Print this Article


නව තාක්ෂණයත් මුසුව යළි ගොඩනැඟෙන දීඝවාපී දාගැබ

නව තාක්ෂණයත් මුසු ව යළි ගොඩනැඟෙන දීඝවාපී දාගැබ

 

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 6ක් පමණ ගමන් කළවිට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් පිවිසිය හැකිය. නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය හා විශාලත්වයෙන් ලංකාවේ හතරවැනි තැන ගන්නා ස්තූපය ලෙස සැලකෙන්නේ දීඝවාපී දාගැබයි. ඉපැරැණි රෝහණ රාජධානියට අයත්ව පැවැති දීඝවාපිය දිග් වූ වැව, දීඝවාපිය, දිගා වැව ලෙස ජනප්‍රවාදයේ එයි. වංශකතා සාධක ප්‍රමුඛ ලේඛනගත මූලාශ්‍ර සොයා යාමේදී දිගා වැව, දීඝවාපී මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඬුලු, දිගාවෑ, දිගාවෑ මඩල, දිගමඩුල්ල යන නාමයන් හඳුනාගත හැකිවේ.

දීපවංශයට අනුව බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිව කැලණි පුරවරයට වැඩම කරන ලද අවස්ථාවේ කැලණිය, සමන්තකූටය හා දිවා ගුහාව යන ස්ථානයන් හි සමවැදී පසුව දිගාවැවට වැඩම කළ බව සඳහන්වේ. මහාවංශයේ ඒ පිළිබඳව සඳහන් වන්නේ “සර්වඥ තෙම එතන්හි ධර්මදේශනා කොට අහසට නැඟී වැඩ සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිතවූ සේක් ඒ පර්වත පාදයෙහි සැප සේ දිවා විහරණය කොට දිගාවැවට වැඩිසේක. ලෝකස්වාමි තෙම සංඝයා සමඟ වූ සේක. එහි චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සමවන්සේක.” සද්ධර්මාලංකාරයේ දැක්වෙන්නේ “සර්වඥයන් වහන්සේ භගවා ලෙන සිට.....රුහැණු ජනපදයට වැඩ දීඝනඛ චෛත්‍ය පිහිටවන්නා වූ ස්ථානයේ සපිරිවරින් සමාප්තියට සමවැද මොහොතක් වැඩහුන් සේක” යනුවෙනි.

විජය කුමාරයා සමඟ මෙරටට පැමිණි කුමාරවරුන් ගණනාවක් විය. ඔවුන් මෙරට නන්දෙස සිය නාමයන්ගෙන් ජනාවාස පිහිටුවාගෙන ඇත. අනුරාධ අනුරාධ ග්‍රාමය ද, උපතිස්ස උපතිස්ස ග්‍රාමය ද, උරුවේල උරුවේල ග්‍රාමය ද, විජිත, විජිත ග්‍රාමය ද, රෝහණ රෝහණ ග්‍රාමය ද පිහිටුවාගෙන ඇත. විජය රජුගෙන් පසුව රාජ්‍යත්වය පත් පණ්ඩුවාසදේව රජුගේ බිසව වූ භද්දකච්චායනා කුමරිය සමග ඇයගේ සොහොයුරන් අට දෙනෙකු ද මෙරටට පැමිණෙන ලද අතර, ඉන් දීඝායූ කුමාරයා විසින් දීඝායුගාම පිහිටුවා තිබේ. මෙම දීඝායුග්‍රාමය දීඝවාපිය බවට හඳුනාගෙන ඇත. මහාවංශයට අනුව කාවන්තිස්ස රජතුමා තම පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමාරයා කෘෂි කාර්මික සංවර්ධනය උදෙසා යවනු ලැබූයේ හා පිය රජුගේ මරණින් පසු සද්ධාතිස්ස කුමරායා තම මව වූ විහාරමහා දේවිය රැගෙන යන්නේත් මෙම දීඝවාපී ප්‍රදේශයට ම බව පෙනේ.

එසේම දුටුගැමුණු රජුගේ රාජත්වයේ දී සොයුරු සද්ධාතිස්ස කුමාරයා කෘෂිකාර්මික කටයුතු උදෙසා යවනු ලැබුවේ ද මෙම ප්‍රදේශයට ම වේ.

දීඝවාපී ස්තූපය කුමන රාජ සමයක ඉදිකර තිබෙන්නේ ද යන්න සොයා බැලීමේ දී මහාවංශයේ එන පුවතක් සැලකීම වටී. එහි සඳහන් වන්නේ සද්ධාතිස්ස රජු “දිගා වෑ වෙහෙරද සෑයක් සහිත කොට කරවීය. ඒ සෑය වසා එලන සත් රුවන් ඇමුණූ සැට්ටයක් කරවන ලදි” ලෙස ය. එසේම දඹදෙණිය යුගයේ විරචිත පූජාවලියේද මෙම සිදුවීම පිළිබඳ සඳහනක් එන අතර එහි සඳහන් වන්නේ සද්ධාතිස්ස රජු විසින් දිගනකාදි වෙහෙර කරවූ බවයි.

දීඝවාපි ස්තූපයේ බටහිර වාහල්කඩින් හමුවූ රනින් කරන ලද ධාතු කරඬුවක තිබී හමුවූ රන්පතක ලියා තිබූයේ “නක මහරජුගේ පුත්‍ර මළිතිස රජුගේ රන් දාගැබයි” යන්නයි. මළිතිස යනු කණිට්ටතිස්ස (ක්‍රි.ව.164-192) රජුය. කණිට්ටතිස්ස රජු මහා පරිමාණයෙන් ස්තූප ප්‍රතිසංස්කරණය උදෙසා කැපවී ඇති අතර පුරාණ රෝහණ දේශයටම අයත්ව පිහිටා ඇති වර්තමාන නැඟෙනහිර පළාතේ පිහිටි විශාලත්වයෙන් දීඝවාපි ස්තූපයට පමණක් දෙවැනි දාගැබවන නීලගිරි ස්තූපය ද මෙම රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බවට සාධක වේ.

පොළොන්නරු රාජ්‍ය සමයේ මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේදී (ක්‍රි.ව.1153-1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවැති බව මහාවංශයේ සඳහන් වේ. දීඝවාපියෙහි ඇතිවූ කැරලි මර්ධනයට “එකල්හි මහ බලැති සියලු ඇමැතියෝ ද ප්‍රධානීහු ද දිගා වෑ මඩුලු රට ගන්නට නික්මුණේ......”ලෙස එහි සඳහන්ව ඇත. මෙකල දිගාමඩුල්ල ප්‍රබල රජ්‍යයක්ව පැවැතීමෙන් පැහැදිලි වන්නේ දීඝවාපි විහාරයද දියුණු මට්ටමක පවතින්නට ඇති බව ය.

මහනුවර රාජ සමයේදී රචිත නම් පොත හෙවත් විහාර අස්නේදී නඛා වෙහෙර සඳහන් ව ඇත්තේ මෙම විහාරය යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම නඛ චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එසේම උඩරට සෙනරත් රජු ද මෙම විහාරය වන්දනා කිරීමට පැමිණ ඇත. කන්ද උඩරට රාජධානියෙන් මෙරට රාජ්‍යත්වය අවසන්වීමෙන් අනතුරුව දීඝවාපි විහාරය ද අභාවයට යන අතර වනගතව පැවැති මෙම විහාරය නැවත සොයාගනු ලබන්නේ 1810 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කය භාර දිසාපති සෝවිස් නම් ඉංග්‍රීසි පරිපාලන නිලධාරියා විසිනි.

ඔහුගේ නියෝගය අනුව මෙම ස්තූපය කැණීම් කර තිබේ. එය හුදෙක් පුරාවිද්‍යා කැණීමක් නො වන අතර, එමනිසා චෛත්‍යයට වූ හානිය සුලුපටු නොවේ. එයින් පිටතට ගන්නා ලද ගඩොල් සහ කළු ගල් කණු වීරඅඩි අමුණ වැනි වාරිමාර්ග කටයුතු සඳහා රැගෙන ගිය බවට වාර්තාවේ. 1916 වර්ෂයේ දී ගොඩකුඹුරේ රේවත හිමියන් මෙම ස්ථානයට වැඩමකර කුඩා ආවාස ගෘහයක් තනාගනිමින් විහාරයේ උන්නතිය උදෙසා මැදිහත් වී තිබේ. මෙම විහාරස්ථානය අතීතයේදී වර්ග කිලෝමීටර 64ක් ප්‍රදේශයක් පුරා පැතිර තිබී ඇති අතර, ප්‍රධානම අංගය වූයේ ස්තූපය යි. වර්තමානයේ මෙම ස්තූපයේ ඉහළ කොටස් දක්නට නො ලැබෙන අතර වර්තමාන උස මීටර 22.41කි.

බෞද්ධ විශ්වාසයට අනුව මෙම දාගැබේ නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ යි.

වර්තමානයේ දීඝවාපී ස්තූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. මෙහි කොටස් කිහිපයක් ඉදිරියේදීත් කැණීම් කිරීමට යෝජිත අතර ඊට සමගාමීව ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදුවේ.

නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය වන මෙම ස්තූපය අනුරාධපුර ජේතවන, අභයගිරි ස්තූප සංරක්ෂණයන්ට වඩා වෙනස් මඟක් ගනිමින් වන්දනාමාන කළ හැකි පරිදි සම්පූර්ණයෙන් ම ඉදිකර සුදුහුනු පිරියම් කිරීමට යෝජිත ය. එනම් රුවන්වැලි මහා සෑයේ මෙන් වැඩ නිම කිරීමට සැලසුම් කර ඇත. මෙම ස්තූපය ප්‍රංතිසංස්කරණයේ දී ඒ සඳහා පැරැණි බදාමයට සමාන ලෙස යමින් විශේෂිත බදාමයක් භාවිත කරනු ලබයි.

අළු හුණු 1, උළු කුඩු 2, හුඹස් මැටි 2ක් හා දහයියා අළු 1ක් ලෙස අනුපාතයට ගෙන මෙම බදාමය සකස් කරගනු ලබයි. චෛත්‍යයේ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් උළු සංස්ථාව මගින් වර්තමානය වනවිට සපයා ගනී. මේ වනවිට පේසා වළලු ත්‍රිත්වයේ අඩක පමණ වැඩ අවසන් කර ඇති අතර ගර්භයේ අඩි 2.5ක් උසට වැඩ නිමකර තවත් අඩි 2.5ක් උස ප්‍රමාණයක් වැඩ අවසන් කිරීමට නියමිත ය.

වර්තමාන ප්‍රතිසංස්කරණවල දී ස්තූපයේ ගර්භය සකස් කිරීමට සුවිශේෂී තාක්ෂණයක් උපයෝගී කරගෙන ඇති අතර එහිදී ගර්භයේ අඩි 2.5ක් උසට එක් ගඩොල් වටයක් බැඳ එම ගඩොල් වරිය මත සුවිශේෂී දැලක් බදාම සමඟ යොදා නැවත අඩි 2.5ක් උසට ගඩොල් වරියක් බඳිනු ලබයි. මෙම ක්‍රමය ගර්භයේ වැඩ අවසන් වන තෙක් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව මෙම ස්තූපය උසින් අඩි 256ක් වන ලෙසට සැලසුම් කර තිබේ. මෙරට පූජනීයම ස්තූපය ලෙස සැලකෙන රුවන්වැලි මහා සෑයේ උස අඩි 338ක් වන අතර” එම ස්තූපයට වඩා නැවත ප්‍රතිසංස්කරණයෙන් පසු දීඝවාපි ස්තූපය අඩි 82ක උසින් අඩුවේ. රුවන්වැලි මහා සෑයේ විෂ්කම්භය අඩි 370ක් වන අතර දීඝවාපි ස්තූපයේ පහළම පේසාවේ විෂ්කම්භය අඩි 239ක් ද, දෙවන පේසාවේ විශ්කම්භය අඩි 229ක් ද හා ඉහළින්ම වන තෙවන පේසාවේ විෂ්කම්භය අඩි 220ක් පමණ ද වේ.

එම තෙවන හා ඉහළම පේසාව මත ගොඩනැඟෙන ස්තූප ගර්භයේ පාදමේ විෂ්කම්භය අඩි 212ක් පමණ වේ.

හතැරැස් කොටුව හා දේවතා කොටුව අඩි 24 බැගින් වන සමාන උසකින් ගොඩනැඟීමට නියමිත ය. පේසා වළලු ත්‍රිත්වය අඩි 12ක් පමණ උසකින් ද, ගර්භය කොටස අඩි 91ක් පමණ ද, කොත්කැරැල්ල අඩි 60ක් පමණ ද උසකින් සමන්විත වනු ඇත.

සුවිශේෂී තාක්ෂණයත් සමඟ නැවත ගොඩනැගෙමින් පවතින දීඝවාපි ස්තූපය තවත් වර්ෂ කිහිපයකින් බෞද්ධයන්ගේ නොමද වන්දනාවට ලක්වන ස්වේත වර්ණයෙන් දිලෙන දාගැබක් ලෙස දායාද වනු නියත ය. අපගේ ප්‍රාර්ථනය ද එයයි.