[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පලාබත්ගල සඟ පරපුරෙහි මූලස්ථානයක් වූ කරන්ගොඩ පොත්ගුල් රාජ මහා විහාරය

පලාබත්ගල සඟ පරපුරෙහි මූලස්ථානයක් වූ කරන්ගොඩ පොත්ගුල් රාජ මහා විහාරය

පොළොන්නරු යුගයෙන් පසු පලාබත්ගල ධර්මකීර්ති සංඝරාජ මාහිමියන්ගේ පරපුරට අයත් විහාරස්ථානයක් වශයෙන් පොත්ගුල් විහාරය සම්භාවනාවට පත් විය. පොත්ගුල් විහාරය, පැල්මඩුල්ල සහ පලාබත්ගල විහාර ත්‍රිත්වය පලාබත්ගල සඟ පරපුරෙහි මූලස්ථාන වශයෙන් සැලකෙයි.


ශ්‍රීපාදස්ථානාධිපති ධර්මකීර්ති ශ්‍රී බෙංගමුවේ ධම්මදින්න නාහිමි

අනුරාධපුර යුගයේ ආරම්භ ව අනුක්‍රමයෙන් මහා විහාරස්ථානයක් වශයෙන් සංවර්ධනය වී පළාබත්ගල සංඝ පරපුරෙහි මූලස්ථානයක් වශයෙන් පැවති, මහනුවර අවධියේ දී ද සුවිශේෂී වැදගත් සිදුවීම් සමුදායකට හිමිකම් කියන්නා වූ විහාරස්ථානයක් ලෙස හැඳීන්විය හැකි පොත්ගුල් විහාරය රත්නපුරට නුදුරින් කරන්ගොඩ ග්‍රාමයේ පිහිටා තිබේ.

සතුරු උවදුරු හමුවේ පසු බැස ගිය වළගම්බා රජතුමා සපරගමුවේ සේනා සංවිධානය කිරීම ආරම්භ කළේ මෙම ගල්ලෙන් ආශ්‍රිත ව නැවතී සිටිමින් බවත්, සතුරන් පරදවා මෙහි සතිස් රියන් සැතපෙන පිළිම වහන්සේ, කුඩා වෙහෙර වහන්සේ සහිත ව විහාරස්ථානය තනවා තමාට උපකාර කළ කුප්පිකල තිස්ස තෙරුන්ට පූජා කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

මාතලේ අලුවිහාරයේ දී ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය සපරගමුවේ හා රෝහණයේ විහාරස්ථාන සඳහා බෙදා හැරීමට පිටපත් කරන ලද්දේ සහ ගබඩා කරන ලද්දේ පොත්ගුල් විහාරයේ සිට ය යනු තවත් මතයකි. පුස්කොළ පොත් පිටපත් කිරීමේ සංසිද්ධි සමඟ බැඳී තිබීම නිසා විහාරස්ථානයේ නම පටබැඳී ඇතැයි සැලකිය හැකි ය.

විහාර බිමෙහි කටාරම් කෙටූ ගල්ලෙන් පැරැණි සංඝාරාම වශයෙන් භාවිත කරන ලදැයි සැලකීමට පුළුවන. ලෙන් විහාරයේ ම ස්වභාවික කුඩා ජල උල්පතක් පිහිටා තිබේ. ගල් ගුහා අතර වළගම්බා රජු දවස තනවන ලද උමඟක් හමු වෙයි. ගල් ලෙන්වලට ආසන්නයේ දාගැබ තනවා බෝධීන් වහන්සේ රෝපණය කරවා ඇත. අලුත් විහාරයේ දොරටුවට ඉහළින් වූ කුහරයේ තිබී තඹ පොතක් හමු වූ බව කියැවේ.

පොළොන්නරු යුගයෙන් පසු පලාබත්ගල ධර්මකීර්ති සංඝරාජ මාහිමියන්ගේ පරපුරට අයත් විහාරස්ථානයක් වශයෙන් පොත්ගුල් විහාරය සම්භාවනාවට පත් විය. පොත්ගුල් විහාරය, පැල්මඩුල්ල සහ පලාබත්ගල විහාර ත්‍රිත්වය පලාබත්ගල සඟ පරපුරෙහි මූලස්ථාන වශයෙන් සැලකෙයි.

පලාබත්ගල දී ලියන ලද පොත් පිටපත් කරන ලද්දේ ද පොත්ගුල් විහාරයේ දී යැයි කියැවේ. පුස්කොළ පොත් ලිවීමට යොදා ගත් තල් පත්තිරු එකිනෙක ඇමිණීම පිණිස තල් පත සිදුරු කළ යුතු ය. සිදුරු කිරීමේ දී ඉවත් කෙරෙන කවාකාර කුඩා තල් පත් කොටස කරන් ලෙස හඳුන්වයි. පුස්කොළ සඳහා ද කරන් ලෙස ව්‍යවහාර වෙයි. විශාල පොත් ප්‍රමාණයක් පිටපත් වූ බැවින් විශාල කරන් ප්‍රමාණයක් ද ගමෙහි එකතු විය. කරන්ගොඩ යන ග්‍රාම නාමය ද මේ නිසා ව්‍යවහාර වූ බව පිළිගැනීමයි.

සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පසු සපරගමුවේ බලය තහවුරු කරගත් පෘතුගීසීන් විසින් පොත්ගුල් විහාරය විනාශ කරවා මෙහි බලකොටුවක් නිර්මාණය කරවීය. සීතාවක රාජසිංහ රජු විසින් ආඬින්ට පවරා දුන් ශ්‍රීපාදස්ථානයෙන් ආඬින් පළවා හරින ලද්දේ පොත්ගුල් විහාරයේ වැඩසිටි මහ මඩගම්මන සිල්වත් තැන විසිනි.

පලාබත්ගල ධර්ම ශාස්ත්‍රීය පරපුරට අයත් පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජමහා විහාරයට නවෝදය සැපයූ කපුගන්කන්දේ සිල්වතුන්ගේ ඤාතිවරයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන් ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමට පෙර සිට පොත්ගුල් විහාරයේ වැඩ හිඳීමින් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙහි නිරත වූ හ. වේහැල්ලේ හිමියන් මහනුවරට ගොස් වැලිවිට සරණංකර මාහිමියන් ගේ සිල්වත් සමාගමට එක් ව විචිත්‍ර ධර්මකථික හිමිනමක වශයෙන් සහ පුස්කොළ පොත් පිටපත් කිරීමෙහි සමර්ථයකු ලෙසින් ප්‍රකට වූයෙන් සංඝරාජ හිමියන් විසින් මල්වතු විහාරයේ සිට අද මහනුවර වැව පිහිටි තැන එදා පිහිටි ටිගොල්වෙල කෙත් යාය මැදින් රජ මැදුරට කැඳවා ගෙන ගොස් රජුට හඳුන්වා දුනි.

වේහැල්ලේ හිමියන් මිරිවැඩි සඟලක් පැළඳ රජ මැදුරට පැමිණීම පිළිබඳ රජු ගේ අසතුට පළ වූ අවස්ථාවෙහි රුහුණේ වේහැල්ලේ සිට දුර බැහැර ගෙවා පැමිණීමේ දී පාදයේ ආබාධ හටගෙන ඇති නිසා ශිෂ්‍යයා මිරිවැඩි සඟල පැළඳ සිටින බව සඟරජ හිමියන් දැන්වී ය. වේහැල්ලේ හිමියන්ගේ දේහ ලක්ෂණ හා උගත්කම් කෙරෙහි පැහැදුණු රජතුමා රජ මැදුරේ ධර්ම දේශනා සඳහා ඇරයුම් කළේ ය. පහතරට ජන ප්‍රධානීන් සමඟ වේහැල්ලේ නාහිමියන් පැවැත්වූ සම්බන්ධකම් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කිරීමේ දී එම ප්‍රධානීන් ගේ පක්ෂපාතීත්වය රජු වෙත පවත්වා ගැනීමට උපයෝගී කරගත් තොරතුරු හමු වෙයි. උපසම්පදාවෙන් පසු යළි ගම් ප්‍රදේශයට වැඩමවීමේ දී කුට්ටාපිටිය සන්නස සහිත ව ශ්‍රීපාදස්ථානය, පැල්මඩුල්ල ඇතුළු විහාරස්ථාන ද පහතරට නායක පදවිය ද පිරිනමන ලදි. වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් වැඩි කලක් වැඩසිටි ස්ථානය ද පොත්ගුල් විහාරයයි.

වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් පොත්ගුල් විහාරයේ දී අපවත් වූ පසු පසු තත් ශිෂ්‍යවර කඹුරුපිටියේ සඟිධර ගුණරතන නාහිමියන් ශ්‍රීපාදස්ථානය, පැල්මඩුල්ල සහිත ව පහතරට නායක පදවියටත්, පොත්ගුල් විහාරයේ ආධිපත්‍යයටත් පත් වූ හ. සූත්‍ර පිටකයේ නිකාය දෙකක් ද, අභිධර්ම පිටකයේ ධම්මසංගණීප්පකරණය හා අභිධර්මාර්ථ සංග්‍රහයත්, විනය පිටකයේ පාරාජිකා පාලිය හා ප්‍රාතිමෝක්ෂය වාචෝද්ගත කළ බැවින් සඟිධර යන උපාධිය ලද ගුණරතන නාහිමියෝ දහ අට රියන් සැතපෙන පිළිම වහන්සේ සහිත පැරැණි ලෙන් විහාරය ඇතුළු පොත්ගුල් විහාරයේ නිම නොවූ විහාර කර්මාන්ත නිම වූ හ.

කඹුරුපිටියේ සඟිධර ගුණරතන නාහිමියන් මහනුවර වැඩසිටි බැවින් තත් ශිෂ්‍ය කුඩා කඹුරුපිටියේ හිමියන් පැල්මඩුල්ලේ ද, මාලිම්බඩ ධම්මාධර හිමියන් පොත්ගුල් විහාරයේ ද, වැඩ සිටි අතර ගුණරතන නාහිමියන්ගෙන් පසු මාලිම්බඩ ධම්මාධර හිමියන් පොත්ගුල් විහාරයේ ආධිපත්‍යයට පත් වූ හ. අංගම්මන විහාරාධිපති ව වැඩ සිටි පනාවැන්නේ හිමියන් විසින් තත් විහාරය සහ ඊට අයත් සියලු වස්තූන් ද වීරහින්නේ අප්පු විසින් තම වස්තු සම්භාරය ද මාලිම්බඩ ධම්මාධාර හිමියන් වෙත පිරිනැමූ සන්නස් හමු වෙයි. මාලිම්බඩ ධම්මාධාර හිමියන්ගේ ශිෂ්‍ය පොත්ගුල් වෙහෙරපති මිල්ලවිටියේ සීලවංශ හිමියන් වෙත ශ්‍රී වික්‍රම රාජසිංහ දවස පිළිමතලාවේ මහාධිකාරම් තුමා විසින් අක්කර පන්දහස ඉක්ම වූ ගලතුරේගම සහිත ව සුවිශාල භූමි ප්‍රදේශයක් පූජා කරන ලදි. කරන්ගොඩ සංඝරක්ඛිත මා හිමි, කරන්ගොඩ රතනජෝති මා හිමි, කරන්ගොඩ රතනපාල මා හිමි සහ කරන්ගොඩ ජිනරතන නාහිමිවරුන් විහාරාධිපති පදවිය හොබවා ඇත.

ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ගේ මෙහෙයවීමෙන් පොත්ගුල් විහාරයේ ශ්‍රී රතනපාල ධර්මායතන මූලික පිරුවන ආරම්භ කිරීම සුවිශේෂී සිද්ධියකි.

ලක්දිව සිසාරා පැතිරුණු ශාස්ත්‍රීය ප්‍රබෝධයන්හි දී යුගයෙන් යුගයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් පුද බිමක් ලෙස කරන්ගොඩ පොත්ගුල් විහාරය සම්භාවනාවට පත් වෙයි.

නිකිණි අමාවක

  සැප්තැම්බර් 06 සඳුදා පූ.භා 07.38 අමාවක ලබා 07 අඟහරුවාදා පූ.භා 06.21 ගෙවේ සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]