Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 01 කොටස: විනෝදය තුළ සැඟවුණු ආතතිය හා පීඩනය හඳුනාගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 01 කොටස:

විනෝදය තුළ සැඟවුණු ආතතිය හා පීඩනය හඳුනාගන්න

ආචාර්ය හේනේපොළ ගුණරතන හිමියන් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH කෘතිය ලෝකයේ භාවනාව පිළිබඳ ඇති හොඳම අත්පොත ලෙසින් පිළිගන්නා බව අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඟින් කළ සමීක්ෂණයක දී තහවුරු වී තිබේ. පසුගිය 23 වෙනි ඉරිදා පළ වූ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඟින් ඒ බව වාර්තා කර තිබේ. ශ්‍රී ලාංකිකයකුගේ කෘතියක් සම්බන්ධයෙන් ඇගැයීමක් කර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විස්තරයක් පළ වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ. ආචාර්ය හේනේපොළ ගුණරතන හිමියන් මේ වන විට ලෝකයේ සිටින වයෝවෘද්ධම භාවනානුයෝගීව වැඩවාසය කරනු ලබන භික්ෂූන් වහන්සේ වන අතර, මේ වන විට උන් වහන්සේ 95 වන වියෙති පසුවෙති. උන් වහන්සේ අදටත් දිනකට අවම වශයෙන් කිලෝමීටර් 5ක පමණ දුරක් පයින් වැඩම කරන අතර, තවමත් ග්‍රන්ථකරණයේ නියැළී සිටිති.

මෙම ලිපි මාලාව ඉහත කෘතියෙනි.

******

‘සාදයකට යන්න. මතුපිටින් විනෝදය හා ඊට යටින් දිවෙන බය කියාපාන ඒ සිනහවට, ඒ දුබල කටහඬට කන්දෙන්න. එහි ඇති ආතතිය හා පීඩනය හඳුනාගන්න. කිසිවෙක් සැබෑ ලෙස මානසික විවේකයෙන් පසු නොවෙති. එහෙත් සතුටු වන බව ඔවුහු අඟවති‘.

‘ ඔබ සුව සේ ජීවත්වන බව පිටතින් පෙන්වයි. නමුත් බලාපොරොත්තු සුන්වූ කාල පරිච්ඡේදයන් හා ජීවිතය ඔබ වටා ගිලා බසින බව දැනෙන අවස්ථාවන් පිළිබඳ මතකයන්, ඔබ රහසක්ව තබා ගනියි. ඔබ අවුල් ජාලාවක පැටලී ඇති බව ඔබ දනියි. එහෙත් ඔබ එය දක්ෂ ලෙස සඟවා ගනියි.‘

“මෙහෙම වුණා නම්” යන රෝග ලක්ෂණය අප කෙරෙන් නිරතුරුව ම පෙන්නුම් කරයි.

ඇසිපිය ගසන ක්ෂණයකින් ලෝකය පුරා දිව යන්නට සිතට හැකියාව තිබේ. ඒ නිසාම සිත අපිරිසුදු වීම ඉතාම ඉක්මනින් සිදු වේ. තත්පරයක් තත්පරයක් පාසාම සිදු වන්නේ සිතෙහි කැළඹීමයි. එම කැළඹීමෙන් මිදෙන්නට නම් සිත එකඟතාවකට පත් කර ගත යුතු ය. සිත එකඟ කර ගැන්මට නම් භාවනාවේ යෙදිය යුතු ය. එහෙත්

භාවනාවේ යෙදීම පහසු නැත. එය කාලය හා ශක්තිය වැයවන කාර්යයකි. එසේම එයට ධෛර්ය, උනන්දුව මෙන් ම විනය ද අවශ්‍ය වේ. අප ප්‍රිය නොකරන, හැකි සෑම අවස්ථාවක දී ම මඟ හැරීමට උත්සාහ කරන පෞද්ගලික ගුණාංග රාශියක් ඊට අවශ්‍ය වේ. මේ සියලු ගුණාංග “ගම්ප්ශන්” (gumption) (නොහොත් එඩිතර බව) යන අමෙරිකානු වචනයෙන් සාරාංශ කළ හැකි ය.

සිත එකඟ කර ගැන්මට භාවනා නොකර රූපවාහිනිය නැරඹීම වඩා පහසු කාර්යයකි. ඉතින් භාවනා කිරීම සඳහා වෙහෙස වන්නේ කුමකට ද? විනෝද විය හැකිව තිබියදී කාලය හා ශක්තිය භාවනාව සඳහා නාස්ති කළ යුත්තේ ඇයි?

පිළිතුර ඉතාමත් සරල ය. ඒ ඔබ මනුෂ්‍යයකු වූ නිසා ය. ඔබ මනුෂ්‍යයකු වූ නිසාම කිසිවිටක ඔබ හැර නොයන, ජීවිතය පිළිබඳ වූ කිසියම් අතෘප්තිමත් හැඟීමක් ඔබ තුළ ද ඇත. ටික කලකට එය ඔබගේ දැකීමෙන් සඟවා යටපත් කළ හැකියි. සිත ඉන් ඉවතට යොමුකර පැය ගණනාවක් වුව ද තබා ගත හැකි නමුත්, එය අනිවාර්යයෙන්ම නොසිතූ නොපැතූ අවස්ථාවක, ආපසු එයි. එවිට හදිසියේ ඔබ අවදිව, ජීවිතය දෙස සුපරීක්ෂාකරීව බලා, ඔබ සිටින තත්ත්වය තේරුම් ගනු ඇත.

මුළු ජීවිත කාලයම ඔහේ ගෙවී යන බව ඔබට එවිට තේරුම් යනු ඇත. ඔබ පිටතින් හොඳ මුහුණක් පෙන්වයි; කෙලෙස හෝ තමන්ගේ අවශ්‍යතාවන් සපුරා ගෙන, සුව සේ ජීවත්වන බව පිටතින් පෙන්වයි. නමුත් බලාපොරොත්තු සුන්වූ කාල පරිච්ඡේදයන් හා ජීවිතය ඔබ වටා ගිලා බසින බව දැනෙන අවස්ථාවන් පිළිබඳ මතකයන්, ඔබ රහසක්ව තබා ගනියි. ඔබ අවුල් ජාලාවක පැටලී ඇති බව ඔබ දනියි. එහෙත් ඔබ එය දක්ෂ ලෙස සඟවා ගනියි.

ඒ අතරම මීට වඩා වෙනස් ජීවිත ක්‍රමයක්, වඩා යහපත් ලෙස ලෝකය දැකිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව ඔබට ඉවෙන් මෙන් දැනේ. අතරින් පතර, අහම්බෙන් මෙන් ඔබට එය හසුවෙයි. ඔබ රැකියාවක් ලබා ගනියි. ඔබ ආදරයෙන් බැඳෙයි. ඔබ ජයග්‍රහණය කර ඇත. ටික කලකට ජීවිතය වෙනස් වෙයි. පසුගිය නරක කාලය සහ දුෂ්කරතා ඉවත් වී ජීවිතයේ සැපවත් බව හා පැහැදිලි බව ඔබට දැනෙයි. ඔබගේ අත්දැකීම්වල සම්පූර්ණ ස්වභාවය වෙනස් වී ඔබ මෙසේ කියනු ඇත.

“හරි, දැන් සියල්ල සම්පූර්ණයි. මට සතුටින් ඉන්න හැකියි”. නමුත්, එය ද සුළඟේ පාවී යන මීදුමක් සේ කෙමෙන් ඉවත් වී යයි. ඔබට ඉතිරි වන්නේ මතකයක් පමණක් හා කොතැනක හෝ වැරැද්දක් ඇති බවට යම්තම් දැනීමක් පමණි.

ගැඹුරු වූ ත් සංවේදී වූ ත් අංග සම්පූර්ණ වෙනත් තලයක් ජීවිතයට ඇති බව ඔබට හැඟෙයි. කෙසේ හෝ එය ඔබට නොපෙනේ. ඔබ එයින් වෙන්කොට ඇත. ජීවිත අත්දැකීම්වල මිහිර ඔබගෙන් අවුරා දමා තිබේ. ඔබ ජීවිතය නියමාකාරයෙන් අත්විඳීන්නේ නැත. නැවතත් ඔබ අසාර්ථක වී ඇතැයි හැඟේ. මේ අපැහැදිලි දැනුම ද ගෙවී ගොස් ඔබ නැවත පුරුදු යථාර්ථය ඉදිරියේ ම සිටිනු ඇත.

ලෝකය කවදත් දක්නා පරිදි දූෂිත තැනකි. එය උද්වේගකර හැඟීම් හා බැසීම්වලින් යුක්ත ය. ඉහළට යාමේ බලාපොරොත්තුවෙන් නමුත් ඔබ වැඩි වේලාවක් ගත කරන්නේ සෝපානයේ පහළ අඩියේ ය.

ඔබට සිදුවී ඇත්තේ කුමක් ද? ඔබගේ සිහිය විකල් වෙලා ද? නැත. ඔබ හුදෙක්ම මනුෂ්‍යයෙක් පමණි. සෑම මිනිසකුට ම වැළඳෙන රෝගයකින් ඔබ ද පෙළෙයි. එය අප සැම දෙනා තුළ ජීවත්වන අත් සමූහයකින් යුත් මාරයෙක් වැනි ය.

ඔබගේ හිතවතුන් ද ඇතුළු අන් අය කෙරෙහි සැබෑ දයාවක් නැතිවීම, හැඟීම් තදවී අවහිරවී ඇති සේ දැකීම සහ සංවේදී බව මුළුමනින් ම නැතිවීම, නිදන්ගත ආතතිය, යනාදිය නිසා අප කිසිවෙක් මුළුමනින් ම මේ අසනීපයෙන් මිදී නැත.

අපි එය සිතින් ප්‍රතික්ෂේප කරමු. යටපත් කරමු. එබන්දක් නැති බව අඟවමින් එයින් සැඟවී සිටීමට මුළු මහත් සංස්කෘතියක් නිර්මාණය කරමු. අනෙකුත් ඉලක්ක, ව්‍යාපෘති හා තනතුරු මඟින් අපගේ අවධානය වෙනතක යොමු කිරීමට ප්‍රයත්න දරමු. එහෙත් අපගේ සෑම සිතිවිල්ලක්, හැඟීමක් හා දැනීමක් යටින් ම එය නිරන්තරයෙන් ම පවතියි.

“තව හොඳ මදි, තව වැඩිපුර තිබිය යුතුයි, මීට වඩා හොඳ විය යුතුයි” කියා ඔබට පවසන වචනයෙන් තොර හඬයි ඒ.

එය මාරයෙකි. ඉතා සියුම් ලෙස සැම තැනක දී ම පහළවන මාරයෙකි.

සාදයකට යන්න. මතුපිටින් විනෝදය හා ඊට යටින් දිවෙන බය කියාපාන ඒ සිනහවට, ඒ දුබල කටහඬට කන් දෙන්න. එහි ඇති ආතතිය හා පීඩනය හඳුනාගන්න. කිසිවෙක් සැබෑ ලෙස මානසික විවේකයෙන් පසු නොවෙති. ඔවුහු එසේ අඟවති. පන්දු ක්‍රීඩාවක් නැරඹීමට යන්න. ක්‍රීඩාගාරයේ සිටින ක්‍රීඩාලෝලීන් දෙස බලන්න. අහේතුක කෝපය දකින්න.

උනන්දු හෝ කණ්ඩායම් හැඟීම් යන වෙස්මුහුණ තුළ සැඟවී ඇති, බුබුළු දමා පිටාර ගලන, පාලනය කළ නොහැකි ඉච්ඡාභංගත්වය දකින්න. නින්දා කිරීම්, නම්පට බැඳීම්, හූ කීම් හා නොහික්මුණු මමත්වය, කණ්ඩායම් පක්ෂපාතීත්වය ලෙස ප්‍රකාශ වෙයි. ක්‍රීඩාගාරයේ පවතින බීමත්කම් මෙන්ම ගුටිබැට හුවමාරුව.

මොවුන් මේ කරන්නේ ඇතුළාන්තයේ පවතින ආතතිය පිට කිරීමයි. මොවුහු තමා සමඟ සමාදානයෙන් සිටින පුද්ගලයෝ නොවෙති.

ජීවිතයේ අතෘප්තිකර බවට හොඳම විසඳුම කුමක් ද?

පොසොන් පුර පෝදා බුදුසරණ පුවත්පතෙන් කියවමු