[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අද ඇති දේ හෙට නැති වෙනවා ලෝ දහම තේරුම් ගන්න

අද ඇති දේ හෙට නැති වෙනවා ලෝ දහම තේරුම් ගන්න

තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

පින්වතුනි,

බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පමණ වූ තම සම්බුද්ධ ජීවිතය පුරාවට ම හේතු සම්පත් ඇති විවිධ පුද්ගලයන් උදෙසා ධර්මය දේශනා කළහ. මෙම භයංකාර වූ සසර කතරින් සත්වයන් එතර කිරීමට අප්‍රමාණ කැප කිරීම් සිදු කළ ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ ඇතැම් පුද්ගලයන්ට ධර්මය දේශනා කිරීමට යොදුන් ගණන් පයින් වැඩම කළහ.

" මහා වතුරට මුළු ගොයම ම විනාශ විය. ගොවියා පසුදා උදෑසන ම කුඹුරට ගියේ ය. විනාශ වී ඇති කුඹුර දෙස බලා තමන්ගේ බලාපොරොත්තු සියල්ල ම සුන් වූ බව දැක නැවත නිවස බලා ආවේ ය."

එක වරක් පමණක් නොව දෙතුන් වරකට වඩා එකම පුද්ගලයා වෙත වැඩම කළ අවස්ථා ද ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් දැක ගත හැකි ය. තථාගතයන් වහන්සේ ඉහත ගාථාව මුල් කර ගත් ධර්ම දේශනාව සිදු කරන්ට යෙදුනේ ද අවස්ථා ගණනාවක් ම එම බමුණා හමුවීමට වැඩම කරමිනි.

සැවැත්නුවර අසල වෙසෙන එක් බමුණෙක් ගඟක් අසල යම් කිසි ප්‍රදේශයක කුඹුරක් වැපිරීමට සූදානම්ව සිටියේ ය. බමුණා තම කුඹුර වැපිරීමට පටන් ගත් දින බුදුරජාණන් වහන්සේ ඔහු වෙත පැමිණ “ බමුණ, ඔබ කුමක් කරන්නේ ද?” යි

විමසූහ.

“ස්වාමීනි, මා කුඹුර වැපිරීමට සූදානම් වනවා ”.

බමුණා පැවසීය. මෙලෙස බුදුරජාණන් වහන්සේ කුඹුර වපුරන කලට, ගොයම් පැසුන කලට, ආදී වශයෙන් කිහිප වතාවක් පැමිණ බමුණා සමඟ සංවාද ගොඩනැඟී ය. මේ අතර බමුණා බුදුරජාණන් වහන්සේ සමඟ මිතුදමක් ඇති කර ගත්තේ ය. මිතුරකු ලෙසින් දිනපතා පැමිණ තමාගේ සුව දුක් සහ සිදු කරන කාර්යය පිරික්සා බලන බුදුරදුන් වෙනුවෙන් ගොයම් කැපූ පසු මුල් ම කොටස පිරිනැමීමට අදහසක් බමුණා තුළ ඉස්මතු විය. කෙමෙන් කාලය ගෙවී ගියේ ය. අස්වැන්න නෙළා ගැනීමේ දින ළං විය. අස්වනු නෙළා ගැනීමට පළමු දින රාත්‍රියේ මහවැසි වැස්සේ ය. මහා වතුරට මුලු ගොයම ම විනාශ විය. ගොවියා පසුදා උදෑසන ම කුඹුරට ගියේ ය. විනාශ වී ඇති කුඹුර දෙස බලා තමන්ගේ බලාපොරොත්තු සියල්ල ම සුන් වූ බව දැක නැවත නිවස බලා ආවේ ය. සයනය මත වැතිරී සොවින් පෙළෙමින් සිටියේ ය. කුඹුර විනාශ වී අස්වනු පාළු වූවාටත් වඩා බමුණා ශෝක වූයේ බුදුරදුන් වෙනුවෙන් පිදීමට තිබූ අස්වනු කොටස විනාශ වූ නිසා ය.

මේ සිදුවීම දුටු බුදුරජාණන් වහන්සේ මිසදිටු බමුණාගේ නිවසට වැඩම කළ සේක. සොවින් තැවෙමින් දුක සේ කාලය ගත කළ බමුණා අමතා බුදු හිමියන් ඉහත ගාථාව දේශනා කළ සේක. ගාථාව දේශනා කළ උන්වහන්සේ ශෝකයට හේතුව දන්නේ දැයි බමුණාගෙන් විමසීය. තමන් එයට හේතුව නොදන්නා බව බමුණා කීවේ ය.

"ඔබ වහන්සේ එයට හේතුව දන්නේද?"යි බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේ ය. තමන් වහන්සේ එයට හේතුව දන්නා බව පෙන්වා දෙමින් බමුණාට එම ධර්ම කාරණය විචිත්‍ර ආකාරයට අවබෝධ කරවූහ.

තමන් දැඩි ලෙස කුඹුර කෙරෙහි ආශාවෙන් සිටීම ( තණ්හාව ශෝකයට මුල බව ) දුකට හේතු වූ බව අවබෝධ විය. බුදු හිමියන්ගේ ධර්ම දේශනාව අවසානයේ දී පාළුවී ඇත්තේ කෙත නොව තමන්ගේ සිත බව අවබෝධවීමත් සමඟ සෝවාන් ඵලයට පැමිණීමට ඔහුට හැකි විය.

තණ්හාව හේතු කොට ශෝකය හට ගනී. තණ්හාව නිසා භය හටගනී. එම තණ්හාව නැති කළ පුද්ගලයාට එබඳු කිසිම ශෝකයක් නොමැත. එසේවී නම් භයක් හටගන්නේ ද නැත. මේ ගාථාවේ සරල අදහස මෙම ධර්ම කාරණා සමඟ සැසදීමෙන් ඔබට අවබෝධ වේ. සත්වයා සංසාර සාගරයට තල්ලු කර දමන ප්‍රධාන හේතුව තණ්හාව ය. නැවත නැවත ඉපදෙමින් සසර පුරාවට ම සත්වයා ගමන් කරන්නේ මේ තණ්හාව නිසා ය. තණ්හාව හේතුව බව දන්නවා නම් එය නැති කිරීමට හේතු සෙවිය යුතු ය.

“ ඵලමිච්ඡන්ති වනස්මිං වානරෝ ”

වනාන්තරයේ සිටින වානරයකු ගෙඩි කෑමේ ආශාවෙන් ගසෙන් ගසට පැන යයි. එමෙන් තණ්හාව නිසා සත්වයා භවයෙන් භවයට ගමන් කරන බව බුදුහිමියෝ උපමාවක් මඟින් පෙන්නුම් කොට වදාළහ.

පංච ඉන්ද්‍රියයන් පිනවමින් කාලය ගත කිරීමට දැඩි අශාවක් සත්වයන්ට තිබෙන අතර, වර්තමානය වන විට එවැනි පුහු ආශාවන් සඵල කර ගැනීමට නොකරන දෙයක් නැති තරම් ය. එහෙත් දැඩි ආශාවන් නිසා අවසානයේ එහි ඇති ප්‍රතිවිපාක ද විඳීමට ලැබෙන්නේ තමන්ට ම ය.

අනේපඬු සිටුතුමා, මිගාර මාතාව වැනි අග්‍ර දායකයින් සියලු සැප සම්පත්වලින් සපිරි සේනාසන පූජා කළ ද බුදුරජාණන් වහන්සේ කිසිම දෙයකට ආශා කළේ නැත. කෙලෙසුන් ප්‍රහීන කළ උන්වහන්සේ ගස් මුල් අසල සේ ම අසීරුවෙන් අටවා ගත් කුඩා සේනාසන වල ද වැඩ විසූහ. එය සම සිතින් ඉවසා වදාළහ. බුද්ධ චරිතයෙන් අප ඒ ආදර්ශය ගත යුතු ය. අද කෙනකුට නැති දෙයක් හෙට ලැබෙන්නට පුළුවන. තව කෙනකුට තියෙන දෙයක් හෙට නැති වෙන්නට පුළුවන. එය අවබෝධ කර ගත යුතු ය.

සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව ප්‍රඥාවෙන් යුතු ව තේරුම් ගෙන පංචඉන්ද්‍රියයන් දමනය කර ගනිමින්, සෑම විටම දෙයක් අල්ල ගන්නවාට වඩා එහි ඇති වේදනා බව දැක අවබෝධයෙන් මේ මනුස්ස ජීවිතය ගත කළ යුතු ය. පෘතග්ජන පුද්ගලයින් වශයෙන් අප මේ සසරට බිය විය යුතු ය. එම නිසා සෑම විටම ධර්මයට අනුව අටලෝ දහමින් කම්පා නොවී ජීවිත් විය යුතු අතර, එය ගිහි පැවිදි දෙපාර්ශවයට ම දුක නැති කිරීමට පහසුවක් වේ.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]