Print this Article


සිංහල බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය මිහින්තලා පුදබිමයි

සිංහල බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය මිහින්තලා පුදබිමයි

වර්තමාන මිහින්තලය සහ මිස්‌සක පව්ව යන්නට ඉපැරණි හැඳීන්වීම වන්නේ චේතියගිරි හෙවත් සෑගිරි යනුවෙනි. එහි සරල ව්‍යවහාරික නිරුක්‌තිය වන්නේ ස්‌තූප කන්ද යනුවෙනි. මේ අනුව ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්‌තූප විශාල සංඛ්‍යාවක්‌ මෙහි පිහිටා තිබූ බව පෙනේ. මහාවංශයට අනුව මෙය මිශ්‍රක පව්ව ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනේ.

(මහාවංශ පරිච්ඡේදය 13 ගාථාව 20)

වංශ කතාවන්හි පැනෙන ලෙස අනුරාධපුර නගරයෙන් පිටත වූ මිහින්තලාව ආගමික මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය වූයේ දෙවන පෑතිස් රජතුමා අතින්ම ය. මිහිඳු හිමියෝ ස්වකීය ජීවිතාවසානය තෙක්ම දෙවන පෑතිස් රජතුමා සමඟ ඔහුගේ අනුයාත රජවරුන් විසින් ප්‍රමුඛත්වය සපයනු ලැබූ නිබඳ පැවැති ආගමික ක්‍රියාකාරිත්වයක් සහිත මිහින්තලාවෙහි ම විසූ සේක.

මිහිඳු හිමි ඇතුළු සංඝයා වහන්සේ මුල්ම වස්‌ කාලය ගත කරන්නේ මිහින්තලයේදී ය. වංශකතා අනුව මිහිඳු හිමියන් සමඟ පැමිණි භණ්‌ඩුක උපාසක තෙමේ පැවිදි වී උපසම්පදාව ද ලබා රහත් බවට ද පත් වන්නේ මිහින්තලාවේ දී ය. ශී‍්‍ර ලංකාවේ දී ගිහියකු පැවිදි බවට පත් වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක්‌ ද මිහින්තලයේදී රෝපණය කර ඇත. මහා අරිට්‌ඨ අමාත්‍යවරයා ඇතුළු පනස්‌ දෙදෙනකු සසුන්ගත වන්නේ ද මෙම පුණ්‍ය භූමියේ දී ය.

දේවානම්පියතිස්‌ස රජතුමා සංඝයා වහන්සේ උදෙසා ලෙන් 68 ක්‌ පූජා කරන්නේ ද මිහින්තලේදී ය. ථුපාරාමයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරන්නේ ද මිහින්තලේ ය. එතැන් සිට මෙම පුදබිම සෑගිරිය ලෙස හැඳීන්වූ බව වංශකතා සඳහන් කර ඇත. වර්ෂ 48 ක්‌ ලක්‌බිම වැඩ විසූ මිහිඳු හිමියන් වහන්සේ අවසන් වස්‌ කාලය ද ගත කර පිරිනිවන් පාන්නේ ද මිහින්තලේදී ය.

මිහින්තලාව කඳු ගැට සතරකින් සැදුම් ලද්දකි. ඒවා නම් මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා රාජගිරි ලෙන කන්දයි. එක් කඳු ගැටයක් අඩි දහසක් පමණ උස්වන අතර එම කඳු ගැට හතරම එක්වූ කල අක්කර හාරසිය පනහක් පමණ වූ ප්‍රදේශයක් වසා පැතිර යයි. මෙම භූමිය පුරා කලින් කල ඉදිවූ ස්මාරකයන් රාශියක් වේ.ඒ අතර කණ්ඨක චේතිය මිහින්තලා ආරාම සංකීර්ණයේ පිහිටන අතිශය වැදගත් ස්මාරකයකි.

කණ්‌ඨක චේතිය

කලාත්මක හා නිර්මාණාත්මක අතින් සුවිශේෂී ස්‌ථානයකි. මහාචාර්ය පරණවිතානසූරීන් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක්‌ සිදුකර තිබේ. මහා ගස්වැල්වලින් පිරීගත් මිහින්තලා කඳුගැටයේ කොටසක් වශයෙන් සැලකූ පස්කන්දක් පසුව දාගැබක් වශයෙන් හඳුනාගෙන පාදාගෙන ඇත. මෙම දාගැබේ නාමය කුමක්විය හැකිදැයි ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට පෙර බොහෝ දෙනා එය කිරිබඩපවු සෑය ලෙස හඳුන්වා ඇත. එහෙත් ස්තූපයේ නියම නාමය හඳුනා ගැනීමට ඉවහල් වූ ලිපියක් ස්තූපයේ බටහිර වාහල්කඩට නුදුරුව ගලක කොටා තිබී සොයා ගැනීමට හැකිවිය.

පළමුවන සියවසේ මහාදාඨික මහානාග රජු විසින් 'කටක චෙත' හෙවත් කණ්ඨක චේතිය උදෙසා ආදායම් මාර්ග දෙකක් පවරා දෙමින් එම ලිපිය ලියා තිබුණි.

වංශකතා අනුව මහා අරිට්‌ඨ හිමි ඇතුළු හිමිවරුන්ට හැට අටක්‌ ලෙන් සූදානම් කරන්නේ මෙම චේතිය අවටය. මෙම ලෙන් භාවිතයට ගෙන ඇත්තේ මෙම චේතිය ඉදිකිරීමට ද පූර්වයේ ය.

මෙම චෛත්‍ය වටා ශෛලමය කංචුකයක්‌ තැනවූ බවට ද මහාවංශය කරුණු දක්‌වා ඇත. පේසාවන් 03 ක හා වාහල්කඩ එකක අවශේෂ සොයාගෙන ඇත. මෙය මෙරට ඉදිවූ පුරාණතම ස්‌තූපයකි. සෙනරත් පරණවිතානයන්ගේ මතය වන්නේ එම ස්තූපය මෙනමින් නම් කර ඇත්තේ සිදුහත් කුමරුගේ කණ්ථක අශ්වයා සිහි කිරීමට බව ය.

එහෙත් මුල් බ්‍රාහ්මී ශිලා ලිපි හා වංසකතා ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රවල නිෂ්පාදන බෙදාහැරීම් මධ්‍යස්ථාන හැඳින්වීමට පුරාණයේ දී කටක, කඩ, කඩක, කණ්ඩ, කණ්ඨ වැනි පද භාවිත කර තිබේ. ඒ පිළිබඳ විග්‍රහයක යෙදෙන සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත්තේ මහාවංසයේ පණ්ඩුකාභයගේ සංග්‍රාම ආශි‍්‍රතව, ගිරිකණ්ඩ, වට්ඨගාමිණී රජුගේ ගමන් මාර්ග ආශි‍්‍රතව සිලාසොබ්බකටක, දඹුල්ල හා බුදුගේහින්න ආශි‍්‍රත බ්‍රාහ්මී ලිපිවල සඳහන් උපරිකඩහා මතුකඩ යන වචනවල එන කඩ, කටක, කණ්ඨ යන වචනවලින් සීමාව, ප්‍රවිෂ්ටය, සුළු වෙළඳපොළ අර්ථවත් වන බවය.

මිහින්තලය ද පිහිටා ඇත්තේ අනුරාධපුර හා සේරුවිල දක්වා දිවෙන ප්‍රධාන ගමන් මාර්ගයට ඉතා සමීපව ය. එම මාර්ගය පුරාණයේ දී ලෝහ සම්පත් අනුරාධපුරයට රැගෙන ඒම සඳහා භාවිතයට ගත් මාර්ගය බවට මතයක් වේ. ඒ අනුව අනුරාධපුර පැරණි නගරයට කි. මී 12 පමණ දුරින් පිහිටන මිහින්තලය පුරාණයේ දී බෞද්ධාගම මෙරටට පැමිණීමට ප්‍රථම ප්‍රධාන මාර්ගය ආසන්නයේ භාණ්ඩ හුවමාරු කරන වෙළෙඳ පොලක් හෝ භාණ්ඩ රැස්කරන ස්ථානයක් වීමට වැඩි ඉඩකඩ පවතින බැවින් මෙම ස්තූපය ඉදිකිරීමේ දී එම තත්ත්වය ද පදනම් කර ගනිමින් කටක හෝ කණ්ඩ උපයෝගී කර ගනිමින් කණ්ඨක චේතිය යන නම භාවිත කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.

කණ්ඨක චේතිය වර්තමානයේ දක්නට හැකි ලෙස කැණීම් කර මතු කරගනු ලැබූවේ 1935 වර්ෂයේ දි සෙනරත් පරණවිතානයන් විසිනි.

අටසැටලෙන්

මෙම ලෙන් පද්ධතිය පිහටා ඇත්තේ කණ්ඨක චේතිය වටා වූ කඳු බෑවුමේ ය. මිහිඳු මා හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා උදෙසා දේවානම් පියතිස්ස මහ රජු විසින් පිළියෙළ කරන ලද ලෙන් හැට අටක් මෙහිවේ. මෙම ලෙන් බොහෝමයක කටාරම් කොටා බ්‍රාහ්මී අක්ෂරයෙන් ලෙන් ලිපි කොටා ඇත.

ආරාධනාගල

මෙම ස්ථානය සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි. දෙවන පෑතිස් රජුට මිහිඳු මා හිමියන් තිස්ස යැයි අමතන්නේ මෙම පර්වත මුදුනේ සිට බවට විශ්වාසයක් පවතී. එසේම මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිස සෘද්ධියෙන් ලක්දිවට ගොඩබැස පළමුවෙන්ම පාද තබනුයේ මෙම ස්ථානයේ යැයි විශ්වාසයක් පවතී.

උන්වහන්සේ රජුට තිස්ස යැයි අමතනවිට රජු සිටිය ස්ථානය වර්තමානයේ සලකුණු කර තිබේ. මෙම ආරාධනා ගල සම්බන්ධයෙන් පවතින තවත් විශ්වාසයක් වන්නේ මිහිඳු හිමියන් පැවැත්වූ පළමු ධර්ම දේශනාවට සවන්දීම සඳහා සුමන සාමණේරයන් විසින් දෙවියන්ට ආරාධනා කරන ලද ස්ථානය බවයි.

මිහිඳු ගුහාව

මිහිදු මා හිමියන් ප්‍රමුඛ භික්ෂූන් මිහින්තලයේ අට සැට ලෙන්හි වාසය කළ බවට බොහෝ සාධක ශේෂවී පවතී.ඉන් මිහිඳු මා හිමියන් භාවනායෝගී ව හා විවේක සුවයෙන් වාසය කරන ල්දදේ මිහිඳු ගුහාව ලෙස වර්තමානයේ නම් කර තිබෙන ලෙනේ බවට ජනප්‍රවාදයේ පවතී. ශිලා චේතිය අසලින් පහළට බැස්ස විට හමුවන්නේ මෙම ලෙනයි. ලෙන ඇතුළතට ගිය පසු ඉදිරියෙන් හාත්පස දිස්වන්නේ චමත්කාර ජනක පරිසරයකි. එම සුන්දරත්වය භාවනාවට පමණක් නොව විවේකී සුවයෙන් වැඩ සිටීමට මහඟු චිත්ත නිදහසක් ගෙන එන්නට ඇත. එසේම මෙම ලෙන ඇතුළත පිහිටි ගල මතම මනාව කොටන ලද ආසනයක් වේ. එය භාවනායෝගී ව සිටීමට හා සැතපීමට භාවිත කරන්නට ඇති බව විශ්වාස කළ හැකි වේ.

දාන ශාලාව

මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටි දහස් සංඛ්‍යාත සංඝයා උදෙසා දානය පිරිනමනු වස් ඉදිකරන ලද දාන ශාලව මිහින්තලේ ආරාම සංකීර්ණයේ දැකිය හැකි තවත් වැදගත් ස්මාරකයකි. මීටර් 33ක් හා මීටර් 22ක් පමණ දිග පළලකින් යුත් එම දාන ශාලාව චතුස්ශාලාවක ලක්ෂණ පෙන්නුම් කරන අතර එහි මධ්‍ය කොටස මැද මිදුලක් ලෙස ඉදි කර තිබේ.

ගල් ටැම් 128 ක් පේළි අටකට සිටුවා ඒ මත වහල ඉදි කර ඇති බව උපකල්පනය කළ හැකි ය. මෙම දාන ශාලාවේ පොළොවට යොදා ඇත්තේ ගල් පතුරු ය. මෙහි දකුණු කෙළවර මුලුතැන්ගෙය සඳහා භාවිත කර ඇත. බටහිර දෙසට ඇත්තේ ගබඩා කාමර බවට අනුමාන කෙරේ.

දාන ශාලාවේ නැඟෙනහිර දෙසින් මීටර් 12 කට වඩා දිගැති ශිලාමය බත් ඔරුව දැකගත හැකි ය. ඒ ආසන්නයේ ම මීටර් 4 පමණ දිගැති කැඳ ඔරුව වශයෙන් සලකන කුඩා ගල් ඔරුව පිහිටා තිබේ. දාන ශාලාව පිළිබඳව බොහෝ තොරතුරු මිහිඳු රජුගේ පුවරු ලිපියෙන් හෙළි වේ. එහි දාන ශාලාවේ එදිනෙදා කටයුතු කරන ලද සේවකයන් පිළිබඳව තොරතුරුද ඇතුළත්කර ඇත.

එහි වූ සේවකයන් 200ක් අතරින් ආහාර පිසින්නන්, දර ගෙන එන්නන්, දරගෙන බත් පිසින සේවකයන්, අනුන්ගෙනා දරින් බත් පිසින සේවකයන් හා බත් ගේ ප්‍රධානියා ගැන ද තොරතුරු දැක්වේ.

එසේම දාන ශාලාවේ දකුණු දෙසින් දාන ශාලාවට ජලය රැගෙන ආ ශිලාමය නල මාර්ගය වන අතර අතර එය කණුූමත ඉදි කර තිබේ. බොහෝ දෙනකුගේ මතය වන්නේ එම ජල නළ මාර්ගය සිංහ පොකුණට සම්බන්ධ වන බව ය.

නාග පොකුණ

අම්බස්‌තලය දාගැබට බටහිර දෙසින් නාග පොකුණ පිහිටා ඇත.

පැරණි මූලාශ්‍රවල මෙය හඳුන්වා ඇත්තේ නාගසොන්ඩි පොකුණ ලෙස ය. පළමුවැනි අග්ගබෝධි රජු (කි.ව.575-608) සෑගිරියේ තිරදිය ඇති නාග සොන්ඩි නම් පොකුණ කළ බව චූලංවශයේ දැක්වේ. ස්‌වභාවික පර්වතයක නිර්මිත මෙම පොකුණ බැම්මකින් සහ පෙණ 5 ක්‌ සහිත විශාල නාග රුවක්‌ (ගල් මුහුණ මත අර්ධ උන්නතව) සහිත වූ මෙම පොකුණ මිහිඳු හිමියන් විසින් පරිහරණය කර ඇති බව සහ දෙවනපෑතිස්‌ රජු මෙම ස්‌ථානයේ සිට දිවා ආහාරය ද ලබාගෙන ඇති බවට මත වේ.

මිහිඳු හිමියන් ප්‍රධාන භික්ෂූන් තම වස්‌ කාලයේදී මෙම පොකුණ ප්‍රයෝජනයට ගන්නට ඇත. මෙය වර්තමානයේ දී මැද මලුව ලෙස හඳුන්වන පෙදෙසේ දක්‌නට ලැබේ. මෙම පොකුණ පරිමාණයෙන් මීටර 12ක් පමණ දිගකින් ද මීටර 5ක් පමණ පළලකින් ද යුක්ත වේ.

කළුදිය පොකුණ හා ආරාම සංකීර්ණය

ඇත්වෙහෙර කන්ද පාමුල පිහිටන කළුදිය පොකුණ ආරාම සංකීර්ණය තුළ ලෙන් ආරාම, ප්‍රධාන ඝරය, ස්තූපූයක් හා කළුදිය පොකුණ දැකගත හැකිය. හතරවැනි කාශ්‍යප රජු (කි.ව.898-914) චේතිය පබ්බත අසල ඉදිකොට ධම්මරුචි සංඝයාට පිරි නැමූ හදයණ්හ විහාරය මෙය විය හැකි බව එච්.සී.බෙල් මහතා විශ්වාස කරයි.

ඇත් වෙහෙර කන්දේ ඇති ශාකවල ඡායාව එම පොකුණට වැටීම නිසා පොකුණේ ජලය දිස් වන්නේ කළු පැහැයට බැවින් එම පොකුණ සඳහා කළුදිය පොකුණ යන නම ලැබී තිබේ. ගල් වැටි යොදා සකස් කර ඇති එම පොකුණ මිහින්තලේ දැකගත හැකි විශාලතම පොකුණ වේ. මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ එන පොරෝදිනි යනුවෙන් හැඳින්වෙන පොකුණ මෙය විය හැකි බවට ද විශ්වාසයක් පවතී. මෙම පොකුණ පිළිබඳව ජනශ්‍රැතියේ එන කවියක් ද වේ.

ගල් ගිගිරන් ගල් ගිගිරන් ගල් කැටියා
මල් ගිගිරන් මල් ගිගිරන් මල් කැටියා
කලු තිඹිරෙට පිටදීලා වැඩ සිටියා
කලුදිය පොකුණ බලන්ට දෙවියොත් වැඩියා

පොකුණ මධ්‍යයේ ඇත්වෙහෙර කන්ද හා ස්ම්බන්ධ වන ලෙස නිර්මාණය කර ඇති නිර්මාණය සඳහා නැඟෙනහිර දෙසින් මීටර් 8ක පමණ දිගින් යුතු ගල් පාලමක් තිබේ. පොකුණට උතුරු දෙසින් කුඩා ස්තූපයක් දැකගත හැකි ය. එය උස් භූමියක සකස් කළ මලුවක් මත ඉදි කර තිබේ. මීටර් දෙකක් පමණ උසකින් යුතු එම ස්තූපයේ මලුව මීටර් 14 -13 ප්‍රමාණයෙන් යුක්ත වේ.

ස්තූපයට ඉහළින් හඳුනා නොගත් ගොඩනැඟිල්ලක් දක්නට ඇති අතර එය 2008 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර සංරක්ෂණය කර ඇත. මාලක ක්‍රමයට භූමිය සකස් කරගනිමින් භූ දර්ශනය ගොඩනඟා ගැනීම කළුදිය පොකුණේ ඇති විශේෂත්වය වේ.

පොකුණේ බටහිර බැම්ම දෙසින් ඉතා මනරම් ලෙන් ආරාමයක් දැකගත හැකි අතර එය පොත්ගුල ලෙස වර්තමානයේ ව්‍යවහාර කරනු ලැබේ. කළුගලින් ම සකස් කළ උළුවහු හා ජනෙල් ද ලෙන් කුටියේ වහල ද පුරාණ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික ඥානය කදිමට ලොවට කියාපාන නිදසුනක් වැනි ය.

ගුහා කටාරමට පහළින් ඉදි කර ඇති එවැනි විශිෂ්ට ගණයේ ලෙන් විහාර ලංකාවේ දැකගත හැක්කේ ඉතා අල්පව ය. මීළඟට තනා ඇති මාලකය තුළ ස්ථාන ගත කර ඇත්තේ වනවාසී සම්ප්‍රදායේ ආරාමයක් වන පධානඝරයකි. මීටර් 15ඔ 10 ප්‍රමාණයේ වේදිකාව මීටර් 2 පමණ වන මීටර් 1.50ක් පමණ දිග පළලින් යුත් ගල් පාලමකින් සම්බන්ධ කර තිබේ.

රාජගිරි ලෙන කන්ද

මෙය කුඩා කඳුවැටියකි. මෙම කන්දෙහි භික්ෂූන් වැඩ විසූ ලෙන් කිහිපයක් දැකගත හැකි වේ. එසේම ඒවායේ කටාරමට පහළින් කොටන ලද පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි ද දක්නට ඇත.

සේල චෛත්‍යය

මෙම ස්තූපය සම්බන්ධයෙන් මත ගණනාවක් වේ. මෙම ස්තූපය ජන වහරේ අම්බස්ථල දාගැබ ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ලක්දිවට වැඩි තෙවැනි අවස්ථාවේ මිහින්තලයේ දී සමවත් සුවයෙන් වැඩසිටි ස්‌ථානයේ මෙම ස්‌ථූපය ඉදිකර ඇති බවට අදහසක් වේ.

මිහිඳු හිමි සහ දේවානම්පියතිස්‌ස රජු අතර ප්‍රථම සාකච්ඡාව සිදුවන්නේ ද මෙම ස්‌ථානයේ දී බව සඳහන් වේ. වටදාගෙයක්‌ තිබූ බවට ද අවශේෂයන් ඇත. ස්තූපය වටා ගල් කණු පේළි ද්විත්වයක සාධක වේ.

මිහිඳු සෑය

මහාථූප සලපතළ මලුව ඉදිරියේ පිහිටි ස්‌තූපයකි. මෙය මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කරමින් කරන ලද්දක්‌ බව ප්‍රකාශව ඇත

දෙවනපෑතිස් රජුගේ බාල සොයුරු උත්තිය රජු විසින් කරවන ලද මෙ ස්තූපය මෙරට පුරාණම ස්තූප අතරින් එකකි. මිහිදු හිමියන්ගේ පිරිනිවනින් පසු භෂ්මාවශේෂ තැන්පත් කර මිහින්තලාවේ මෙන්ම මෙරට නොයෙක් තැන්වල ස්තූප ගොඩනැඟූ බවට සාධක වේ.

රජගල ද එවන් එක් සථානයකි. මෙම ස්තූපය කැණීම් කිරීමෙන් මැටි කරඬුවක් හා බුදු පිළිමයක් හමුවී තිබේ. ඒ බව 1951 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන්වේ. එම මැටි කරඩුවේ තිබූ රන් කරඬුවක් රන් මලක් මත රන් සුරයක් තිබී ඇත. එසේම දාගැබේ ගරාවැටුණු පස් හා ගඩොල් අතර තිබී තවත් මැටි කරඬුවක් සොයා ගෙන ඇත. එහි තිබී අස්ථි හා අලු හමුවී ඇත.