Print this Article


බුදු සිරිත කියවා බොදු සිරිත දැන ගනිමු

බුදු සිරිත කියවා බොදු සිරිත දැන ගනිමු

" සමහර දරුවන්ට අම්මා, තාත්තා නෑ. ඉගෙන ගන්න මිල මුදල් නෑ. හොඳ පොත පත නෑ. එහෙමයි කියලා සියල්ල අත් හැර දමනවා නම්, අනාගතය ජය ගන්නේ කොහොම ද? දුක ජය ගත්තේ නැති නම් අනාගතයත් දුකක් තමයි."

බුද්ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති. දන්‌තො සො භගවා දමථාය ධම්‌මං දෙසෙති. සන්‌තො සො භගවා සමථාය ධම්‌මං දෙසෙති. තිණ්‌ණො සො භගවා තරණාය ධම්‌මං දෙසෙති. පරිනිබ්‌බුතො සො භගවා පරිනිබ්‌බානාය ධම්‌මං දෙසෙතී ති.

පින්වත්නි,

අද බිනර පුර පසළොස්වක පොහෝ දිනය යි. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් හට අෂ්ට ගරු ධර්ම පනවමින් සම්බුදු සසුනේ පැවිදි වීම අනුදැන වදාරන ලද්දේ අද වන් දිනක දී යි. බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ අසරණ ව, පීඩාවට පත් කාන්තාවන්ට සමාජයේ නිසි තැන පිරිනැමුණේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස ගේ පැවිද්දත් සමඟ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් සමග යි.

ධර්ම දේශනාවට මා මාතෘකා කළේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහා යමක වග්ගයේ එන චූල සච්චක සූත්‍රයේ අන්තර්ගත වන බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කෘත්‍යය සැකෙවින් වදාළ දහම් පාඨයක්. සතළිස් පස් වසරක බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කෘත්‍යය එම පාඨය තුළ මැනවින් සාරාංශ ගත කොට තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට අනුන් හට අවබෝධ කරවනු සඳහා දහම් දේශනා කොට වදාළා. තමන් වහන්සේ ඉන්ද්‍රිය දමනය කොට අනුන් ගේ ඉන්ද්‍රිය දමනය සඳහා මඟ පෙන්වීමට දහම් දේශනා කොට වදාළා. තමන් වහන්සේ කෙලෙසුන් සංසිඳුවා, අනුන් ගේ කෙලෙසුන් සන්සිඳවනු සඳහා දහම් දෙසුවා. තමන් වහන්සේ සසරින් එතෙර වී අනුන් සසර සයුරින් එතෙර කරවීමට මඟ පෙන්වූ වා. භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳුවා ගෙන අනුන් ගේ කෙලෙස් ගිනි නිවනු සඳහා දහම් දෙසුවා. මේ බුදුරජාණන් වහන්සේ ගේ පන්සාළිස් වසරක බුද්ධ කෘත්‍යය සැකෙවින් දක්වා ඇති ආකාරය යි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව පරාර්ථ චර්යාවට යොමු වූ වා. පළමු ව තම ඒකායන අරමුණ වූ බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සාරාසංබෙ‍්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ස්ථිර අධිෂ්ඨානයෙන් යුතු ව කටයුතු කිරීම සුවිශේෂී යි. ‘වායමේතෙව පුරිසො යාව අත්ථස්ස නිප්පදා’ යනුවෙන් කියන පරිදි නිසි ප්‍රතිඵල ලැබෙන තුරු උත්සාහය අත් නොහළ යුතු යි. ඇස් ඉස් මස් ලේ නහර වියළී ගියත් බුදු වී මිස නොනැඟිටිමි යි යන චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතු ව බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී බුද්ධත්වය සාක්ෂාත් කළා. උන්වහන්සේට පැමිණි කරදර, බාධක අපමණ යි. අභියෝග අපමණ යි. ඒ ත් උන්වහන්සේ තම අරමුණ කරා ගමන් කළා. ඒ, ආදර්ශය අපට කියන්නේ ජීවිතයේ කවර අභියෝග පැමිණියත් අරමුණු ඉටු වන තුරු පසු නොබා කටයුතු කරන්නට යි.

ඉගෙන ගන්නා දරුවෙක් වුවත් මේ බුදු සිරිත කියවනවා නම් සිතට මොන කරදර ආවත් පසු නොබා ඉදිරියට යන්නට පෙළඹවීමක් ඇති වෙනවා. සමහර දරුවන්ට අම්මා, තාත්තා නෑ. ඉගෙන ගන්න මිල මුදල් නෑ. හොඳ පොත පත නෑ. එහෙමයි කියලා සියල්ල අත් හැර දමනවා නම්, අනාගතය ජය ගන්නේ කොහොම ද? දුක ජය ගත්තේ නැති නම් අනාගතයත් දුකක් තමයි. ඒ නිසා උත්සාහවත් වන්න ඕනෑ.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබ තුන් ලෝ වාසීන් සසරින් එතෙර කරවීම පිණිස ඇප කැප වුණා. ගම් නියම්ගම් සිසාරා ධර්ම චාරිකාවේ යෙදෙමින් තම ශ්‍රාවකයන් වහන්සේලා ද ධර්ම චාරිකාවෙහි යොදවමින් අන්‍යයන් ගේ යහපත හා අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වුණා.

දවසේ කාලය කොටස් පහකට බෙදා ගෙන නියමිත කාලසටහනකට අනුව ක්‍රියා කිරීමත් බුදුරදුන් ගේ සුවිශේෂී ගුණාංගයක්. පෙරබත් කාලය, පසුබත් කාලය, පෙරයම් කාලය, මැදියම් කාලය සහ පැසුළුයම් කාලය වශයෙන් දවසේ එක් එක් කොටස් බෙදා වෙන් කොට ගනිමින් එක් එක් පිරිස් වෙනුවෙන් ධර්ම දේශනා කිරීම සඳහා කාලය බෙදා දක්වා තිබුණා.

රාජ රාජ මහාමාත්‍යවරු, බමුණන්, සිටුවරු, ගෘහපතීන් මෙන්ම සුළු සේවකාදීන් ද බුදුරජාණන් වහන්සේ ගේ පිළිසරණ ලැබුවා. දිනපතා මහා කරුණාවෙන් ලෝකය බලා එම දිනයේ පිහිට විය යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඒ අය වෙත වැඩම කිරීම බුදුරජාණන් වහන්සේ ගේ ස්වභාවය යි. මිනිසුන් පමණක් නොව දිව්‍ය බ්‍රාහ්මණාදීන්ට, යක්ෂ සහ තිරිසන් සතුන්ට ද බුදුරදුන් කාරුණික වූ වා. මේ ආදර්ශය මොනතරම් වටිනවා ද?

බුදු රජාණන් වහන්සේ සරණ ගිය අප ඒ ආදර්ශය මොන තරම් දුරට සිතට ගෙන තිබෙනවා ද? මිනිසුන් වෙනුවෙන් අප, අපේ යුතුකම් කරනවා ද?

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක් පොහෝ දින බුදුරජාණන් වහන්සේ ස්වකීය ප්‍රථම විදේශ ධර්මදූත මෙහෙවර ලෙස මහියංගනයට වැඩම කොට වදාළේ ද, යක්ෂ ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර වූ ආරවුලක් සංසිඳුවා ලීම පිණිස යි. සුමන සමන් දෙවි රජු සත් රියන් උසැති මියුගුණු දාගැබ් වහන්සේ ඉදි කළේ බුදුරජාණන් වහන්සේ පිරිනැමූ කේශධාතුන් වහන්සේ නිධන් කිරීමෙනුයි.

බුදුරජාණන් වහන්සේ ගිලන් ව අසරණ වූවන් වෙත ගොස් උපස්ථාන කොට සිත් පහදවනු පිණිස ධර්ම දේශනා කොට වදාළා. ගිලනුන්ට උපස්ථාන කිරීමේ ආනිශංස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ තමන් වහන්සේ ද ගිලානෝපස්ථානයෙහි යෙදෙමින්. බුදුරදුන් යහපත් ලෙස පෙන්වා දුන් ගිලානෝපස්ථානයෙහි යෙදීම බුදුරජාණන් වහන්සේ ගේ අවවාද මැනවින් පිළිගැනීමක් වනවා.

තම ශ්‍රාවක සංඝයා වහන්සේ ගේ මනා වූ පැවැත්ම වෙනුවෙන් විනය නීති පැනවීම තුළින් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ද සංඝ සමාජයේ මනා පැවැත්ම යි. හික්මීම සඳහා අනුබල ලබා දීම යි. තම ශ්‍රාවකයන් ගේ දක්ෂතා අගය කරමින් අගසව් තනතුරු සහ එක් එක් හිමියන් ගේ දක්ෂතා සහ පුණ්‍ය මහිමය සලකමින් අග තනතුරු පිරිනැමීම, සුදුස්සන්ට සුදුසු තැන දීමයි. දක්ෂතා ඇති අය අගය කිරීමයි . බුදු මඟ යන පිරිස් ලෙස අප කළ යුතු මෙම උතුම් ගුණාංග අපේ දිවියට ගලපා ගැනීම යි.

‘තුම්හේහි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා’ යන බුදු වදනට අනුව බුදුවරයෝ අක්ඛාතාරයෝ ය. එනම් මඟ පෙන්වන්නෝ යි. නිසි මඟ හඳුනාගෙන ගමන් කිරීම ශ්‍රාවකයා ගේ කාර්යය යි. බුද්ධෝත්පාද කාලයක, මිනිසත් බවක් ලබා උපත ලද සැවොම ඉන් නිසි පල ලබන්නට නම්, සාමකාමී මාවතකට එළඹිය යුතු යි. බුදු සිරිතෙන් ලබා ගත හැකි ආදර්ශ තම ජීවිතයටත් උකහා ගැනීමට උත්සාහ කරමින් නිසි මඟට එළඹ තම දිවි මඟ සඵල කොට ගැනීමට මේ උතුම් පෝ දා අදිටන් කර ගනිමු.