[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම විහාරස්ථානය

හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම විහාරස්ථානය

හෝමාගම මහකටුවාන ප්‍රදේශයේ (හෝමාගම රෝහල හන්දිය ඉදිරිපිට නියඳගල පාරෙහි) පිහිටි මෙම මනරම් විහාරස්ථානයේ ආරම්භය 1950 දශකයේ මුල් කාල සීමාවෙහි ය. එවකට විදුලි බලයවත් නොමැති දුෂ්කර ගැමි පරිසරයක ඇරඹුණු මෙම විහාරස්ථානය හඳුන්වනු ලැබුයේ “කෑල පන්සල” නමිනි.

මෙම ස්ථානයෙහි රෝපණය කර තිබූ ඉපැරැණි බෝධිරාජයාණන් වහන්සේ අරභයා මුලින් ම වත් පිළිවෙත් පවත්වනු ලැබ ඇත්තේ එම ස්ථානයම තම වාසස්ථානය කරගත් ධාර්මික දිවිපෙවෙතක් ගෙවූ දෙනෙත් අඳ උපාසක මහතෙකි.

වර්ෂ 1953 දී මෙම පින්බිමට වැඩම කළ උතුරු තලංගම ධීරානන්ද හිමියෝ පොල්අතු සෙවිලි කළ කුඩා ධර්ම ශාලාවකින් ආරම්භ කළ මෙම විහාරස්ථානය දියුණුවට පත් කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. කෙසේ හෝ වසර ගණනාවක් ඇවෑමෙන් ප්‍රදේශවාසී වූ සැදැහැවතුන්ගේ ආධාර උපකාර ඇතිව ස්ථිර ධර්ම ශාලාවක් ද, කාමර දෙකකින් යුත් ආවාස ගෙයක් ද සාදා ගැනීමට හැකියාව ලැබුණි. බුදු මැදුර වෙනුවට දෙමහල් විහාර මන්දිරයක් නිර්මාණය කර ගැනීමට ද හැකියාව ලැබුණි. පසුකාලීන ව ධර්ම ශාලාවේ ඉඩකඩ අඩු බැවින් තෙමහල් ධර්ම ශාලාවක් ඉදිකර ගැනීමට ද 1974 වර්ෂයේ ශ්‍රී ශාසනවර්ධන දහම් පාසල ආරම්භ කර දරු දැරියන් 300 ක් වැනි පිරිසකට දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට ඉහළ මහල් දෙක වෙන්කරදීමට හැකිවිය.

එසේ දහසක් බාධක මධ්‍යයේ මෙම විහාරස්ථානය දියුණුවට ආරම්භය සැලසූ උතුරු තලංගම ධීරානන්ද හිමියන් වසර අනූ දෙකක් ආයු වළඳා 2013 ජුනි 24 වන දින අපවත් වී වදාළ සේක.

උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව දැනට විහාරාධිපති ධූරය දරමින් වර්තමානයේ වැඩ සිටිනුයේ ශාස්ත්‍රපති මීගහපැලැස්සේ විජිතධම්ම හිමියන් ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක බෞද්ධ කටයුතු සමායෝජක ධූරය හෙබවූ නාහිමියන් සතරපේරුවේ ම දායක දායිකාවන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් ප්‍රදේශවාසීන්ගේ සියලු ආගමික අවශ්‍යතාවයන් මෙත් කරුණා පෙරදැරිව සපුරාලමිනි. ශ්‍රී ශාසනවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වහන්සේ ලෙස උන්වහන්සේ සිසු දරුවන් වෙනුවෙන් අමිල මෙහෙවරක් කරති.

විහාරස්ථානය සංවර්ධනය කරා ගෙන යමින් පවතී. ප්‍රදේශයේ විහාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේලා වැඩම කරවා සිදුකරන මහා සාංඝික දානයන් ද දර්ශනීය පෙරහර මධ්‍යයේ වැඩමවන කංචුක පූජාවන් ද දුර පළාත්හි නො දියුණු විහාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේලා සහ අඩු ආදායම් ලාභී ජනතාව තම විහාරස්ථානයට කැඳවා කරනු ලැබූ ත්‍රිපිටක පූජා, බුද්ධ ප්‍රතිමා වහන්සේ ලබාදීම් සිල් රෙදි බෙදාදීම්, දුප්පත් දරු දැරියනට පාසල් උපකරණ ලබාදීමේ වසරක් පාසා පවත්වන ලේ දන්දීමේ වැනි පුණ්‍ය කර්ම ද සතර පේරුවේ සැදැහැවතුන් ඒකරාශී කර ඉතා අලංකාර ලෙස පවත්වනු ලබයි.

අප ගෞරවණීය විහාරාධිපති හිමිපාණන්ගේ ‘නව අදිටන’ වී ඇත්තේ දෙමහල් තලයක සතර වරම් දේව ප්‍රතිමා සහිත ධාතු මන්දිරය ඇතුළත් අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ නිමවීම යි. එම අසිරිමත් කුසලමය පුණ්‍ය කටයුත්ත සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි, විහාරාධිපති හිමියන් මූලික ප්‍රදේශවාසී සැදැහැවතුනට මෙත් සිතින් අපි සියලු දෙන ආශීර්වාද කරමු.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]