Print this Article


ගුරු දේවයන්ට පුද පිණිස ග්‍රාම නාමයෙන් නම බැබළවූ රත්මලානේ ධර්මාරාම නාහිමියෝ

ගුරු දේවයන්ට පුද පිණිස ග්‍රාම නාමයෙන් නම බැබළවූ රත්මලානේ ධර්මාරාම නාහිමියෝ

ධර්මාරාම කුඩා සාමණේර හිමි චතුර ලෙස ධර්ම දේශනා පැවැත්වීමට සමත් වූ අතර දිනක් උන්වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ නිකලස් ගුණතිලක නම් සල්පිටි කෝරලයේ මුදලිතුමා සාමණේර හිමිනමට උසස් අධ්‍යාපනයක් ලබාදීමට යෝග්‍ය ගුරුවරයකු වෙත යොමු කරවන ලෙස ගුරුදේවයන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ අනුව සුදුසු ආචාර්යයන් වහන්සේ නමක් සොයා ගිය ද කුඩා සාමණේරයන් වහන්සේ කුමක් හෝ කරුණක් පෙන්වා එහි නැවතීමට නො සතුට පළ කළේ ය. ඒ අනුව සාමණේරයන් වහන්සේගේ කැමැත්ත අනුව ම සුදුසු විද්‍යස්ථානයක් සෙවීමට වසරක පමණ කාලයක් ගත විය. ඒ අනුව රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන් වහන්සේගේ ගුණ වර්ණනා කොට එහි ගොස් බලන්නට යෝජනා කළේ ය. ඒ අනුව එහි වැඩම කළ කුඩා සාමණේරයන් වහන්සේ ධර්මාලෝක ස්වාමීන් වහන්සේ හා එහි සෙසු ශිෂ්‍ය පිරිස ගැන ද විහාරස්ථානය පිළිබඳව ද සතුට ප්‍රකාශ කළේ ය.

වර්ෂ 1864 ක් වූ මැයි මස සුබ නක්ෂත්‍ර දිනයක දී කුඩා සාමණේර හිමියන්ගේ පියාට ද දන්වා චන්ද්‍ර ජෝති ස්වාමීන් වහන්සේ සිරිත් පරිදි ධර්මාලෝක ස්වාමීන් වහන්සේ අත තබා ‘ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කැමැති සේ හැඩගස්වා ගන්නා ලෙස භාර කළහ. සාමණේරයන් වහන්සේගේ මුත්තණුවන් කෙනකු වූ මීගොඩ වෙලුන් දියෙස් ජයසූරිය වෛද්‍යාචාර්ය මහතා උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු සියලු ආචාර සලසන බවට පොරොන්දු දී ඉදිරිපත් විය. ඒ අනුව ධර්මාලෝක ස්වාමීන් වහන්සේට භාර කිරීම තව තවත් තහවුරු කළේ ය. තම ශිෂ්‍ය රත්නයක් ලෙස භාරගත් ධර්මාලෝක ස්වාමීන් වහන්සේ, තම ප්‍රධාන කාර්යය ලෙස ගෝල හිමිනම සෑදීම සැලකීය. එහි ප්‍රධාන කාර්යය ලෙස තම ආචාර්ය වංශයෙහි පිහිටුවීම සිදු විය. එනම් කුඩා සාමණේර හිමියන් උපැවිදි කොට සුබ නැකතකින් යළි සිවුරු පොරවා “ධර්මාරාම“ යන නම් තැබීය. ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු දහය යි මාස අටකි. ධර්මාලෝක මා හිමියන් විසින් මේ කුඩා ගෝල හිමි නමට පාලි වරනැඟිල්ලේ සිට ඉගැන්වීම් ආරම්භ කළහ.

ධර්මාරාම හිමියෝ “රත්මලාන“ යන ග්‍රාම නාමය යොදාගෙන ඇත්තේ තම ගුරුදේවයන් වහන්සේ වූ රත්මලානේ ධර්මාලෝක මාහිමියන්ට ගුරු පුද පිණිස, උන්වහන්සේගේ අපවත්වීමත් සමඟ ය.

වයස අවුරුදු දාහතරේ දී සිංහල පාලි භාෂා දෙක ම මැනවින් දත් අර්ථාවබෝධය හා ධාරණ ශක්තිය පුදුම දනවන සුළු ය. දවසකට ග්‍රන්ථ කිහිපයක් ඉතා පහසුවෙන් ප්‍රගුණ කරවන තරම් ඥාන ශක්තියක් වූයේ ය. දිනක් බටුවන්තුඩාවේ පඬිතුමා ධර්මාලෝක ස්වාමීන් වහන්සේ හමු වූ විටක “ඔබ වහන්සේ දැන් කුමක් කරන්නේ දැ‘යි විමසූහ. “මම ධර්ම ශාලාවක් තනවමි“ යැයි පිළිතුරු දුන්හ. ඊට

කලකට පසු බටුවන්තුඩාවේ පඬිතුමා හා ධර්මාලෝක හිමියන් මුණ ගැසුණු විටක, ස්වාමීන් වහන්සේ එදා කියූ ධර්මශාලාව ගොඩනඟා අහවර දැ‘යි විමසූහ. තම ශිෂ්‍ය රත්නය වූ ධර්මාරාම හිමියන් කැඳවමින් “ඔව්, මම ඒ ධර්මශාලාව තනා අහවරයැ‘යි ඉතා සතුටු සිතින් මේ ඒ ධර්මශාලාව යැයි උන්වහන්සේ පිළිතුරු දුන්නහ.

ස්වකීය ශිෂ්‍ය රත්නය ගොඩනැංවීම උදෙසා ගුරුදේවයන් වහන්සේ ලෙස ධර්මාලෝක මහා යතීන්ද්‍රයන් වහන්සේ හැකි උපරිම අයුරින් අවවාද අනුශාසනා මඟ පෙන්වීම් ලබා දෙමින්, ක්‍රියා කළ ආකාරය ගුරු ප්‍රජාවට ම පූර්වාදර්ශයක් වනු නො අනුමාන ය.

ධර්මාරාම සාමණේරයන් වහන්සේ විසි වයස් පිරුණු කල වර්ෂ 1874 ක් වූ ජුනි මස දිනක දී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේ වෙතින් උපසම්පදා භූමියට ඇතුළත් වූයේ, තමන් වහන්සේ සංස්කෘත හා පාලි භාෂාවෙන් ලියූ ග්‍රන්ථයක් ද එළි දක්වමිනි.

උපසම්පදාවෙන් කිහිප දිනක් ගිය තැන දී වලානේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ සහ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන් වහන්සේ ඉගැන්වීම කරමින් පවත්වාගෙන පැමිණි රත්මලාන පුරාණ විහාර පිරිවෙන්හි උපාචාර්ය ධූරය ධර්මාරාම ස්වාමීන් වහන්සේට පවරන ලදී. උපසම්පදාවෙන් දෙවැනි වස සියනෑ කෝරළයේ දළුගම රත්මලානේ ධර්මාලෝක ස්වාමීන් වහන්සේ සමඟ ධර්මාරාම ස්වාමීන් වහන්සේ ද වස් වැසූහ. වස් වසා මසක් ගිය තැන දොන් ආබ්‍රහම් සමරතුංග රන්දුන් බස්නායක මුහන්දිරම් රාළහාමි ප්‍රමුඛ ධනවත් ප්‍රභූ පිරිසක් විසින් “විද්‍යාලංකාර“ දායක සභාව නමින් සමිතියක් පිහිටුවා ගන්නා ලදී. වස් කාලය අවසානයේ දී විද්‍යාලංකාර දායක පිරිසගේ සම්මතයෙන් පෑලියගොඩ ගම් පියසේ රම්‍ය භූමි කොටසක් මිල දී ගත්තේ ය. වර්ෂ 1875 නොවැම්බර් මස 01 දින විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භ කරන ලදී.

විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාවෙහි ආරම්භයත් සමඟ එහි පරිවේණාධිපති ධූරය බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන් වහ්නසේ විසින් හෙබවනු ලැබූහ. ඊට නොබෝ දිනකින් ම උපාචාර්ය ධූරය දරමින් සිටි තම විශිෂ්ට ශිෂ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනෙහි උප පරිවේණාධිපති ධූරයට පත් කළේ ය.

මේ අවධියේ දී එනම් 1886 දී පමණ ගුරු ශිෂ්‍ය දෙදෙනා වහන්සේ විසින් “සංස්කෘත ශබ්දමාලා“ නම් වූ ග්‍රන්ථයක් ද “ධර්මප්‍රදීපිකා“ නම් වූ ගැඹුරු ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක් ද ශුද්ධ කොට ප්‍රකාශයට පත් කළ බව සඳහන් ය.

බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන් වහන්සේ ව්‍යවහාර වර්ෂ 1887 ක් වූ අගෝස්තු මස 17 වන දින අපවත් වූහ. ඉන් අනතුරුව විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට, රත්මලානේ ශ්‍රී ධර්මාරාම ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර දායක සභාව විසින් පත් කර ගන්නා ලදී.

කොළඹ පරම විඥානාර්ථ සමාගමෙන් නිකුත් වූ “සරසවි සඳරැස“ පුවත්පතේ කර්තෘ වූයේ එච්. එස්. පෙරේරා මහතා ය. එම කර්තෘ තනතුරෙන් ඉල්ලා අස් වූ ඒ මහතාට අභිනවයෙන් පුවත්පතක් ආරම්භ කිරීමට වුවමනා විය. ඒ සඳහා කලක් පවතින සුදුසු නමක් තනවා ගැනීම සඳහා පෙරේරා මහතා පිය නැඟුවේ රත්මලානේ ධර්මාරාම නාහිමියන් වෙතට ය. තමාගේ අදහස පවසා සුදුසු නමක් නිර්මාණය කර දෙන මෙන් පෙරේරා මහතා ධර්මාරාම නා හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ධර්මාරාම නා හිමියන් පැවසුවේ ඔබ සේවය කළේ “සඳරැසේ“ නිසා අභිනව පුවත්පත “දිනමිණ“ නමින් නම් තබා පවත්වාගෙන යන ලෙස නාහිමියෝ උපදෙස් දුන් බවයි. “දිනමිණ“ පුවත්පත අද ලේක්හවුස් ප්‍රකාශනයකි. තම ගුරුදේවයන් වහන්සේ වූ ධර්මාලෝක නාහිමියන්ගේ අවධියේ පටන් ම කරගෙන ආ ඒ ශාස්ත්‍රීය කටයුතු නොනවත්වා ඉදිරියට රැගෙන යමින් ශාස්ත්‍රීය ලෝකයා වෙත මහත් මෙහෙවරක් කරන්නට උන්වහන්සේ සමත් වූහ. ශ්‍රී ධර්මාරාම ස්වාමීන් වහන්සේ එකල මූල ග්‍රන්ථය අභාවයට ගොස් තිබිය දී පුරාණ සිංහල සන්නය අනුසාරයෙන් මහා කවි කුමාරදාසයන් විසින් රචිත ජානකීහරණ මහා කාව්‍යය නැවත රචනා කොට 1890 දී පළ කරන ලදී. ඒ වගේ ම ඒ වනතුරුත් ව්‍යාකූල ව පැවති සිංහලයේ න, ණ, ල, ළ භේදය පිළිබඳ යථා ප්‍ර යෝග අක්ෂර වින්‍යාසය හෙළිදරව් කළහ. 1892 දී ධර්මාරාම ස්වාමීන් වහන්සේ සත්‍යමුච්චය සඟරාව මගින් ස්වකීය නිගමනය ඇතුළත් කොට අක්ෂර වින්‍යාසය පිළිබඳ පැරැණි නිවැරැදි පිළිවෙල පැහැදිලි කළහ. 1896 දී පඤ්චිකා ප්‍රදීපය සංශෝධනය කොට ප්‍රකාශනය කළ බව ද සඳහන් ය. 1902 දී සිදත් සඟරාව සංශෝධනය කොට ලියා පළ කළ බව ද කියැවේ. තව ද එකී ශාස්ත්‍රීය පොත පත අතර පපංචසූදනී අටුවාවෙහි ප්‍රථම භාගය, මනෝරථපූරණී, අත්ථසාලිනී වැනි පෙළ අටුවා ද මජ්ඣිම නිකාය, ධම්මසංගණී ආදි පෙළ පොත් ද, බාලාවතාර, මහාරූපසිද්ධි, පාලි නාම්‍යාත පදමාලා වැනිපාළි ව්‍යාකරණශිත්‍ර ග්‍රන්ථ ද මහාබෝධිවංශ ග්‍රන්ථ පද විවරණය, සන්න සහිත කාව්‍යශේඛරය, සන්න සහිත සැළලිහිණි හා හංස සංදේශ, කාව්‍යශේඛර පුරාණ සන්නය සංස්කරණය, ශික්ෂා සංග්‍රහය, ධර්ම ප්‍රදීපිකාව ආදිය ඒ අතර වේ. එමෙන් ම බුද්ධ වර්ෂ වාද, පාරුපනවාද, සුගත්වියත්වාද ආදි විවිධ වාදවිවාද පවත්වා එකී මතවාදවල පැවති ව්‍යාකූලතා නිරාකරණය කොට ඉදිරිපත් කරන ලද බව ද සඳහන් ය.

මෙම කරුණු පිළිබඳ ව සලකා බැලීමේ දී විද්‍යාලංකාර පිරිවෙන් හි දෙවන පරිවේණාධිපතීන් වහන්සේ වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමියන් වහන්සේ මෑත ඉතිහාසයේ වැඩ විසූ අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් හෙබි බහුශ්‍රැත ධර්මධර, විනයධර සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි වියතුන්ගේ ඉමහත් වූ සම්භාවනාවට පාත්‍ර වී ඇත.