Print this Article


සත්‍ය දකින නුවණැස දියුණු කරන්න

සත්‍ය දකින නුවණැස දියුණු කරන්න

විශේෂයෙන් වත්මන් යුගය ගුණධර්ම පිරිහී නිසරු දේ වැඩිදියුණු වී එන යුගයක් ලෙස හැඳින්විය හැකි ය. දහම් දිවයිනක් ලෙස විරුදාවලි ලබා සිටින මේ ශ්‍රී ලංකාවේ මීට දශක පහකට පමණ පෙර මිනීමැරුමක් වැනි අපරාධයක් කරනවා තබා දැකීම පවා සිත් කම්පා වන සිද්ධියක් විය.

එහෙත් අද අදහන්නට පවා බැරි කුරිරු අපරාධ දිනෙන් දින ම වැඩිවීගෙන මිනීමැරුමක් වැනි සිද්ධියක් පවා සුළු කරුණක් බවට පත් වී ඇති බව පෙනේ.

බෞද්ධයකු තුළ තිබිය යුතු අවිහිංසාව, දයාව, ගුණගරුක බව, නිහතමානි බව, අවංකකම, ලද දෙයින් සතුටුවීම වැනි සාරධර්ම අද නැත්තට ම නැති වී ගෙන යන්නා සේ ය. දක්නට ඇත්තේ ඒ වෙනුවට ඊර්ෂ්‍යාව, පුහුමානය, වංකකම, ගුණමකුකම යන අසාර ධර්ම දියුණුවීගෙන එන බවයි මේ බෞද්ධ රට තුළින් පෙනෙන්ට තිබෙන්නේ.

අද වැඩි දෙනෙක් තමන් ගැන, තමන්ගේ ගුණවත්කම් ගැන, තමන්ගේ ජීවිතයේ අඩුපාඩු ගැන නො සලකා අනුන් සෑදීමට අනුන්ගේ ගුණවත්කම් සෙවීමට කාලය ගත කරති. පරිත්‍යාගයේ ගුණ වනන බොහෝ දෙනෙක් අල්ලස් ගනිමින් දූෂණයේ යෙදෙති.

අවිහිංසාවේ ගුණ වණන තවෙකෙක් එළු, කුකුළු පට්ටි ඇති කරමින් මිරිදිය කරදිය මසුන් බෝකර (මත්ස්‍ය ගොවිපළවල්) මාංශ ආහාරය සුලභ කිරීමට වෙර දරති.

මෛත්‍රියේ ගුණ වණන ඇතැමෙක් තමන් පක්ෂ වශයෙන් කුලමල වශයෙන් බෙදි එකිනෙකාට බැණ ගනිති. මෙවැනි පුද්ගලයන් තුළ ඇති බෞද්ධකම කුමක්දැයි සිතා බැලීම අප කාගේත් යුතුකමකි.

සංස්කෘතියේ සදාචාචාරයේ අගය කෙතරම් වර්ණන, කළත් සුරාව, සූදුව, ගණිකා මඩම් ආදිය බහුල ව කෙරේ නම් බෞද්ධ සාරධර්ම යන්තමින් හෝ ඉතිරි ව තිබේ දැයි මොහොතකට ඔබ හැම සිතා බලන්න. එසේ ම බෞද්ධ ජීවිතයක තිබිය යුතු අල්පේච්ඡකම හා ලද දෙයින් සතුටුවීමේ ගුණය අප ජනතාව අතරින් කෙතරම් දුරට ඈත් වී ගොස් තිබේ ද කිවහොත් මුදල් හරි හම්බ කිරීම ම අද ජීවිතවල පරමාර්ථයක් බවට පත් වී ඇත. ඒ නිසා ම සාරධර්ම සියල්ල විනාශ වී ගියත් මොන ක්‍රමයකින් හෝ ධනය ලැබේ නම් ඒ සඳහා යොමුවීමට අපේ ජනතාව පුරුදු වී ඇත.

අද බොහෝ බෞද්ධයන් සිතා සිටින්නේ ආර්ථික දියුණුවට බුදු දහම බාධාවක් ලෙසිනි. එහෙත් හරිහැටි බුදු දහම තේරුම් ගත් කෙනෙකුට ධාර්මිකව ධනය උපයා දියුණු වීමට හැකි ක්‍රම පමණක් නො ව, ධනය ඉතුරු කර ගන්නා ක්‍රම පවා බුදු දහම තුළින් පෙන්වා ඇති බව වටහා ගත හැකි ය.

සිඟාලෝවාද, ව්‍යග්ග පජ්ජ, පරාභව වැනි සූත්‍ර දේශනා තුළින් ආර්ථිකය දියුණු වන අයුරු හා පිරිහෙන අයුරු මොනවට පැහැදිලි කර දී ඇත. අද බෞද්ධයා මේ සියල්ල අමතක කොට ඉක්මනින් ධනය උපයන ක්‍රම කරා යොමු වී අධර්මයට බැස ඒ තුළින් ම ධනය උපයා, ධනය විනාශ කරගන්නා මාර්ග ද සාදා ගෙන තිබේ.

මේ කරුණූ ගැන මනාව අවධානය යොමු කොට තම ජීවිතය බෞද්ධ සාරධර්ම අනුව ගොඩනඟා ගැනීමට කල්පනා කරන්න. කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන පරිදි අවංක, නිහතමානි, සංසුන් ඉඳුරන් ඇති පුද්ගලයන් වීමට සිතට ගන්න.

හික්මීමෙන් සදාචාරයෙන් පිරිහී ගොස් උගත්කමින්, ධනවත්කමින් දියුණු වූ පමණින් ම යහපත් සමාජයක් ගොඩ නොනෙඟන බව නුවණින් කල්පනා කරන්න.

එසේ කල්පනා කොට නා නා අදහස්, නා නා සටහන්, නා නා ක්‍රියා ඇති විශාල සමාජයක ජීවත් වන අප හැම විටක ම සෑම දෙයක දී මුළා නොවී, ධර්මයත් සත්‍යයත්, දකින නුවණැස දියුණු කරමින් රත්රන්වලට අයිති නො වන කුණු රොඩු පුලුස්සා හැර පිරිසුදු රත්තරන් ම පිළියෙල කර ගන්නාක් මෙන් ජීවිතය තුළ තිබෙන යහපත් ජීවිතයකට අයිති නො වන අගුණ ක්‍රමයෙන් දුරලා යහපත් ගුණ වඩමින් ජීවිතය අති පාරිශුද්ධතාවට පත් කරගෙන දුක් අඳුර දුරලා ලබන විමුක්ති සැපත ලබා ගැනීමට මෙම වෙසක් සමයෙහි උත්සාහ ගන්න. වීර්යය කරන්න.