[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරණංකර සංඝරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අම්පිටිය ‍ඓතිහාසික දලුක්ගොල්ල රාජමහා විහාරය

සරණංකර සංඝරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ

අම්පිටිය ‍ඓතිහාසික දලුක්ගොල්ල රාජමහා විහාරය

අධ්‍යතන ධර්ම ශාස්ත්‍රෝද්දීපනියෙහි ආදි කර්තෘ වරයාණන් වහන්සේ, වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ සහ ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ නිධන් කොට ස්තූපයක් ගොඩනංවන ලද්දේ ඓතිහාසික දලුක්ගොල්ල රාජමහා විහාරස්ථානයේ ය.


විහාරාධිපති ඇතිපොල බුද්ධරක්ඛිත නාහිමි

මහනුවර තලාතුඔය මාර්ගයේ ගොස් අම්පිටියෙන් රටේමුල්ල පාරේ හැරී ගමන් කිරීමේ දී මෙම පුරාණ විහාරස්ථානය හමුවෙයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වර්ෂ 1765 දී රාජකරුණා විජේවර්ධන නවරත්න වාසල මුදියන්සේ විසින් දලුක්ගොල්ල රාජ මහා විහාරය තැනවීය. ඉන්පසු එය වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වෙත පුද දී තිබේ.

ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයට සහ උපසම්පදාව ලැබීමට රටේ විවිධ ප්‍රදේශවලින් මහනුවරට වැඩම කළ හිමිවරුන්ට වැඩ හිඳීමට, අධ්‍යාපනය ලැබීමට සුදුසු ස්ථානයක් ඇවැසි විය. නගරයේ සිව් කොන පිහිටි අම්පිටිය, ලේවැල්ල ගංගාරාමය, තිත්තවෙල සහ සුදුහුම්පොළ යන විහාරස්ථානවල ශිල්ප ශාලා පිහිටුවා, ගම්වර පිරිනමා, අධ්‍යාපන ආයතන පිහිට වූ බව මන්දාරම් පුර පුවතෙහි සඳහන් වෙයි. මේ අතුරින් අම්පිටිය ලෙස හඳුන්වා ඇත්තේ දලුක්ගොල්ල රාජමහා විහාරයයි.

විහාරස්ථානයේ සංඝාවාසය විශාල පිරිසකට එකවර නේවාසිකව වැඩ සිටීමට හැකි අන්දමින් මැද මිදුල් සහිත කාමර විශාල ප්‍රමාණයක් සහිතව නිර්මාණය කරවා ඇත.

මෙම විහාරයට නුදුරින් වූ ගල් ලෙනක වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් භාවනානුයෝගී ව වැඩ සිටි බව සඳහන් වෙයි.

අසූ වයස් ආයු වින්දනය කොට අපවත් වී වදාළ සංඝරාජ හිමියන්ගේ ශ්‍රී දේහය මනා ලෙස වතාවත් සිදු කොට නව මහල් දර සෑයක උත්සවාකාරයෙන් ආදාහන කෘත්‍යය සිදු කළ බව සංඝරාජ සාධු චර්යාවෙහි සඳහන් වෙයි.

ශෝකාකූල වූ රජතුමා යුවරජ, සේනාපති ඇතුළු ඇමති මණ්ඩලය ද, නගරවාසීන් සමග මුළු නුවර ම අවමංගල උලෙළකට සරිලන අන්දමින් සකස් කළහ. සංඝරාජ හිමියන්ගේ මෘත දේහය සුවඳ දියෙන් නාවා සිවුරු පෙරවීම් සිදු කළහ. පට සිවුරු ආදී වටිනා සිවුරුවලින් මෘත දේහය වැසූහ. ඉන්පසු ඇත් දළ, රිදී ආදියෙන් කැටයම් කළ විසිතුරු පල්ලක්කියක තැබූහ. මළබෙර වාදනය කරවමින් විසිතුරු මුතුකුඩ පාවඩ උඩුවියන් සහිතව, දුම් කබල්වලින් සුවඳ පූජා ලබා දෙමින්, පන්දම්වලින් ආලෝක පූජාව පිරිනමමින්, ධජ පතාක සේසත් මුරායුධ සහිතව තුවක්කු, දවුල්, හොරණෑවලින් ශබ්ද පූජා පවත්වමින්, විසිතුරු පෙරහරින් සඳුන් දර දැමූ නව මහල් ගිනි ගෙයි මෘත දේහය ආදාහනය කළ අයුරු විසිතුරු අන්දමින් විස්තර කර තිබේ.

මෙම ආදාහන මලුව දළුක්ගොල්ල විහාරයේ සංඝාවාසයට පහළින් පිහිටි නා ගස සහ නුග ගස අතර වූ බව පිළිගැනීමයි. ආදාහනයෙන් පසු අස්ථි ධාතූන් වහන්සේ අම්පිටිය ආරාමයෙහි විහාර මලුවෙහි නිධන් කළහ. ඉන්පසු චතුර් දිශාධිපති මහ ඇමතියන් ලවා චෛත්‍යයක් බඳවා සඟරාජෝත්තම චෛත්‍යය වශයෙන් නම් කළහ. පූජා පැවැත්වූහ. මේ බව සංඝරාජ සාධු චර්යාවෙහි විස්තර කෙරෙයි.

මෙම චෛත්‍යය අම්පිටිය හෙවත් දලුක්ගොල්ල විහාරයේ ස්තූපය වශයෙන් හඳුනාගෙන ඇත. 1965 වර්ෂයේ දී පිළිසකර කිරීම් කරවා තිබේ.

කලක් ගත වනතුරු මල්වතු මහා විහාරයේ ආදාහන මලුව වශයෙන් භාවිත වූයේ අම්පිටිය විහාරයයි. රාජාධි රාජසිංහ රජතුමා විසින් විහාරස්ථානයේ ප්‍රයෝජනය පිණිස හැට පස් අමුණක වපසරිය ඇති ඉඩම් ප්‍රදානයක් සිදු කොට තිබේ. මල්වතු පාර්ශ්වයේ දහ තුන්වන මහා නායක පදවිය හොබවා වදාළ හිප්පොල සෝභිත මහ නාහිමියන් දලුක්ගොල්ල විහාරයේ ආධිපත්‍යය හොබවා තිබේ. හිප්පොල මහ නාහිමියන් අපවත් වීමෙන් පසු හිප්පොල ගුණරතන හිමියන් වෙත මෙම විහාරය හිමි වී තිබේ.

බෝවල ධම්මපාල නාහිමිපාණන් වහන්සේ, ගොඩමුන්නේ සෝභිත නාහිමිපාණන් වහන්සේ, අලුත්ගම සීලරතන මාහිමිපාණන් වහන්සේ, රඹුක්වැල්ලේ ධර්මරක්ෂිත නාහිමිපාණන් වහන්සේ යන සම්භාවනීය යතිවරයන් වහන්සේගෙන් පසු මල්වතු මහා විහාරයේ විංශත් වර්ගික කාරක සංඝසභික, උඩුනුවර හා උඩ පළාතේ ප්‍රධාන සංඝනායක ඇතිපොල සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවිය හොබවති.

සෙංකඩගල පුරවරයේ සිව් කොණ පිහිටි මනරම් අරම් අතුරින් එකකි, ගඟවට කෝරළයේ අම්පිටියේ දලුක්ගොල්ල රාජ මහා විහාරය. එය උඩරට රාජධානියේ සුවිශේෂ මතක සටහන් රැසක් සනිටුහන් කරනු ලබන පුරාණ විහාරස්ථානයකි.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]