[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනිත්‍ය සිහි කිරීම ධනාත්මක සිතිවිලිවලට බාධාවක් නොවෙයි

අනිත්‍ය සිහි කිරීම ධනාත්මක සිතිවිලිවලට බාධාවක් නොවෙයි

අද සමාජයේ ඇතැම් දෙනා බොහෝ විට අනිත්‍ය ගැන සිතීම, කතා කිරීම, ඒ අනුව ක්‍රියා කිරීම ජීවිතය ඉදිරියට ගෙන යාමට, දියුණුවට බාධාවක් සේ සිතනවා. භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා එසේ සිතන්නේ නැහැ.

ඔහු නිතරම සියලු දේ සමඟ කටයුතු කළත්, පරිහරණය කළත්, ඇසුරු කළත් ඒ දේ අනිත්‍ය බව මනාව තේරුම් ගන්නවා. ඒ ගැන වැටහීමෙන් සිටිනවා. සෑම දෙයක් නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්ත බව සිහි කරනවා.

මෙ‍සේ අනිත්‍ය සිහි කිරීම ධනාත්මක ව සිතන්නට බාධාවක් ද? කියා ඇතැමකුට සිතෙන්නට පුළුවන්. නමුත් බුදු දහම තුළ පමණයි එසේ අනිත්‍ය සිහි කරන තැනැත්තාගේ ධනාත්මක සිතිවිලි හොඳීන් පෝෂණය වන බව පෙන්වා දෙන්නේ.

යම් දවසක අපේ සමාජය තුළත් අනිත්‍ය ධර්මය ගැන මූලික වශයෙන් කතා කරන තත්ත්වයකට පත් වූවොත් ඒ සමාජය ගුණගරුක, කර්මය, කර්මඵල ගැන විශ්වාසය ඇති, සදාචාර සම්පන්න මනා ආචාර ධර්ම අනුව සකස් වූ සමාජයක් බවට පත් වේවි. ඒ වගේම නිරායාසයෙන් ම උසස් මිනිසෙක් බිහිවේවි. මිනිස් ජිවිතයක දී අපට ළඟා කර ගත හැක්කේ මොනවා ද? ඒ ජයග්‍රහණ ළඟා කරගත් විට මිනිසාට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද? කියා බුද්ධ දේශනා තුළ මනාව විග්‍රහ කරනවා.

ලස්සනට ජීවත්වීමට කැමැති අපි වටහා ගත යුතු දේ තමා ලස්සන විය යුත්තේ බාහිරින් පමණක් නොවන බව. ආභරණ පැළඳීමෙන් පමණක් සුන්දර වී පලක් නැහැ. පුද්ගලයෙක් සුන්දර විය යුත්තේ ඒ පුද්ගලයා ගේ ජීවිතයට බලපාන ප්‍රධානතම කාරණාව තුළ යි. ඒ චේතනාත්මක ක්‍රියාව මතයි.

මේ චේතනාත්මක ක්‍රියාව තුළ පුද්ගලයා සතුන් මැරීමෙන් වැළකී, සොරකමින්, වැරැදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතයෙන් දුරස්ව සිය පැවැත්ම සාදා ගෙන, ඊට එහා ගිය කේළමින් තොරව, ඵරුස වචන, හිස් වචන, අනුන් කෙටවීමෙන් තොර ව, අනුන් නො ගරහන චරිතයක් තමා තුළ වර්ධනය කර ගන්නවා නම්, ඒ කායික ක්‍රියා මත විශාල සුන්දරත්වයක් ගොඩ නැඟෙනවා. ඒ තැනැත්තාගේ වචන තුළ සුන්දරත්වයක් පවතිනවා. එය ඔහුගේ මෙලොව පරලොව යහපත පිණිස උපකාරී වෙනවා.

අපි හිතමු මෙහෙම. කිසියම් කාන්තාවක් සිටිනවා නිතර ම සිය තොල් ආලේප කරන. ඒ වගේම ඇයගේ දත් දෙපළ සුදින් බැබළෙනවා.

නමුත් නිතරම ඇගේ මුවෙන් පිටවන්නේ මුසා බස් නම්, කේළාම් නම්, ඵරුස සහ හිස් වචන ම නම් බාහිරින් පෙනෙන සුන්දරත්වයෙන් කුමන ඵලයක් ද? නමුත් අද සමාජයේ සිටින ඇතැම් අයට වැදගත් වන්නේ බාහිර පෙනුම පමණ යි. සමහර විට තමන්ගේ මුවින් පිටවන වචන ගැන තක්සේරුවක් නැහැ. රූපය ලස්සන නම් ඒ ඇති කියා සිතනවා.

ඒත් ධර්මය ගැන කතා කරන පුද්ගලයා හැමවිට ම සලකා බලන්නේ මුව ගැන නො වේ. මුවින් පිටවන දේ ගැන යි. ඒ මතයි සුන්දරත්වයක් අත්විඳීන්නේ. ඔබට මෙයින් පැහැදිලි ඇති ධර්මය හා ධනාත්මක චින්තනය පමණක් කියන දෙ කරුණ අතර යමක් තක්සේරු කිරීමේ දී ඇති වෙනස.

පුද්ගලයකු වාග් දුශ්චරිතවලින් තොර වී සිටින විට හැමවිට ඔහු ම වැදගත් කතාබහින් යුතු වෙනවා. මේ නිසා ම වැදගත් වචන හසුරවන වැදගත් කෙනකු බවට ඔහු නිරන්තරයෙන් පත් වෙනවා. මේ වැදගත් බව මත සුන්දරත්වයක් ප්‍රකට වීමට පටන් ගැනෙනවා. එය බෞද්ධ ශ්‍රාවකයකුගේ ලක්ෂණයක්. ඒ වගේම අපට පුළුන් නම් බුදුරජාණන් වහන්සේ සරණගිය, අනිත්‍ය නිතර මෙනෙහි කරන ශ්‍රාවකයාට තව අවස්ථාවක් තිබෙනවා උන්වහන්සේ වෙත ළං වෙන්න. ඒ තමා එකටෙක නොකර සිටීම, අන් අයගේ දේට ආශා නොකිරීම, තමාට ගරහන කෙනාට පෙරළා ගරහා නොකර සිටීම වගේම වෛර කරන අයට වෛර නොකර සිටීම ආදී දේ තුළින් සුන්දර ශ්‍රාවකයෙක් බිහි වෙනවා.

මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ මූලික සැලැස්ම සකස් වන්නේ අනිත්‍ය ධර්මය මතම යි. ඒ අනිත්‍යයට යමකු ගරහනවා නම් ඒ පුද්ගලයාට ජරා ජීර්ණවීමට නියමිත ජීවිතය මතම යි සතුටු වෙමින් සිටින්නට සිදුවන්නේ. සැබෑ සුන්දර මිනිසා බිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි.

පුද්ගලයෙක් සුන්දරත්වයට ප්‍රිය නම් ඒ පුද්ගලයා සුන්දර ක්‍රියා සපුරන්නකු විය යුතුයි. ප්‍රිය වචන කතා කරන්නකු විය යුතුයි. සුන්දර සිතිවිලි ඇත්තකු විය යුතුයි. ඒත් මේ සුන්දරත්වය ගොඩනැගීම ඉතා අපහසු යි. මෙය ධනාත්මක චින්තනයෙන් මෙහෙය වෙන පුද්ගලයා දකින සුන්දරත්වයට වඩා වෙනස්.

කොහොම නමුත් වටිනා දුර්ලභ දේ සෑම තැනක ම, සෑම විටක ම ඇත්තේ නැහැ. දුර්ලභ පැළෑටියක් ඊට හොදම උදාහරණයක්.

ගොයමක් වවන්නට පටන් ගත් විට ඊට හානි කරන සතුන් කෙතරම් ද? ගොයමකට හානි කිරීමට එතරම් සතුන් සැදී පැහැදී සිටිනවා නම්, උදාර චරිතයක් නිර්මාණය වන්නට යන විට ඊට කෙතරම් බාධක ඒවි ද? ඒත් මේ පැමිණෙන සියලූ බාධක ජය ගෙන උදාර චරිතයක් තමා තුළ ගොඩනඟා ගැනීම ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

අප භාග්‍යවතුන් වහන්සේ වරක් මෙසේ දේශනා කොට වදාළා. මහණෙනි, මා යම් පුද්ගලයෙක් උසස් යැයි සම්මත වූ පමණින් ඒ පුද්ගලයා වර්ණනා කරන්නේ නැහැ. එසේ ම උසස් යැයි සම්මත වූ පමණින් පුද්ගලයකු ගරහන්නේත් නැහැ. රූපය ප්‍රිය වූ පමණින් පුද්ගලයකු වර්ණනා කරන්නේ හෝ ගරහන්නෙත් නැහැ. ධනවතකු වීම නිසා පුද්ගලයකු වර්ණනා කරන්නේ හෝ ගරහන්නේ නැහැ.

මෙයින් අපට පැහැදිලි වෙනවා අපගේ ශාස්තෘන් වහන්සේ මේ කිසිවක් නොකළත් සාමාන්‍ය ලෝකයේ සිටින අපි කරනවා. බලන්න පුද්ගලයෙක් උසස් කුලයේ ඉපදීම හේතුවෙන් මිනිසුන්ගෙන් කොටසක් ඒ පුද්ගලයා වර්ණනා කරද්දී තවත් කොටසක් ඊට ගරහනවා.

රූපය සුන්දර වීම නිසා පුද්ගලයෙක් වර්ණනා ලබනවා වගේ ම මේ හේතුව නිසා ම ගැරහුම් ද ලබන අවස්ථා නැද්ද? අප භාග්‍යවතුන් වහන්සේ ලෝකයා ගේ මේ ගැරහීම හා වර්ණනා කිරීම සඳහා පැහැදිලි මිනුම් දණ්ඩක් ඉදිරිපත් කළා.

ඒ මෙසේයි. පුද්ගලයෙක් උසස් කුලයේ උපන් නමුත් දුරාචාරයේ යෙදෙනවා නම්, සිල්වතුන් ගුණවතුන් ගරහනවා නම්, මිථ්‍යාදෘෂ්ටික නම් උසස් කුලයේ උපන් පමණින් එවැන්නකු වර්ණනා කරන්නේ කෙසේ ද? ඒ වාගේ ම උසස් කුලයේ උපන් යම් පුද්ගලයකු කයින්, වචනයෙන්,සිතින් සුචරිතයේ යෙදෙනවා නම් ඔහු එසේ උපන් පමණින් මා ඔහු ගරහන්නේ කෙසේ ද? අන් සියලූ කාරණා සම්බන්ධවත් උන්වහන්සේ ගේ මිනුම් දණ්ඩ එය ම යි.

මෙයින් අපට පැහැදිලියි පුද්ගලයකුගේ ජීවිතයේ බලපැවැත්වෙන වැදගත් ම කාරණා කිහිපයක් අතර එකක් වන්නේ ක්‍රියාවයි කියන එක. තවත් වැදගත් වන්නේ ඔහු වෙත පවතින ආකල්ප යි. නැතිනම් ඔහු ගේ මතිමතාන්තර යි. පුද්ගලයකු තමන්ගේ මනස පවත්වන ආකාරයත්, තවත් වැදගත් ම සාධකයක්. එසේ නම් මනුෂ්‍යාගේ ක්‍රියාවත්, දෘෂ්ටියත්, මනසත් සුන්දර කරවන්නේ යම් ධර්මයකින් ද ඒ ධර්මය මෙලොව අන් සියලූ දෑ අතර වෙන්ව ගත හැකි යි.

මෙලොව වාසය කළ යම්කිසි පුද්ගලයකු ගේ ක්‍රියාවත්, දෘෂ්ටියත්, මනසත් පරිපූර්ණ වශයෙන් ම කිසියම් ධර්මයක් විසින් සුන්දර කරනු ලැබුවා නම් එය සිදුකරන ලද්දේ කුමන ධර්මයක් විසින් ද?

කිසියම් පුද්ගලයකුට හමුවන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ම පමණයි. උන්වහන්සේ සීලය විග්‍රහ කළ ආකාරය අනුව ම අපට උන්වහන්සේගේ ක්‍රියාව පිළිබඳ වටහා ගත හැකි යි.

ධනාත්මක චින්තනය අනුව බාහිර පියකරු බවට ම ලොල් වී තරුණ වියේදී ඇතැමෙක් කටයුතු කරන්න පුළුවන්. මුළු ජීවිතේ ම ඇතැම් අය කැප කරන්නේ රූපය වෙනුවෙන්. ඒත් මේ පුද්ගලයා ක්‍රමයෙන් වයසට යෑමේ දී සිදුවන්නේ කුමක් ද? කියා වැඩහීමක් නැහැ. තමා ගේ රූපය රැක ගැනීමට මහත් වෙහෙසක් දැරූ තැනැත්තාම රූපය වැහිරී යනවිට තමා ගැන ම කළකිරෙනවා. බිඳ වැටෙනවා. ඒත් මොහු සිය රූපය පිළිබඳ අවධානය පසෙක තබා තම ක්‍රියාව සම්බන්ධ සුන්දරත්වය පිළිබඳ අධ්‍යයනයක සිටියා නම්, ඔහු වියපත්ව ඇඳේ වැතිර සිටියදීත් මේ සුන්දරත්වය අත්විඳීය හැකි යි.

 

උඳුවප් අව අටවක

ජනවාරි 03 බදාදා අ.භා. 07.48 අව අටවක ලබා 04 බ්‍රහස්පතින්දා අ.භා. 10.03 ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]