ජනතාවගේ සිත්සතන්හි ජාතික හැඟීම, දේශප්‍රේමය ඇති කරන්නට පුවත්පත සුවිශේෂී මාධ්‍යයක් කොට ගත්හ. එතුමා ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට කළ සේවාව හේතුවෙන් ‘ලාංකේය පුවත්පත් කලාවේ පිතෘවරයාණන්’ ලෙස ද හැඳීන්වේ.

1886 පෙබරවාරි මස 23 වැනි දා සේදවත්ත නම් ග්‍රාමයේ සේදවත්ත වලව්වේ දී දොන් රිචඩ් විජයවර්ධන ලෙස උපන් මෙතුමාගේ පියා දොන් පිලිප් විජයවර්ධන නම් වූ අතර, මව හෙලේනා විජයවර්ධන නම් වූවා ය.

මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් (වත්මන් ගල්කිස්ස ශාන්ත තෝමස් නාමය) මූලික අධ්‍යාපනය ලද ඩී. ආර්. විජයවර්ධන තරුණයා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූයේ අධිනීතිඥයකු වීමේ බලාපොරොත්තුවෙනි. ඉන්දියාවේ අගමැතිවරයකු වූ ශ්‍රී ජවහල්ලාර් නේරු මෙන්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් ද ඔහුගේ සමකාලීනයන් වූ අතර, 1912දී එල්. එල්. බී. උපාධිය සහිත ව ඩී. ආර්. විජයවර්ධනයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

දේශපාලනය පිළිබඳ උද්‍යෝගයක් මෙතුමා තුළ ඇතිවන්නේ ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ව සිටි කාලයෙහි ය. දේශපාලනය පිළිබඳ මෙතුමාගේ බුද්ධිය විශාරද විය. එවකට එංගලන්තයෙහි නීතිඥ වෘත්තියෙහි යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයකු වූ එෆ්. එච්. එම්. කෝබට්, විජයවර්ධන මහතාගේ මිත්‍රයෙකි. ඔහුගේ ආශ්‍රය තරුණ විජයවර්ධන දේශපාලන කටයුතු කෙරෙහි නැඹුරු කරවීමට සමත් විය. පුවත්පතක් පටන් ගත යුතු ය යන අදහස මුල්වරට විජයවර්ධනයන්ගේ සිතට ඇතුළු කළ පුද්ගලයා වූයේ ද කෝබට් මහතා ය. මහජන මතය පෙළගැස්වීමට පුවත්පතකට විශේෂ හැකියාවක් පවතින බව කෝබට්ගේ අදහස වූ අතර, විජයවර්ධනයන්ට ද එය දැනෙන්නට විය. ඉන්දියාවේ නේරු තුමන් ද සිය පණිවිඩය මහජනතාවට ගෙන ගියේ ‘අලාහාබාද්’ නිව්ස් පුවත්පතෙනි. මේ හේතු නිසා ම අපේ රටේ නැඟී එන ප්‍රතිසංස්කරණවාදී අදහස් ප්‍රචලිත කිරීමට පුවත්පතක අවශ්‍යතාව විජයවර්ධනයන්ට තදින්ම දැනෙන්නට විය.

අධිනීතිඥයකු ලෙස ලංකාවට පැමිණි විජයවර්ධනයන් කොළඹ අධිකරණයේ කටයුතු කළත් එතුමාගේ සිත දැඩි ලෙස නැඹුරු වී තිබුණේ දේශපාලනයට සහ මහජන සේවයටයි. 1913දී හෙතෙම ලංකා ජාතික සංගමයේ ලේකම් තනතුරට පත් වූයේ ය. 1915දී මෙරට ඇතිවූ කලහයෙන් පසුව සර් ජේම්ස් පීරිස් සහ සර් පොන්නම්බලම් අරුණාචලම් දෙපළගේ සහායෙන් මෙතුමා ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට ප්‍රබල ව මැදිහත් වූයේ ය.

මෙරට ජාතික ව්‍යාපාර ශක්තිසම්පන්න කරලීමෙහි ලා පුවත්පතක අවශ්‍යතාව දැන සිටි විජයවර්ධනයන් 1908දී ඇරඹි ඉංග්‍රීසි පුවත්පතක් වන, එවකට බංකොලොත් වී තිබූ ‘සිලනීස්’ පුවත්පත මිලට ගත්තේ ය. එය ලාභදායී ගනුදෙනුවක් නොවීය. එහෙත් එසමයෙහි ‘දිනමිණ’ පුවත්පත මිලට ගැනීම විජයවර්ධනගේ අභිමතාර්ථ සපලවීමක් විය. දිනපතා පුවත්පතක් ලෙස 1909 දෙසැම්බර් මස 17 වැනි දා එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ ‘දිනමිණ’ පුවත්පත 1914දී ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් මිලට ගෙන මෙරට ජනතාවගේ විශ්වාසය දිනා ගත් පුවත්පතක් බවට පරිවර්තනය කරන ලදි. ඒ සඳහා විජයවර්ධන මහතා මෙහෙයවන ලද්දේ සර් ඩී. බී. ජයතිලක මහතා විසිනි.

‘දිනමිණ’ මුල් කාලයේ දී මුද්‍රණය වී තිබුණේ ඩිමයි භාගයේ කුඩා පුවත්පතක් ලෙසිනි. ව්‍යක්ත ලේඛකයන්ගේ දායකත්වය මේ සඳහා ලබා ගත්තේය. ඔහුගේ පාලන සමය තුළ ඩී. ජේ. බී. විජේසේකර, ඇන්. එච්. ජිනදාස, ජේ. වෙත්තසිංහ, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට, මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක ආදී වියත්හු ‘දිනමිණ’ පුවත්පතෙහි කර්තෘ ධූර දැරූහ.

‘දිනමිණ’ සඳහා ලැබෙන ලිපිවල වියරණ දොස් නිදොස් කිරීමට දොඩන්දූවේ ධර්මසේන පඬිතුමාගේ සේවය ලබා ගත් බව ද සඳහන් වේ. පසුව පුවත්පත විශාල කොට අභිනව මුහුණුවරක් දී ජනතාව අතරට පත් කළේ ය.

තවද මිලට ගත් ‘සිලනීස්’ පුවත්පත 1918 ජනවාරි මස 03 වැනිදා සිට ‘ඩේලි නිවුස්’ නමින් ප්‍රකාශයට පත් කිරීමට විජයවර්ධනයන් කටයුතු කළේ ය. ‘ඩේලි නිවුස්’ පුවත්පතෙන් අර්ථ සම්පන්න සේවයක් සිදු කළ හැකි බවට විශ්වාසයක් එවකට බුද්ධිමතුන් තුළ තිබිණි. මෙහි මුල් කතුවරයා වූයේ එෆ්. ඒ. මාටිනස්ය.

විජයවර්ධන මහතා පුවත්පත් නිෂ්පාදනය පිළිබඳ විශේෂ උනන්දුවකින් ක්‍රියා කළේ ය. මුදල් අතින් ස්වාධීන ව පැවතීම පුවත්පතක සාර්ථකත්වයට අවශ්‍ය බව එතුමා තේරුම් ගත්තේ ය. ඒ අනුව සකසුරුවමින් මුදල් වැය කොට පුවත්පත් නිෂ්පාදන ව්‍යාපාරය වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත්කර ගැනීමට විජයවර්ධනයන්ට හැකි විය. පුවත්පත් සඳහා වෙළෙඳ දැන්වීම් ලබා ගැනීම කෙරෙහි ද සිත් යොමු කළේ ය. විජයවර්ධන මහතා තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාව ඇත්තෙකි. එවකට ‘ඩේලි නිවුස්’ පුවත්පතට තරගයක් වූයේ ‘මෝර්නිං ලීඩර්’ පුවත්පතයි. එයට තරගයක් දිය හැකි කතුවරයකු සොයා ඔහු වෙහෙසුණේ එනිසා ය. ඒ සඳහා තමන් සමඟ එකම පාසලේ අකුරු කළ එස්. ජේ. කේ. ක්‍රවුදර් පත්කොට ගත් විජයවර්ධන ‘ඩේලි නිවුස්’ පුවත්පතේ සේවය සඳහා තවත් කුසලතා පූර්ණ කාර්යක්ෂම බුද්ධිමත්හු යොදවා ගත්හ.

1923දී එවකට යුරෝපීය සමාගමකට අයත්ව තිබූ ‘සිලෝන් ඔබ්සර්වර්’ පුවත්පත මිලට ගත් විජයවර්ධන මහතා ‘දිනමිණ’ සහ ‘ඩේලි නිවුස්’ පුවත්පත් සමඟ එකම සමාගමක් ඇති කළේ ය. පසුව ‘සිළුමිණ’ පුවත්පත 1930 මාර්තු මස 30 වැනි දා ආරම්භ කරන ලදී. එය මෙරට සිංහල පුවත්පත් ඉතිහාසයෙහි වැදගත් මං සලකුණක් විය. ප්‍රථම සිංහල ඉරිදා පුවත්පත ලෙස ඇරැඹුණු ‘සිළුමිණ’ සෑම තරාතිරමකම පාඨක ජනයා වෙත රසයත්, අර්ථයත් නොමඳව සෑදූ මණ්ඩපයකි. ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ යනුවෙන් එදා ‘සිළුමිණ’ සිංහල පාඨක ජනයා අතර සම්භාවනාවට පාත්‍ර විය.

ඩී. ආර්. විජයවර්ධන මහතා මෙරට භාවිත භාෂාත්‍රයෙන් ම පුවත්පත් පවත්වාගෙන යෑම කෙරෙහි අවධානය යොමු කළේ ය. ඒ අනුව 1932දී දමිළ භාෂාවෙන් ‘තිනකරන්’ පුවත්පත ද, 1948දී ‘තිනකරන් වාරමංජරී’ ඉරිදා දමිළ පුවත්පත ද ආරම්භ කර මෙරට පුවත්පත් අධිරාජ්‍යයක් ගොඩනඟන ලදී. මුලදී ‘තිනකරන්’ පුවත්පතෙහි පළ කරන ලද්දේ ‘ඩේලි නිවුස්’ පුවත්පතේ දෙමළ පරිවර්තනයයි.

‘දිනමිණ’, ‘සිළුමිණ’, ‘ඩේලි නිවුස්’, ‘ඔබ්සර්වර්’, ‘සන්ඩේ ඔබ්සර්වර්’, ‘තිනකරන්’ සහ ‘ තිනකරන් වාරමංජරී’ යන ප්‍රධාන පුවත්පත් හතක හිමිකරුවා වූ ඩී. ආර්. විජයවර්ධන මහතා මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලම පුද්ගලයා බවට පත්වූයේ විශිෂ්ට බුද්ධිය, දූරදර්ශී ව්‍යාපාරික ඥානය, සංවිධාන ශක්තිය සහ කාර්යශූරත්වය යන සාධනීය පෞරුෂ ලක්ෂණ නිසා ය. එබඳු ගති ලක්ෂණ එකම පුද්ගලයකු තුළ පිහිටීම සැබැවින්ම දුර්ලභ ය. විජයවර්ධන මහතා සතු ව තිබූ බුද්ධිය සහ කාර්යශූරත්වය මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ‘උපන්දා සිට’ කෘතියෙහි ද පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් පුවත්පත් සංවිධාන ව්‍යුහයක් ස්ථාපිත කරන ලද්දේ ඩී. ආර්. විජයවර්ධන මහතා විසිනි. එය සංවිධිත පුවත්පත් ආයතන කාර්යයකට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. මේ ආකාරයට තමන්ට අයත් පුවත්පත් එකම වහලක් යට සංවිධිත ව පවත්වාගෙන යෑමට ලේක්හවුස් මන්දිරය ඉදි කළේය. මේ ආයතනය ශ්‍රී ලංකාවේ විශාලතම සහ බලගතු පුවත්පත් ජාලයක් බවට පත්විය.

විජයවර්ධන මහතාගේ සේවාවන් නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය නව යුගයකට පිවිසුණි. පුවත්පත් ප්‍රකාශනය වඩාත් සංවිධානාත්මක වීම, විශ්වාසදායක තොරතුරු ලබාදීම සහ ජනතාවට හිතවත් ආකාරයෙන් සකස් වීම මෙතුමාගේ නායකත්වය යටතේ සිදු විය.

විජයවර්ධනයන්ගේ කාලයේ මාධ්‍ය ඔස්සේ සමාජ ප්‍රශ්න, අධ්‍යාපන අවශ්‍යතා, ආර්ථික ගැටලු සහ දේශපාලන තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සිදු විය. එමඟින් ජනතාව සමාජයේ සිදු වන දේ පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගත්හ. විජයවර්ධන මහතා මාධ්‍ය භාවිත කරමින් ජනතාවගේ සිතුවිලි ගොඩනැඟීමටත්, සමාජයේ ප්‍රගතියටත් දායක විය.

එතුමාගේ ජීවිතයේ තවත් වැදගත් අංගයක් වූයේ බෞද්ධාගමට, ජාතික සංස්කෘතියට සහ භාෂාවට දුන් ගෞරවය යි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පුවත්පත් ප්‍රකාශයට පත් කිරීමෙන් සියලු ජනතාවට තොරතුරු දීමට ඔහු උත්සාහ කළේ ය. එය ශ්‍රී ලංකාවේ බහුභාෂා සමාජයක අවශ්‍යතාවට සරිලන ක්‍රියාමාර්ගයක් විය.

සදානුස්මරණීය වූ යුග පුරුෂයකු වූ විජයවර්ධනයන්ගේ අභාවය 1950 ජූනි මස 13 වැනි දා සිදු විය. එහෙත් එතුමාගේ සේවාවන් සහ උරුමය අද දක්වාම ජීවමාන ව පවතී. ලේක්හවුස් ආයතනය සහ එතුමා ආරම්භ කළ පුවත්පත් අදත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ස්ථානයක් හිමි කරගෙන ඇත. එතුමාගේ දූරදර්ශී අදහස් සහ නායකත්වය නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය පද්ධතියට ශක්තිමත් පදනමක් සැපයිණි.

විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජීවිතය අපට උගන්වන්නේ නායකත්වය, කැපවීම සහ දේශප්‍රේමයෙන් සමාජයක් වෙනස් කළ හැකි බවයි. එතුමා සමාජයට දුන් සේවාවන්, විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය ස්ථානයක් සනිටුහන් කර ඇත. එතුමාගේ උත්සාහය නිසා ජනතාවගේ දැනුම, අවබෝධය සහ ජාතික හැඟීම වර්ධනය වූ අතර, එය රටේ දියුණුවට වැදගත් සාධකයක් විය.

වචන දහයකින් කිව හැකි කාරණයක් වචන විස්සකින් කියන්නට යෑම කාලය ද, ශ්‍රමය ද නිකරුණේ විනාශ කර ගන්නා පුහු වැඩක් හැටියට එතුමා නිරතුරුව කල්පනා කළේ ය. ඒ සංකල්පයට සෑම විටම ගරු කළා පමණක් නොව තමන් ඇසුරු කළ අයත් එයට පෙළඹවූයේ ය.

ඔහුගේ අවවාදයක් වූයේ කියවන ජනතාව ගැන සිහි ඇති ව ලියන දේ ලිවිය යුතු බවයි. ඒ හැඟීමෙන් තොරව ලියන ලේඛකයා දක්ෂ ලේඛකයකු නොවන බව ඔහුගේ හැඟීම විය. එවැනි ලේඛකයන්ට ඔහුගෙන් තැනක් ලබා ගැනීම ද අපහසු විය. කෙටියෙන් වුවත් ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ගැන ලිවීම අපහසු වන්නේ මේ කරුණු නිසා ය.

අද දවසේ මාධ්‍ය ක්ෂේත්‍රය විශාල ලෙස දියුණු වී ඇති නමුත්, එහි මුල් පදනම සකස් කළ පුද්ගලයකු ලෙස විජයවර්ධන ශ්‍රීමතාණන් අමරණීය වේ. එතුමාගේ ජීවිතය ආදර්ශයක් වන අතර, කැපවීමෙන් සහ නිසි දෘෂ්ටියෙන් කටයුතු කළොත් සමාජයේ විශාල වෙනස්කම් සිදු කළ හැකි බව එතුමා දැරූ ආකල්පයන්ගෙන් ගම්‍ය වේ.