Print this Article


ලෝ සත නැහැවූ සදහම් අමා වැස්ස

ලෝ සත නැහැවූ සදහම් අමා වැස්ස

කිසිදා පසු නොබසින අසාමාන්‍ය වීර්යයක් උන්වහන්සේ සතුවිය. කිසිවකුට හෝ වසඟ කරගත නොහැකි, මංමුළාවට පත්කළ නොහැකි, වහා වැටහෙන අතිශයින් ම තීක්ෂණ නුවණක් උන්වහන්සේ සතුවිය. විමුක්තිය සොයා ගිය ආධ්‍යාත්මික චාරිකාවේ දී සිද්ධාර්ථ ශ්‍රමණයන්ගේ සිත ඇදී ගියේ වනගත අසපුවල භාවනා උගන්වමින් සිටි ගුරුවරුන් දෙදනකු ගැන පමණි.

සිද්ධාර්ථ ශ්‍රමණ තෙමේ ඒ අසපුවල නැවතුණේ ය. ඒ ගුරුවරු දෙදෙනා වන ආලාරකාලාමයන්ටත්, උද්දකරාමපුත්‍රයන්ටත් මැනවින් සවන් දී ඔවුන් උගන්වන දේ නිමේෂයකින් ඉගෙන ගත්තේ ය. එහි පරතෙරට ම ගියත් එය සදාකාලික විමුක්තිය නොවන බව සිය තීක්ෂණ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ ය. සිද්ධාර්ථයන් ඒ ගුරුවරුන් ද, ඉගැන්වීම් ද අත්හැර ඒ අසපුවලින් ද නික්ම ගියේ ය.

විමුක්ති මඟ කාගෙන්වත් ඇසීමෙන් පලක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන්ම ඒ විමුක්ති මාර්ගය සොයා ගන්නට තීරණය කරගති. අසාමාන්‍ය බුද්ධියකින් උන්වහන්සේගේ විමසුම් නුවණ නිර්මිත වී තිබුණත්, එකල දඹදිව විමුක්ති මාර්ගය ලෙස ඉස්මතුව පැවති අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක්දීම අත්හදාබැලීමට යොමුවිය.

ආර්ය පර්යේෂණයක නිරත වී ගත කළ සය වසරක් තරම් වූ ඒ කාලපරිච්ඡේදය අතිශයින් ම කටුක, අතිශයින් ම දුෂ්කර වීය.

අසමසම වීර්යයෙන් යුක්තව අප්‍රාණක නම් වූ ධ්‍යානය වඩද්දී උන්වහන්සේ සිහිසුන්ව ඇදවැටුන අවස්ථා පවා තිබුණි. ආහාර වර්ජනය හේතුවෙන් මහා පුරුෂ ලකුණු යටපත් වී ගොස් කුස අතගාද්දී පිටකොන්ද හසුවන තරමට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැහැරී ගියහ. තමන් වහන්සේ පීඩාවට පත්කරගැනීමේ ඉතාම කර්කශ වූත්, දුෂ්කර වූ ත් එම වැඩපිළිවෙල තුළින් චිත්ත පාරිශුද්ධියක් ලද නොහැකි බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් බෝසතාණන් වහන්සේ එම අන්තය ද අත්හැරියහ. කාමසුඛයෙහි ඇලීගැලී වාසය කිරීමත්, ශරීරයට දැඩිදුක් දීමත් යන අන්ත දෙක ඉතාම ප්‍රායෝගික ව හඳුනාගෙන, ඒවා බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව ඉතාම නිවැරදිව හඳුනාගත් ලොව පළමු බුද්ධිමත් මනුෂ්‍ය රත්නය උන්වහන්සේ ය.

යමක් දෙස ඉතාමත් සූක්ෂම ලෙස විමසා බලන්නට සිද්ධාර්ථයන් තුළ පැවතියේ අතිශය දක්ෂ බවකි. ඒ සුවිශේෂී හැකියාව නිසා ම ඉතාම නිවැරදි ලෙසත්, ඉතාම සූක්ෂම ලෙසත් විමුක්තිය පිණිස ප්‍රගුණ කළ යුතු මාර්ගය සොයා ගන්නට බෝසතාණන් වහන්සේ සමත් වූහ.

තමන් වහන්සේගේ ම නුවණින් සොයාගත් ඒ මධ්‍යම ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කොට උපරිම ඵල නෙළා ගන්නටත්, ඒ අමා නිවන සාක්ෂාත් කර ගන්නටත් උන්වහන්සේ සමත් වූහ.

ඒ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමෙන් දහම් ඇස ලබා දෙයි. අවබෝධ ඤාණය ලබා දෙයි. කෙලෙස් සංසිඳුවාලයි. විශේෂ ඤාණය ඇති කරයි. සත්‍යාවබෝධය ලබාදෙයි. අමා නිවනට පමුණුවයි.

ඒ මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්-මිනිස් ලෝකයාට හඳුන්වා දුන්නේ “අංග අටකින් සමන්විත ආර්ය මාර්ගය” වශයෙනි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වශයෙන් ප්‍රගුණ කර ගැනීම පිණිස ප්‍රතිපදාව වඩන්නේ සීල, සමාධි, ප්‍රඥා තුළ ය. සීල, සමාධි, ප්‍රඥා දියුණු වූ පසු සිත විමුක්තියට පත්වේ. විමුක්තිය පිණිස සමාධියත්, ප්‍රඥාවත් බලවත් ව උපකාරී වේ. දුකින් නිදහස් වූ, විමුක්තියට පත් මුනිවරයාට ඒ පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධ ඤාණයක් පවතී. එය විමුක්ති ඤාණ දර්ශනයයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කොට විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසමසම විජයග්‍රහණයකි. ඉන්පසු තමන් වහන්සේ “සම්මා සම්බුද්ධත්වය” ට පත් වූ උතුමකු වශයෙන් සමස්ත ලෝකයා හමුවේ හෙළිදරව් කර සිටියහ. ලොවේ සියලුම යහපත් ගුණධර්ම උන්වහන්සේ තුළ ඒකරාශී වි තිබුණි. එය බුද්ධිමය විප්ලවයක උත්තරීතර ඵලය බවට පත්වුණි. එය අවිද්‍යා අන්ධකාරය වනසා දැමූ විද්‍යාවේ ආලෝකය දසත විහිද වූ ගෞතම බුද්ධ රාජ්‍යයයි.

බුද්ධ රාජ්‍යයේ සුවිසල් ප්‍රාකාරය ආර්ය සීලයෙන් නිර්මිත ය. එහි මාළිගය ආර්ය සමාධියෙන් නිර්මිත ය. එහි ආර්ය ප්‍රඥාවෙන් නිර්මිත කොත් පළන්දා තිබේ. ඒවායින් නිරතුරු විහිදෙන්නේ ධර්ම විමුක්ති රශ්මියයි. එම රාජ්‍යයේ අනුත්තර වූ ධර්ම රාජයාණෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. ඒ අසිරිමත් බුද්ධ රාජ්‍යයේ සදහම් සෙන්පති වනාහී තථාගත අනුජාත සාරිපුත්ත මහ රහතන් වහන්සේ ය.

ඒ ධර්ම රාජයාණන් විසින් පවත්වන ආඥාචක්‍රය සද්ධර්මයෙන් නිර්මිත ය. එනම් චතුරාර්ය සත්‍ය ප්‍රකාෂිත ධර්ම චක්‍රයයි. ඒ බුද්ධ රාජ්‍යය තුළ අසහාය නායකයාණන් ලෙස නිකෙලෙස් හද මඬලක් දරා හතළිස්පස් වසරක් පුරා උන්වහන්සේ වැඩසිටි සේක. ඒ වනාහී කෙලෙස්වලින් තොර වූ පරම පිවිතුරු වූ නිරහංකාර නායකත්වයකි. ජීවිත සුවපත් කරවන ලොව්තුරු නායකත්වයකි. ලෝකයේ ඉතාම පූජනීය නිර්මල නායකත්වයක් තිබෙන්නේ බෞද්ධයින්ට පමණි.

සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ මේ පෘථිවියේ පමණක් නොව සමස්ත විශ්වයේ ම උන්වහන්සේ අනභිභවනීය පුරුෂ රත්නය බවට පත්වූ සේක.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට පටන් ගන්නේ ඒ අසිරිමත් ප්‍රඥාවෙන් බිඳක් ශ්‍රාවකයන්ටත් ලබාදී මේ බිහිසුණු දුක්ඛිත සංසාර චක්‍රයෙන් අප නිදහස් කරවීම පිණිස පමණි. තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය ඒ ආකාරයෙන් ම අන්‍යයන්ට ද අවබෝධ කරදීම පිණිස උන්වහන්සේ තුළ තිබුණේ විස්මිත හැකියාවකි. ඒ නිසා ම අරහත්වයට පත් වූ අතිවිශාල ශ්‍රාවක පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වටා වැඩ සිටියහ.

ඒ රහතන් වහන්සේ තුළ තමන් නිකෙලෙස් බවට පත්කළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි වූයේ අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයකි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් පුරා දේශනා කළ ධර්මයත්, පැනවූ විනයත් ගෞතම බුද්ධ රාජ්‍යයේ නායකත්වයට හෙවත් ශාස්තෘත්වයට පත් කළ සේක. ඒ ධර්ම විනය අදත් ඉතාම නිර්මලව, ජීවමාන ව පවතී. ඒ ධර්ම-විනය මනාකොට හඳුනාගෙන සීල, සමාධි, ප්‍රඥා තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරගන්නා භාග්‍යවන්තයින් හට අදත් උන්වහන්සේගේ අසිරිමත් ධර්ම ශරීරය ජීවමාන ව දැකිය හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අප ඉගෙන ගත යුත්තේ බලවත් ශ්‍රද්ධා ගෞරවයකින් යුක්තව ය. ‘කෝටි සංඛ්‍යාත ජනතාවක් සදාකාලික ශාන්තිය උදාකරගත් උත්තම වූ ධර්මයක් නේදමෙය...” කියා ධර්ම ගෞරවයෙන් හදාරණ විට ශ්‍රද්ධාව ඇතිවේ.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද ,ශ්‍රී සද්ධර්මය කෙරෙහි ද, ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ද බලවත් ව සිත පහදී. එවිට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කැමැත්ත උපදී. ඔබට ද මේ උතුම් වෙසක් සමයේ ඒ දුර්ලභ වාසනාව උදාවේවා!