Print this Article


බුදුරජාණන් වහන්සේ පැන් පහසු වූ කැලණි ගඟබඩ කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය

බුදුරජාණන් වහන්සේ පැන් පහසු වූ කැලණි ගඟබඩ කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය


බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් කැලණිය රාජමහා විහාර සංකීර්ණයට ම අයත්වන කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය කැලණි ගඟෙන් එගොඩ පිහිටි හෙයින් සැදැහැවතුන් අතර එගොඩ කැලණිය ලෙසින් ප්‍රසිද්ධියට පත් වී ඇත.

ගඟෙන් මෙගොඩ පිහිටි කැලණි රජමහා විහාරය සහ ගඟෙන් එගොඩ පිහිටි කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය යන විහාරද්වය කල්‍යාණි උභය රාජමහා විහාරය ලෙස හඳුන්වනු ලබයි.

බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ බක් මස අව පොහෝ දින උත්තර ලංකාවේ නාගදීපයේ චූලෝදර මහෝදර නා රජවරුන් අතර මිණි පළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය අරගලය සංසිඳුවනු වස් දෙවන වර ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි පැමිණ සිටි මණිඅක්ඛික නා රජතුමා විසින් සිදු කළ ආරාධනය අනුව බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ කැලණියට වැඩම කළ සේක.

කැලණි සෑ රදුන් වහන්සේ පිහිටි තැන මණිඅක්ඛික නා රජතුමා කරවූ රුවන් මණ්ඩපයක බුදුපාමොක් මහ සඟන වඩා හිඳුවන ලදින් එහි වූ මිණිපළඟක් මත වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ලද බව මහාවංසයේ සඳහන් වෙයි.

ධර්ම දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් පැන් සනහා ගත් පසු එම අවස්ථාවේ පරිහරණය කළ නානකඩය හෙවත් ‘ජලසාටිකාව‘ නිධන් කොට මණිඅක්ඛික නා රජතුමා කිත්සිරිමෙවන් කැලණිය රජමහා විහාරයේ දාගැබ තැන වී යැයි ජනප්‍රවාදයේ කියැවෙයි. බුදුරජාණන් වහන්සේ පැන් පහසු වී තුන් සිවුරු පෙරවා වැඩ සිටි ස්ථානයේ කරවූ සිවුරු දාගැබ පිළිබඳ කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් රචනා කළ සැළලිහිණි සංදේශයේ සඳහන් වේ.

පාලි භාෂාවේ කල්‍යාණි යන වචනය හා අනුරූප වන කැලණි යන පදය ලස්සන, ප්‍රියමනාප යන අරුත් සපයන හෙයින් ගංගාවේ චමත්කාරය නිසා කැලණි යන නම ලද බවට මතයක් පවතී.

එසේම නාග ගෝත්‍රික ජනපදයක් වූ කැලණියේ නාග ගෝත්‍රිකයන් පිළිබඳ ගොඩනැගුණු විවිධ ජනප්‍රවාදයන් රාශියකි. ලක් ඉතිහාසයේ විවිධ වකවානුවල කැලණි පුරවරය හා සබැඳෙන සියලු සංසිද්ධීන් කිත්සිරිමෙවන් කැලණිය රජාමහා විහාරස්ථානය සමඟ ද සබැඳුනේ යැයි අනුමාන කළ හැකි ය.

අනුරාධපුරයේ රජකම් කළ කිත්සිරිමෙවන් රජතුමා නවකම් කරවා පිළිසකර කරවූ හෙයින් කිත්සිරිමෙවන් විහාරය ලෙසින් නම් ලදැයි එක් මතයකි. පොළොන්නරුවේ දෙවන ගජබාහු රජ දවස දක්ඛිණ දේශය පාලනය කළ මානාභරණ කුමරුන්ගේ සහෝදර කීර්ති ශ්‍රී මේඝ මාහිමිපාණන් විසින් පිළිසකර කරවූ විහාරය යන අරුතින් එනම් වූයේ යැයි තවත් මතයකි.

විහාරස්ථානයේ නාමය කිත්සිරිමෙවන් විහාරය බව සඳහන් වන ශ්‍රී බුද්ධ වර්ෂ 1887දී හෙවත් ක්‍රිස්තුවර්ෂ 1344දී පිහිට වූ පුවරු ලිපියක් විහාර බිමෙහි ශේෂ වී පවතී. තත්කාලීන සංඝරාජ පදවිය හෙබ වූ ශ්‍රීමත් ගඟතලා කරඹවලානේ ශ්‍රීවන්ත විල්ගම්මුල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත කිත්සිරිමෙවන් රජ දවස සිට ශාසනික හා ඤාති පරම්පරා දහයක් පුරා උරුමය හිමි වී පැවති කිත්සිරිමෙවන් විහාරයේ පිළිමගේ අසල උළුවාසල් තුන, දාගැබ, බෝධි කොටු දෙක, පවුරු පදනම්, පසු දොරටුවේ තණගෙවල් පහ ඇතුළු ජරාවාස වී පැවති ඉදිකිරීම් තත්කාලීන ප්‍රභූ පෙළපතක් වූ නිශ්ශංක අලගක්කෝනාර අමාත්‍යවරයාගේ පරපුරේ දසවැන්නා වූ අලගක්කෝනාර අමාත්‍යවරයා ලවා පිළිසකර කරවූ බව එහි සඳහන් වෙයි.


කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය
කොල්ලුපිටියේ
මහින්ද සංඝරක්ඛිත නාහිමි

මහා බෝධීන් වහන්සේ වටා කොත් දහතුනක් පළඳවන ලද බෝධි ප්‍රාකාරය පිළිසකර කරවා එහි මතු පැවැත්ම පිණිස රජ අණින් පාණබුන්නෙහි පොළොන්නරුවෙන් (කොලොන්නාව විය හැකි බව මතයයි) කුඹුරු සහ ඒ ආශ්‍රිත ගෙවතු, වන ලැහැබ, තුරු ලතා සහිතව දෙයාල පස් අමුණක් ඉඩ කඩම් පිරිනමා තිබේ.

පහළොස් දෙනකුගෙන් යුත් සේවක පිරිසක් හා රාත්‍රියේ ධර්ම දේශනා පවත්වා රාජ ප්‍රසාදයට පත් කොත්තන්දෙවා, වේදන්, රකා, බොදා යන නම් ලද අය ඇතුළු පහළොස් දෙනෙක් වශයෙන් තිස් දෙනකු විහාරස්ථානයේ කටයුතු සඳහා පත් කොට ඇත. මෙම සියලු පූජා හිරු සඳු පවතිනා තාක් කල් පැවතිය යුතු බවට නියම කොට ඒ පින් අනාගතයේ ගතාරා පිරුවන්වැසි ඤාති ශිෂ්‍ය හිමිවරුන්, ග්‍රාමවාසී වනවාසී යන උභයාවාසයන්හි මහා සංඝයා වහන්සේලා රාජ, යුවරාජ, අමාත්‍යාදීන් ඇතුළු සියලු දෙනා අනුමෝදන් විය යුතු බව පුවරු ලිපියෙහි සඳහන් වෙයි.

පෘතුගීසි ආක්‍රමණ හමුවේ මුළුමනින් ම විනාශයට පත් කැලණි විහාරයට පුනර්ජීවනය සලසනු ලබන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විසිනි. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ සහ වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ දෙහිගස්පේ අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේ කැලණි විහාරයේ අභිවෘද්ධියට මූලිකත්වය ගෙන කටයුතු කළහ.

කැලණි රජමහා විහාරයට පුනර්ජීවය සැලසූ වකවානුවේ දී ම කිත්සිරිමෙවන් කැලණිය විහාරස්ථානය ද පුනර්ජීවනය ලැබූ බව අනුමාන කළ හැකිය. කැලණි චෛත්‍යය නටබුන් ව පැවැති අවස්ථාවේ දී රාජකීය භාණ්ඩාගාරයෙන් අවශ්‍ය සම්පත් රැගෙන ගඩොල් ලක්ෂ පහ හමාරක් යොදා ගනිමින් සතළිස් රියන් කැලණි මහ සෑ රදුන් වහන්සේ ඇතුළු විහාරාංග පිළිසකර කළ දෙහිගස්පේ අත්ථදස්සි මාහිමියන්ගේ ශිෂ්‍ය වූ මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු රජතුමා විහාරයේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර වෙත ඉතිරි කටයුතු පිණිස අවශ්‍ය සම්පත් සහ මානියංගමින් වී දොළොස් අමුණක් වර්ෂ 1780දී තඹ සන්නසක් මඟින් පිරිනමා ඇත.

මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමියන්ට පසු පිළිවෙළින් මාපිටිගම ධම්මරක්ඛිත නාහිමි, මාපිටිගම සංඝරක්ඛිත නාහිමි, දොම්පේ බුද්ධරක්ඛිත නාහිමි, මාපිටිගම ධම්මරක්ඛිත නාහිමි, මාපිටිගම සංඝරක්ඛිත නාහිමි, මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමි, තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමි වරුන්ගෙන් පසු වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය, අග්ගමහා පණ්ඩිත කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති පදවිය හොබවති.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් බිමක පිහිටි සේ ම සම්බුද්ධ පාරිභෝගික ජලසාටිකා ධාතූන් වහන්සේ නමක් නිධන් කොට දාගැබක් තනවා ඇති එකම ස්ථානය වශයෙන් කිත්සිරිමෙවන් කැලණිය රජමහා විහාරය සම්භාවනාවට පත් වෙයි.