Print this Article


මඟනොහැරුණ පින

මඟනොහැරුණ පින

අනුරාධපුර රාජධානිය කාලයේ රාජ්‍ය කළ රජතුමාට පක්ෂපාති වුණු ශ්‍රද්ධාවන්ත ඇමැතිවරයෙක් හිටියා. මේ ඇමැතිවරයාට පවුලේ අය වගේ ම ඥාතීන් කථා කළේ ‘තිස්ස‘ කියලා.

එහෙම වුණත් ඇමැතිකමත්, ලෝභකමක් නැති ව දන්දීමත් නිසා යහළුවන්, ඥාතීන් වගේ ම ප්‍රදේශයේ ජනතාව ‘දුබ්බිට්ඨි මහාතිස්ස‘ කියලා හදුන්වන්න පටන් ගත්තා.

මේ ඇමැතිතුමාගේ බිරිඳත් හරිම ශ්‍රද්ධා සම්පන්න යි. සීලගුණයේ පිහිටලා නිතර නිතර දන් දෙනවා. තිස්ස ඇමැතිවරයා රාජකාරියට අමතර ව කෘෂිකර්මාන්ත කටයුතුත් කරනවා. එයින් උපයා ගන්නා වූ අස්වැන්නෙන් මහාසංඝයාට දන් දෙනවා. දුගීමගීන්ට උදව් උපකාර කරනවා. ඇමැතිකම දැරුවත්, කුඹුරු වපුරා අස්වනු නෙළා ගත්තත් දන් දෙන නිසා ම අගහිගකම්වලට මුහුණ දෙනවා. එතකොට මේ ඇමැතිතුමා කරන්නේ තමන්ගේ යහළුවකුගෙන් ණයට මුදලක් ඉල්ලා ගන්න එක. යහළුවාටත් නැති වෙනකොට යහළුවා අඳුරන අයගෙන් ණයට මුදල් ඉල්ලා ගන්නවා. පොරොන්දු වුණු පරිදි ම ඒ ණය මුදල් ගෙවා දමනවා.

මෙහෙම කාලය ගත වෙලා යනකොට කුඹුරු වපුරන කාලය උදා වුණා. එහෙම වුනත් කුඹුරු වපුරන්නත්, සේවකයන්ට සලකන්නත්, අනකුත් කටයුතුවලටත් මුදල් ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා එක් පුද්ගලයකුගෙන් ණය මුදලක් ඉල්ලා ගත්තා. කුඹුරුවල කටයුතු ටිකෙන් ටික අවසන් වෙමින් වප්මඟුල උත්සවය පවතින දිනය උදා වුණා. ණය ලබා දුන්න පුද්ගලයා ණය මුදල වහා අවශ්‍ය බව පවසමින් ඉල්ලා සිටියා. එහෙත් තිස්ස ඇමැතියා ඒවා වියදම් කර තිබුණ නිසා ටික

දවසක් ඉවසන ලෙසත්, ඒවා නොවරදවාම ලබා දෙන බවටත් පොරොන්දු වුණා. දෙවන වතාවටත් ඉල්ලා සිටියා. පෙර උත්තරයම ලැබුණා. හදිස්සියේ ණය මුදල නැවත ඉල්ලා සිටින නිසා ඇමැතිවරයා බොහොම පීඩාවටත්, අපහසුතාවටත් ලක් වුණා. මෙයින් අධික කෝපයට පත් ඒ පුද්ගලයා ඇමැතිවරයාගේ වප්මඟුලට අන්තරායක් කරන්න උපක්‍රමයක් කල්පනා කළා. එවිට මතක් වුණා ඇමැතිවරයාත්, ඔහුගේ බිරිඳත් හරිම ශ්‍රද්ධා සම්පන්න යි. අභයගිරි විහාරයේ මහා සංඝයාට නිතර දන් දෙනවා. ඒ නිසා වප්මඟුල තියෙන දවසට පන්සියනමක් සමඟ ඇමැතිවරයාගේ නිවසේ දානයකට වැඩම කරන්න කියලා භික්ෂූන්ට ආරාධනා කරන්න ඕන. උන්වහන්සේ නිවසට ආ විට වප්මඟුලේ කටයුතු අඩාල වෙනවා. සේවකයන් සියගණනක් වගේම සීසෑමට ගෙන ආව ගවමහීස ආදි සතුන් පවා පීඩාවට ලක් වෙනවා. එවිට එදින

උත්සවයට ආපු සැම දෙනාම අමැතිවරයාට බැණ වදිනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් වියදම් කළ මුදල්වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමකුත් ලැබෙන්නේත් නෑ. මා අපහසුතාවට ලක් කරනවා වගේම දෙගුණයකින් ඔහු අපහසුතාවට ලක් කරන්න ඕන කියන අදහස ඇති කර ගත්තා. පසුව අභයගිරි විහාරයට ගොස් එහි වැඩ සිටිය මහ තෙරනමක් වූ තිස්සදත්ත තෙරුන් වහන්සේ මුණගැසී ‘ස්වාමීනි, අපගේ දුබ්බිට්ඨිමහාතිස්ස ඇමැතිතුමා ඔබ වහන්සේ ප්‍රමුඛ පන්සියයක් තෙරුන් වහන්සේට හෙට දහවල් දානයට වැඩම කරන්න‘යි කියා ආරාධනා කරන්න කිව්වා. ආරාධනාව පිළිගන්නා සේක්වා‘යි ආරාධනා කර ඒ පුද්ගලයා තමන්ගේ නිවසට යන්න ගියා. පහුවදා පාන්දරින්ම ඇමැතිතුමාත්, සේවක පිරිසත් වප්මඟුල් උත්සවයේ කටයුතුවලට නික්මිලා යන්න ගියා. බිරිඳ උදේම අවිධිව කුඩා දරුවන්ට අවශ්‍ය ළදරු ආහාර පාන සකස් කළා.

දහවල් කාලය උදාවත්ම තිස්සදත්ත තෙරුන් වහන්සේ ප්‍රමුඛ පන්සියනමක් ඇමැතිවරයාගේ නිවසට වැඩම කරන්න යෙදුණා. ඇමැති බිරිඳ වැඩම කරන මහාසංඝයා දැක පෙරමඟට ගමන් කොට තිස්සදත්ත තෙරුන් වහන්සේට නමස්කාර කොට නිවසට වැඩමවාගෙන ඇවිත් ආසන පනවලා ඒ මත වැඩ සිටින්නට අවස්ථාව සැලසුවා. පුදුමයෙන් පුදුමයටත්,බොහොම නොසන්සුන් බවටත් පත් වුණා. ගෙදර සිටිය අනෙක් සේවක කාන්තා පිරිසත් මේ ගැන බොහෝම සද්දෙට කතා කරන්න පටන් ගත්තා. එහෙම වුණත් ඇමැති බිරිඳ ඉතාම සංයමයෙන් පන්සිය දෙනා වහන්සේට ම නමස්කාර කළා. අවසානයේ මහ තෙරුන් වහන්සේ ළඟට පැමිණියා. එවිට තිස්සදත්ත තෙරුන් විමසනවා.

‘උපාසිකාවෙනි, තොපගේ ගෙදර මහත් කෝලාහලයක් තියෙනවා වගේ පෙනෙනවා. වෙනත් කටයුත්තක් යෙදී තිබේද?‘යි දැයි කියලා ඇහුවා.

‘ඒසේය ස්වාමීනි, අද අපගේ වප්මඟුල් උත්සව දිනය යි. අද ටිකක් නො සන්සුන්. එහෙම වුනත් වප්මඟුලත්, දන්මඟුලත් දෙකම බලා ගන්නට මට බාර වෙලා තියෙන්නේ‘යි පැවසුවා.

මේ සිදුවීම ගැන කිසිවක් නො කියා සංඝයාගේ වැඩම කිරීම ඉතා ගෞරවයෙන් පිළිගෙන ‘ස්වාමීනි, ඔහොම වැඩ සිටින්න‘යි ආරාධනා කරලා මුළුතැන්ගෙට ගිහින් දරුවන්ට සකසා තිබුණු කිරි, දීකිරි, හකුරු ආදිය අරගෙන ඇවිත් මහා සංඝයාට පිළිවෙළින් පූජා කළා. පූජා කිරීම් අවසානයේ තිස්සදත්ත තෙරුන් ප්‍රමුඛ පන්සියයක් මහා සංඝයා නැවත විහාරයට වැඩම කරන්න සූදානම් වුණා. ඒ බව දුටු ඇමැති බිරිඳ තිස්සදත්ත තෙරුන් වෙත පැමිණ නමස්කාර කොට ‘ස්වාමීනි, වැඩ සිටින්න තවම දානය සූදානම් වෙමිනු‘යි තිබෙන්නේ‘යි පවසමින් දානයට නැවතත් ආරාධනා කළා. ඇයගේ ආරාධනාව පිළිගත් තෙරුන් වහන්සේ ආයෙත් ආසනවල වැඩසිටියා. නිවෙස්වැසි පිරිස සමඟ යුහුසුළුව දානය සකස් කරන අතරේ වප්මඟුල් උත්සවය වෙත ලැබුණු පණිවිඩයකින් තිස්ස ඇමැතිතුමා නිවසට පැමිණියා. මහා සංඝයා දැක මහත් සතුටට පත් වුණා. හැම දෙනා වහන්සේට ම වන්දනා කළා.

අනතුරුව තිස්සදත්ත තෙරුන් සමීපයේ එකත් පස්ව හිඳගත්තා. එවිට උන්වහන්සේ

‘එම්බා උපාසකයෙනි, අපි ඒකාන්තයෙන් ම ඔබගේ නිවසේ මෙවැනි වප්මඟුල් උත්සවයක් තිබෙන බව දන්නේ නෑ. අපි හැම දෙනා වහන්සේ ම මේ වැඩම කළේ ඔබගේ අසවල් පුරුෂයා විසින් කරන ලද ආරාධනාව අනුව‘යි ‘කියා විස්තර සියල්ල පැහැදිලි කළා. එවිට තිස්ස ඇමැතිවරයා කියනවා.

‘ස්වාමීනි, ඒ මනුෂ්‍යා වෙතින් ගත්ත ණයක් තිබෙනවා. ඒ ණය පියවීමට පෙර මගේ වප්මඟුලට අන්තරාය කරන්නට හිතාගෙන සිදු කළ ආරාධනාවක් මේ. ස්වාමීනි, ඒ පුද්ගලයා මට අන්තරාවක් කරමියි‘ සිතා මට මේ සිදු කර දී තිබෙන්නේ මහත් උපකාරයක්. ස්වාමීනි, ඒ තැනැත්තා අද පටන් මගේ ඥාතියෙක් ලෙස සලකමින් ඇසුරු කරනවා. අවශ්‍ය සම්පත් ලබා දෙමින් ආරක්ෂා කරනවා‘යි කියා සිටියා. ඒ මොහොතේ තවදුරටත් මෙහෙම කියන්න පටන් ගත්තා. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපාය සහාය මිත්‍රයන්, අඤ්ඤදත්ථූහර මිත්‍රයන්, වචීපරම මිත්‍රයන්, අනුප්පියභාණී මිත්‍රයන් යන මිත්‍ර ප්‍රතිරූපකයන්ට වඩා මෙවැනි දුෂ්ට චේතනාවෙන් හෝ යහපතක් සිදු කරන යහළුවන් වටිනවා‘යි පවසමින් තමන් අපහසුතාවට ලක් කිරීමට ගත් උත්සාහයෙන් තමන්ටත්, තම පිරිසටත් යහපතක් වුණ බව පවසමින් ඒ පුද්ගලයාගේ කටයුත්ත පිළිබඳ ව සතුටට පත් වන බවත්, වෛර නො කරන බවත්, මෛත්‍රී කරන බවත් පවසා සිටියා. අනතුරුව ඉතාම සතුටින් මහාසංඝයාට දන් පරිෂ්කාර පූජා කර පන්සිය දෙනා වහන්සේ විහාරය වෙත වැඩම කරවූවා‘යි රසවත් කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

පින්වත්නි, හදිස්සි කෝපයකින් වුවත් යහපතක් සිදු කිරීමට සිත් පහළවන යහළුවන් ම ඇසුරු කරන්න. එය විපතක් හෝ සිත් වේදනාවක් ලෙස හෝ නො සලකන්න. එය තමන් වෙත පැමිණි භාග්‍යක් ලෙස හිතන්න. එයින් තමන්ගේ මෙලොව ජීවිතයේ කීර්ති ප්‍රශංසා වැඩි වෙනවා වගේම පරලොව ජීවිතය ද සැප සම්පත්වලින් පිරී ඉතිරී යාමට හේතු වෙනවා.