හැම දිසාවකම පැතිර යන ගුණ සුවඳ
ඌරුගමුවේ
අස්සජී හිමි
දිනක් බුදුරජාණන් වහන්සේ උතුම් සුවඳ වර්ග තුනක් ගැන දේශනා කළහ. මූල ගන්ධ හෙවත්
මුල්වල සුවඳ, සාරගන්ධ හෙවත් සඳුන් ආදී අරටුවල සුවඳ හා පුෂ්ප ගන්ධ හෙවත් මල්වල සුවඳ
වශයෙනි.
මෙම සුවඳ වර්ග සියල්ලක් ම අනුවාතයට හෙවත් සුළඟ හමන අතට යයි. පටිවාතයට හෙවත් උඩු
සුළඟට නො යයි. මෙම සුවඳ වර්ග අතර උඩු සුළඟට යන සුවඳකුත් ඇද්දැයි,බුදුරදුන්ගේ අග්‍ර
උපස්ථායක ආනන්ද තෙරණුවෝ පසු අවස්ථාවක කල්පනා කළහ. ඉක්බිති ව බුදුරදුන් වෙත මෙම
ගැටලුව යොමු කළ හ.
“ස්වාමීනි සුවඳ වර්ග තුනක් ඇත. ඒ සෑම සුවඳක් ම සුළඟ හමන අතට යයි. උඩු සුළඟට නො යයි.
උඩු සුළඟටත් යටි සුළඟටත් එක සේ ගලා යන සුවඳකුත් ඇද්ද?
පසුව බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්නය විසඳමින් ‘අනුවාත හා පටිවාත යන දෙපැත්තට ම එක
සේ ගලා යන සුවඳක් ඇත. යම් ගමක නියම් ගමක සිටින ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන්
සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේද ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, වැරැදි කාම
සේවනයෙන්, මුසාවාදයෙන් හා රහමෙර පානයෙන් වැළකී සිටින්නේ ද සිල්වත් යහපත් පිළිවෙතින්
යුතු ව දුරු කළ මසුරුමල හා කෙලෙස් ඇති සිතින් ගිහි ගෙයි වසන්නේ ද, පරිත්‍යාගය සඳහා
මුදාහළ වස්තු සම්පත් ඇති, දීමෙන් පිරිසිදු අත් ඇති, දන් දීමෙහි යෙදෙන, යාචකයන්ට දන්
දෙන, දාන සංවිධානයෙහි යෙදෙන පිළිවෙත්වලින් යුක්ත නම් ඔහු හෝ ඇය පිළිබඳ ව දිසා
අනුදිසාවල සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ වර්ණනා කරති. දෙවි දේවතාවෝ ද ගුණ වර්ණනා
කරති. මෙසේ ගුණ වැණුම් නමැති සුවඳ වර්ගය දිසා අනුදිසා සෑම තැනෙකමත්, අනුවාතයෙහිත්
පටිවාතයෙහිත් අනුවාත පටිවාත දෙකෙහිත් හමා යයි.” යනුවෙන් වදාරා මෙම ගාථා දේශනා කළහ.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරං මල්ලිකා වා
සතං ච ගන්ධෝ පටිවාතමේ ති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
චන්දනං තගරංවා’පි
උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධ ජාතානං
සීල ගන්ධෝ අනුත්තරෝ
(පුප්ඵ වග්ගය – ධම්මපදය)
“මල් සුවඳ ද සඳුන්, තුවරලා, ඉද්ද මල් යන මේවායෙහි සුවඳ ද, උඩු සුළඟට නොය යි.
සත්පුරුෂයන්ගේ සීලාදී ගුණ සුගන්ධය වූ කලි උඩු සුළඟට ද යයි. සත්පුරුෂ තෙමේ ගුණ
සුවඳින් හැම දිසාවන් පුරා ප්‍රකට වෙයි. සඳුන් සුවඳ ද, තුවරලා සුවඳ ද, මහනෙල් සුවඳ
ද, දෑ සමන් සුවඳ ද යන මෙකී හැම සුවඳ සමූහයනට වඩා සිල් සුවඳ උතුම් ය.
සුවඳින් අග්‍ර වූ රත් සඳුන්වල ද තුවරලා, බෝලිද්ද යන මල් වර්ගවල සුවඳ ද සුළං හමාගෙන
යන පැත්ත අනුව ම යයි. උඩු සුළඟට හමා නොය යි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ගේ
සිල් සුවඳ සුළං හමා එන උඩු සුළඟෙහි පවා හමා යයි. එසේම සත්පුරුෂයා තම සිල් සුවඳ
සියලු දිශාවන් හි පතුරුවා හරී ද, ඒ නිසා ම ඔහුගේ සිල් සුවඳ උඩු සුළඟටත් හමා යන්නේ
යැයි, වටහාගත යුතු ය. මේ සියලු සුවඳින් අනූන සිල්වත් සත්පුරුෂයන් ගේ සිල් සුවඳ
අනෙකුත් සියලු සුවඳ වර්ගවලට වඩා උතුම් ය.
උතුම් පිළිවෙතකින් තමාගේ සිත, කය, වචනය හික්මවා ගැනීම සීලය යි. සීල යන පදයෙහි සීතල
යන තේරුමකුදු ඇත. ඒ කෙලෙස් ගිනි නිවන සිසිලසක් සීලයෙහි පවතින නිසා ය. ගුණධර්ම
විසිරයාමට ඉඩ නො දී රැක ගැනීමේ අර්ථයෙන් සීලය හිසක් වැනි ය. හිස සුන් කල්හි ජීවිතය
නො රඳන්නාක් මෙන් සිල් සුන් කල්හි ගුණධර්ම නමැති සිරුරක් ද නො රඳන්නේ ය.
සීලය චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය හා අව්‍යතික්‍රම සීලය යනුවෙන් සිව්
වැදෑරුම් වේ. මෙහි චේතනා සීලය නම් ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගෙන් වෙන්වීමෙන් හා
වත් පිළිවෙත් කිරීමෙන් සිතෙහි ඇතිවන චේතනා සමුදාය යි.
චෛතසික සීලය නම් ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් ගෙන වෙන්වීමෙන් සිතෙහි පහළ වන විරත
චෛතසිකය යි. එනම් නිවැරැ දි වචනය, නිවැරැදි කර්මාන්ත, නිවැරැදි දිවි පැවැත්ම, විෂම
ලෝභයෙන් වෙන්වීම, කෝපයෙන් වෙන් වී මෙත් වැඩීම යන නිවැරැදි දැක්ම යි.
සංවර සීලය යනු ප්‍රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය හා විරිය
සංවරය යි. ප්‍රාතිමෝක්ෂය යනු ප්‍රධාන සීලය යි. මෙය භික්ෂූන් වහන්සේ ප්‍රධාන කොට
දේශනා කරවූවකි. පවට ලජ්ජා වී ආත්ම ගෞරවය උපදවා ශික්ෂා පද ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ
සංවරය යි. සති සංවරය නම් සිහිය මැනවින් පවත්වා ගැනීම යි. සිහිය සෑම තැනෙක දීම
අවශ්‍ය දෙයකි. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමට සියල්ලෝ ම කැමැත්තාහු ය. එහෙත් එම
ඉඳුරන් පිනවීම මනුෂ්‍යත්වය රැකෙන පරිදි සිහියෙන් සිදුකළ යුතු දෙයකි.
ඤාණ යනු නුවණ යි. ලොව පවත්නා සියලු දේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම වශයෙන් බලා, බාහිර
කෙලෙසුන් හා නො ඇලී ක්‍රියාකිරීම ඤාණ සංවරය යි. ඛන්ති යනු ඉවසීම යි. සංස්කාරයන්
පිළිබඳ අපරාධ ඉවසීම , තමන් පිළිබඳ අපරාධ ඉවසීම හා අනුන් පිළිබඳ අපරාධ ඉවසීම යයි, එය
ආකාර තුනකි.
අධික සීතල, අධික උෂ්ණය යනාදී ස්වභාවික කරුණුූ හේතුකොට ගෙන සමහරු කිපෙති. තමන්
පි‍්‍රය නො කරන රූප, ශබ්ද ආදිය හා ගැටීමෙන් ද ගල්, මුල්වල අත් පා හැපීමෙන් ද තවත්
සමහරු කිපෙති. ඇතැම්විට තමන්ගෙන් ම තමන්ට වරද සිදුවේ. තමන් නිසා තමන්ට සිදුවන
අලාභහානි ද තමන්ගේ ශරීරයේ හටගන්නා රෝග පීඩා ද, සා පිපාසාදී දුක් වේදනා ද නිසා කිපෙන
අය සිටිති. මේ සියල්ලට ම වඩා විවිධ විෂම ලෝකයෙහි නා නා විධ අධම පුද්ගලයන් නිසා නා
නා ප්‍රකාර කරදර නිසා කිපීමට සිදුවන අවස්ථා තිබේ. මේ සෑම විටෙක ම ලෝක ස්වභාවයත්,
තමාගේ වැදගත්කමත් ගැන සිතා නො කිපී ඉවසීම ප්‍රගුණ කිරීම ඛන්තී සංවරය යි. විරිය යනු
උත්සාහ ය යි.
උපන් කුසල් දියුණුූ කිරීමටත්, නූපන් කුසල් ඉපදවීමටත් , උපන් අකුසල් දියුණු
නොවීමටත්, නූපන් අකුසල් මතු නොවීමටත් උත්සාහ දැරීම මින් ඉගැන්වේ. මෙසේ නුවණින්
වීර්ය කිරීම විරිය සංවරය යි. මේ පස් වැදෑරුම් සංවරයෙන් යුක්ත ව ආත්ම ගෞරවය උපදවා
පවින් වැළකී සිටීම සංවර සීලය නම් වේ.
අව්‍යතික්‍රම සීලය නම් සමාදන් වූ ශික්ෂාපද කයින් හා වචනයෙන් නොබිඳ ආරක්ෂා කිරීම යි.
එය චාරිත්‍ර, වාරිත්‍ර වශයෙන් දෙ වැදෑරුම් ය. කළයුතු වත් පිළිවෙත් පිරීම, “චාරිත්‍ර
සීල” නම් වන අතර නොකටයුතු වූ පාප ධර්මයන්ගෙන් වැළකීම “වාරිත්‍ර සීල” නම් වේ.
මේ කරුණු මැනවින් වටහාගෙන දාන, සීල, භාවනා දී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි
යෙදෙමින් පස් පව්, දස අකුසලයෙන් වැළකී මනා සිල්වතුන් සේ ක්‍රියාකොට මෙලොව, පරලොව යන
දෙලොව දියුණුව සලසා ගැනීම කෙරෙහි උත්සාහවත් විය යුතු ය. |