Print this Article


ආතතියෙන් මිදෙන්නට චිත්තවේග සමනය

ආතතියෙන් මිදෙන්නට චිත්තවේග සමනය

අද සමාජයේ ජීවත් වන බොහෝ පිරිසක් වැරැදි අවබෝධය, වැටහීම නිසා “ආතතිය හා කාංසාව“ යන දෙඅංශය පටලවාගෙන දිවි ගෙවන්නේ ය.

එනම් ආතතිය ඇතිවන්නේ, රැකියාව හෝ පවුලේ ගැටලු වැනි වර්තමානයේ පවතින අභියෝග නිසා වන අතර ඒවා විසඳා ගත් පසු සාමාන්‍යයෙන් එය මැකී යන නමුත් කාංසාව මීට හාත්පසින්ම වෙනස් වූවකි.

බොහෝවිට අපගේම සිතිවිලි පැහැදිලි පදනමක් නොමැතිව ඒ තුළ දීර්ඝ කාලීන බිය, නොසන්සුන්තාව, නුරුස්නා බව, අවධානය යොමු කිරීමේ අපහසුතාව, තමාට තමා ම අධික ලෙස හෝ පාලනයෙන් තොර බවක් දැනේ. අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත්වීම වැනි හැඟීම් පුද්ගල චිත්තවේගයන් තුළින් ඉස්මතු වෙයි. මෙවැනි ලක්ෂණවලින් යුක්ත පුද්ගලයා කායිකව අත්විඳින්නේ වේගවත් හද ගැස්ම, දහඩිය දැමීම, තෙහෙට්ටුව හෝ මාංශ පේශි ආතතිය, ඔක්කාරය හෝ ආමාශ ආන්තායික ගැටලු දෛනික ජීවිතයේ දී ප්‍රබල වශයෙන් අත්විඳියි.

බටහිර මනෝවිද්‍යාවට අනුව “කාංසාව” යන්නෙන් අර්ථවත් කර දක්වන්නේ පුද්ගලයා තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින මානසික ව්‍යාකූලතාවයි. විඩාබර පුද්ගල ගමන් මඟෙහි දිගින් දිගට ම පවත්නා ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ මානසික තත්ත්වය උදා වේ. නමුත් මෙම උද්වේගකර අවස්ථා පුද්ගල චිත්තවේග සුබවාදිව පිටුදැකීමට බුදුසමය දක්වන දායකත්වය සුවිශේෂිය.

කාංසාව සඳහා හේතුවන ප්‍රබල පුද්ගල චර්යා අතර, ජාන බලපෑම, මොළයේ රසායනික සංයුතිය වෙනස් වීම, පෞරුෂ සාධක, ජීවත්වන පරිසරය සහ ජීවන වෙනස්කම්, වෛද්‍ය තත්ත්වයන්, කාංසා අක්‍රමතා හටගැනීම සඳහා මෂ්තිෂ්කයේ වූ්‍යුහාත්මක වෙනස්වීම් හේතුවන බවත් මේ රෝගී අක්‍රමතාවලින් පෙළෙන පුද්ගලයන්ගේ ස්නායු සම්ප්‍රේෂකයන්ගේ වෙනස්වීම්, කෝටිසෝල් හෝමෝනයේ අසාමාන්‍යතා පර්යේෂණාත්මක ව තහවුරු කොට ඇති බව පෙන්වා දී තිබේ. මේ පිළිබඳ පර්යේෂකයන්ගේ නිගමනයන්ට අනුව සංත්‍රාස අක්‍රමතාවලින් පෙළෙන 50%ක් සහ සාමාන්‍ය කාංසා අක්‍රමතාවන්ගෙන් පෙළෙන 40%ක් සඳහා ආරය මව්කුසේ සිට පවුලේ ඉතිහාසය බලපාන බවත්, එහෙයින් මේ සඳහා ජානමය බලපෑම තහවුරු වන බවත් පෙන්වා දෙයි.

විශේෂයෙන් ම කුඩා අවධියේ දරුවකු අත්විඳින අප්‍රසන්න, පීඩාකාරී අත්දැකීම් පසුකාලීන ව දීර්ඝ කාලීන කාංසා රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතු වේ. තවද ජල ගැලීම්, නාය යෑම්, සතුන්ගෙන් වන වගාහානි, කල්වැසි නොලැබීම ආදී වූ ගැටලු දීර්ඝකාලීන ව පැවතීම තුළ මෙම උද්වේගකර තත්ත්වයට පැමිණීමට හේතුවේ. එමෙන් ම පෞරුෂත්වය තුළ පුද්ගලයා අත්විඳින කාංසාව පරිපූර්ණත්වය හෝ පාලනය සඳහා ඉහළ අවශ්‍යතාවක් වැනි ඇතැම් පෞරුෂ ලක්ෂණ ඇති පුද්ගලයන්ට වැඩි ප්‍රවණතාවක් තිබිය හැකි ය.

පුද්ගලයා නිරන්තරයෙන් ඇසුරු කරන්නේ විවිධ මානසික මට්ටමකින් යුත් කණ්ඩායම් ය. ඒ තුළ තමා ඔවුන් සමඟ ගළපා ගන්නට කටයුතු කරයි. නොහැකි වූ තැන දීර්ඝ කාලීන මානසික හා කායික කාංසාවකට පත්වීමේ තත්ත්වයක් තමන්ට උදා වෙයි. වෛද්‍ය ප්‍රතිකාර තත්ත්වයන් මත ද පුද්ගලයා ජීවිත කාලය පුරාවට දැඩි සේ අත්විඳින හෘදරෝග, නිදන්ගත වේදනාව හෝ තයිරොයිඩ් ගැටලු වැනි සෞඛ්‍ය ගැටලු ද කාංසාවට හේතු කාරක වෙයි. කාංසාව නම් රෝගී තත්ත්ව මඟ හරවා ගැනීමට බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුළ දක්නට ලැබෙන්නේ සුබවාදී දැක්මකි. මේ සඳහා ප්‍රජානන චර්යා ප්‍රතිකාරය, නිරාවරණ ප්‍රතිකාර, පළපුරුදු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම, දෛනික ජීවන රටාවේ වෙනස්කම් ඇති කිරීම (සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් නින්දක්, මානසික හා ශාරීරික සෞඛ්‍යය පවත්වා ගැනීම) සඳහා අත්‍යවශ්‍ය වේ. නිතිපතා සිහිය පුහුණු කිරීම හා තමා පිළිබඳ ධෛර්යය සම්පන්නභාවයෙන් ඇගයීම හා සම්භාවනීය හා ප්‍රගතිශීලි කණ්ඩායම් ඇසුරු කිරීම, අනිවාර්යයෙන් ම මෙවැනි මානසික ව්‍යාකූල තත්ත්වයක් උද්ගත වුවහොත් උපදේශකවරයකු සමඟ කතා කිරීම, උපකාරක කණ්ඩායමකට සම්බන්ධවීම හෝ විශ්වාසවන්ත මිතුරකු හෝ පවුලේ සාමාජිකයකු සමඟ විශ්වාසය තැබීම තුළ මානසික සහනයක් ලබා දිය හැකි ය. මෙම කාරණා කිහිපය “කාංසාවෙන්” අත් මිදීමට මාර්ගය සපයයි.

කාංසාව ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා, එහි හේතු තේරුම් ගැනීම, එහි රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ විවිධ ප්‍රතිකාර විකල්ප ගවේෂණය කිරීම ඉතා වැදගත් ලෙස බුදු සමය දකින්නේ කෙබඳු ආකාරයෙන් ද යන්න විමසා බැලීම මෙහි අරමුණ වේ.

පුද්ගලයා විවිධ මානසික හා කායික වශයෙන් දීර්ඝ කාලීන පීඩාකාරී බලපෑම මත මලොව පරලොව දෙකම පරිහානිකර තත්ත්වයකට බලපෑම් කරන බව බුදුසමය තහවුරු කරයි. ඉන් අත්මිදීමට මෙන් මානසික හා කායික සුවය පැතීම බුදුදහමේ මූලික හරය ලෙස ගැනෙන පෙළ වචන අධ්‍යනය ඉතා වැදගත් වෙයි. ථෙරවාද ඉගැන්වීම තුළ හෙළි කරන පුද්ගලයා අයහපත් චර්යාවන් කෙරෙහි යොමු කරවන අකුසලසහගත ප්‍රබල චිත්තවේගාත්මක අවස්ථා කිහිපයක් පෙන්වා දෙයි. එවැනි අවස්ථා පංච නීවරණ යටතේ දැක්වේ. “නීවරණ” යනු ආවරණය කිරීම යන අර්ථය ලබා දෙන්නකි. කුසල් ආවරණය කිරීම මෙහිදී සිදු වේ. නීවරණ නම් වූ අයහපත් චිත්තවේග පහක් දක්නට ලැබේ. එනම්,

කාමච්ඡන්ද - රතු, කහ, නිල් මදටිය යන වර්ණ සංකලනය වූ ජල බඳුනක් හා සමාන වේ.

ව්‍යාපාද - ගින්නෙන් කැකෑරුණු බුබුළු දමමින් නටන ජල බඳුනක් හා සමාන වේ.

ථීනමිද්ද - දිය සෙවෙලින් සමන්විත වූ ජල බඳුනක් හා සමාන වේ.

උද්ධච්ච කුක්කුච්ච - සුළඟින් චලනය වන රැලි නැඟෙන නො සන්සුන් ජල බඳුනක් හා සමාන වේ.

විචිකිච්ඡා - සුළඟින් කැලඹුණු මඩ සහිත අඳුරෙහි තබන ලද ජල බඳුනක් හා සමාන වේ.

ප්‍රඥාව අවදි කර ගැනීමට බාධා පමුණුවන මෙම චිත්තවේගාත්මක ස්වභාවයන් හැඳින්වීම සඳහා යෙදෙන ආවරණ, නීවරණ යන පදය මඟින් එහි මූලික ස්වභාවය ඉදිරිපත් වේ. එබැවින් මෙම චිත්තවේගාත්මක ස්වභාවයන් ප්‍රඥාව දුර්වල කරන (පඤ්ඤායදුබ්බලීකරණ) ඒවා වශයෙන් හැඳින්වේ. මෙම තත්ත්වයන් මත පුද්ගලයා යම් දීර්ඝ කාලීන කාංසායම පීඩනයන් මත දිවි ගෙවන්නේ ය. පංච නීවරණ ධර්මයන් පුද්ගල කායික මානසික වශයෙන් කාංසාමය ස්වභාවයට ඇද දමන්නේ ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රයජනක අරමුණු කෙරෙහි ඇති කර ගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත මත ඒවා විවිධ ස්වරූපයෙන් වෙනස් වීම, නැති වීම මත පුද්ගලයා ගැටීමට මුහුණ දෙයි. මෙයින් අත්මිදීමට කළ යුත්තේ තම වසඟයට පමිණි අයහපත් අරමුණුූ නිවැරැදි ප්‍රඥාවෙන් දැක, ඒවා බැහැර කිරීම යි. අංගුත්තර නිකායේ සංගාරව සූත්‍රයේ නීවරණ ධර්ම විවිධ ජල බඳුන්වලට උපමා කර ඇත්තේ විවිධ වර්ණ හා ද්‍රව්‍ය මඟින් ආවරණය වූ ජල බඳුනේ අඩිය ආවරණය කරගෙන සිටින බැවිනි. ඒ අනුව බලන විට පුද්ගල මනස අකුසල් ධර්මයන්ගෙන් වසාගෙන සිටින චිත්තවේග සමූහයක් වශයෙන් නීවරණ ධර්මයන් හඳුන්වාදිය හැකි ය.

අකුසල සහගත චිත්තවේග හටගැනීමෙහි ලා අනවබෝධය ප්‍රධාන මූලය වශයෙන් දැක්වේ. මෙම අනවබෝධය සරල තත්ත්වයේ එකක් නොවේ. එබැවින් එය අයෝනිසෝ මනසිකාර යනුවෙන් දැක්වේ. එය අතිශය ගැඹුරු කරුණකි. ඉහතින් දැක්වූ ප්‍රතිජානනාත්මක අවබෝධය නීවරණ සම්බන්ධයෙන් වැදගත් වේ. සියලු ම නීවරණ තත්ත්වයන් ඇතිවන්නේ නුවණින් තොර ව මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ඉන්ද්‍රිය බද්ධ අරමුණු සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ සුබවාදී ආකල්පය නැතහොත් ඇලීම කාමච්ඡන්දය ඇතිකිරීමෙහි ලා නිමිත්ත වේ. එසේ ම සිතේ ඇතිවෙන ගැටීමෙහි ප්‍රතිඵලයක් වන ද්වේෂය, ව්‍යාපාද, නීවරණය කෙරෙහි පදනම් වේ. චෛතසික වශයෙන් ඇති කරගන්නා වූ උදාසීන බව හෙවත් මානසික අකර්මන්‍ය බව ථීනමිද්ධය යි. මෙය කිසියම් දෙයක් සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ අකැමැත්ත (අරති) අලස බව (තන්දි) ඇඟමැලි කැඩීම (විජම්භිකා) බත් මත (භත්තසම්මදය) සිතේ පවතින හැකිළුණු ස්වභාවය (චේතසෝච ලීනත්තං) හේතුවෙන් ථීනමිද්ධය වර්ධනය වේ. සිතේ පවතින නොසන්සුන් බව, පසුතැවිල්ල, උද්ධච්ච කුක්කුච්ච යනුවෙන් දැක්වේ. විවිධ අයුරින් සිතෙහි ඇති වන සැකය විචිකිච්ඡා යනුවෙන් දක්වා තිබේ.

මෙම චිත්තවේගාත්මක තත්ත්වය බොහෝ මානසික රෝග හා සම්බන්ධ වේ. විශේෂයෙන් ම සියදිවි නසා ගැනීම වැනි බරපතළ තත්ත්වයකට පවා පුද්ගලයා පෙලඹිය හැකි අයහපත් චිත්තවේගයක් වශයෙන් සැලකිය හැකි වේ. ථීනමිද්ධය මෙන් ම උද්ධච්චකුක්කුච්ච යන නීවරණ බටහිර මනෝවිද්‍යාවෙහි දැක්වෙන විශාදය වැනි මානසික රෝග හා සෘජු සම්බන්ධයක් පවතී. අවසාන අංගය වන විචිකිච්ඡා යනුවෙන් අදහස් කෙරෙන්නේ සැකයයි. සැකය යමක් දැන ගැනීමට හා අවබෝධය පිණිස ඉවහල් වුවද අඛණ්ඩව පවතින සැකය යහපත් වූවක් වශයෙන් නො සැලකේ.

මේ සඳහා පුද්ගලයා දීර්ඝ කාලීන කාංසා තත්ත්වයන් මත දැඩිලෙස පීඩනයට පත්වී පසුව නිවැරැදි දැක්මක් හා මඟ පෙන්වීමක් මත අනවරාඝ්‍ර වූ සංසාරය තරණය කරන්නට පවා සරණක් පැතූ නිදර්ශන අපට තොරතුරු සපයයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ රජගහ නුවර එක්තරා බමුණු කුලයක රාධ නම් බමුණෙක් ජීවත් විය. වයසට පැමිණුනු බමුණා දරුවන්ගේ නො සැලකීම, ගෞරව නොකිරීම පාදක කොටගෙන තමන් ගැන ම බලවත් කනස්සල්ලට පැමිණියේ ය. පසුව “අනේ මට මේ ජීවිතයෙන් ඇති පලය කුමක්ද? මම මේ දරුවන් ලොකුමහත් කරන්නට මොන තරම් දුකක් වින්දා ද? දැන් ඔවුන් මා අමතක කර ගොස් ඇත”. ඒ හේතුවෙන් ඔහු භික්ෂූන් වහන්සේ වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියේ ය. කිසිදු භික්ෂුවක් ඒ සඳහා කැමැත්තක් නොවී ය. භික්ෂූන් සමීපයෙහි පැවිද්ද නො ලැබීම නිසා වැහැරුණ, රළු දුර්වර්ණ, සුදුමැලි නහර පෑදුණ සිරුර සහිත විය. මේ දුර්වල සිරුර ඇති බමුණා දුටු බුදුරජාණන් වහන්සේ ඒ කුමක් නිසා දැ යි භික්ෂූන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. ස්වාමීනි, මේ බමුණා භික්ෂූන් වහන්සේගෙන් පැවිද්ද ඉල් ලූ නමුත් භික්ෂූහු ඔහු පැවිදි කරන්නට කැමති නො වූහ. එහෙයින් මෙසේ දුර්වල විය’යි භික්ෂූහු පැවසූහ.

එහිදී බුදුරජාණන් වහන්සේ මෙහි සිටින කිසියම් භික්ෂු නමක් මේ බමුණා කළ යම් සත්කාරයක් දක්වන්නේ දැ’යි ප්‍රශ්න කළහ. එසේ ය, ස්වාමීනි දකිමි’යි සැරියුත් හිමියෝ පැවසූහ. එය කුමක්ද’යි විචාළ කල්හි ස්වාමීනි, රජගහනුවර පිඬු පිණිස ගිය මට මේ බමුණා දිනක් බත් හැන්දක් බෙදුවේ ය’යි පැවසූහ. හොඳයි, හොඳයි සාරිපුත්ත සත්පුරුෂයෝ කළ දේ දනිති. කළ දේ ප්‍රකටව දනිති. ඒ නිසා මේ බමුණාට පැවිද්දත් උපසම්පදාවත් දෙන්නැ’යි වදාළහ.

උපදෙස් පරිදි රාධ බමුණා විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කරවා උපසම්පදාව ලබා දුනි. රාධ තෙරණුවෝ කෙලෙස් තවන වෙර ඇති ව විදසුන් වඩා නොබෝ කලකින් ම මහ රහත් භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම සැරියුත් තෙරුන්ගෙන් රාධ තෙරුන්ගේ චර්යාත්මක ස්වභාවය විමසා සිටියහ. පසු ව කලෙක දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදී භික්ෂූන් වහන්සේට අග්‍රස්ථාන පිරිනමන කල්හි මාගේ ශාසනයේ මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් මා රාධ තෙරුන් අග්‍ර වන්නේ යි, වදාරමින් රාධ තෙරුන් අග්‍රස්ථානයේ තැබූ සේක. (මහාවග්ගපාලි 1,118 - 120 පිට, බු.ජ.මු) මෙවැනි සිද්ධාන්ත තුළින් ප්‍රකට වන්නේ ගිහි, පැවිදි දිවියේ දීර්ඝකාලීන පැවති කාංසාමය තත්ත්වයන් බුදු නෙතට මුණ ගැසීම තුළ රාධ තෙරුන් තම අවසාන අරමුණ කරා ප්‍රවිෂ්ට වීම මනාව ද්වනිත කරයි. බුදුදහමට අනුව කාංසාමය ස්වභාවය දකින්නේ මෙසේ ය.

කාංසාවේ ස්වභාවය - නීවරණයේ කොටසකි, මානසික අසහනය හා චිත්ත පීඩාව ඇති කරයි, සමාධියට බාධාවකි, කුසල් කිරීමට බාධාවකි.

කාංසාව ඇතිවන ආකාරය - අකුසල් කළ විට, කුසල් නොකළ විට, සීලය කැඩූ විට, වගකීම් පැහැර හැරි විට.

කාංසාව දුරු කිරීමේ ක්‍රම - සීලය රැකීම, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම, සතිමත් බව වැඩීම.

ප්‍රායෝගික උපදෙස් - වර්තමානයේ ජීවත් වීමට පුරුදු වන්න., වැරැදි සිදු වූ විට නිවැරැදි කර ගැනීමට උත්සාහ කරන්න, පශ්චත්තාපය වෙනුවට ප්‍රඥාව භාවිත කරන්න, කුසල් කිරීමෙන් අකුසල් යටපත් කරන්න. කාංසාව යනු සාමාන්‍ය මානුෂික හැඟීමක් වුවත්, එය නුවණින් හඳුනාගෙන මධ්‍යස්ථ ව බැලීමෙන් ජය ගත හැකි ය.