Print this Article


බෞද්ධයා ආගම්වාදියෙක් නොවේ

බෞද්ධයා ආගම්වාදියෙක් නොවේ

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුන් පෝදා (26) පත්‍රයේ පළ විය

බෞද්ධ රටක් ලෙසින් සම්භාවිතයට පත්ව තිබුණ ද වෙනත් ඕනෑම ආගමිකයකුට රටේ පරිපාලනයට ඇතුළත් වීමට බාධාවක් නැත. විවිධ උසස් නිලතලවල පවා අබෞද්ධ පිරිස් ක්‍රියාත්මක ව සිටින ආකාරය මෙහිලා නිදසුන් ය.

ශ්‍රී ලංකා මැතිවරණ ක්‍රියාවලියේ ආරම්භයේ සිටම බහුතර බෞද්ධ ජනතාවගේ ඡන්ද බලය ලබා අබෞද්ධ නියෝජිතයින් බොහෝ දෙනකු රාජ්‍ය සභාවට තේරී පත් වූ අයුරු ද වැදගත් සාධකයකි. කොළඹ, මොරටුව, බේරුවල, පානදුර, බලංගොඩ, ගම්පහ ආදී ප්‍රදේශ ඒ සඳහා අදටත් නිදසුන් සපයයි.

වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් සලකා බලන විටදී ද බෞද්ධයන් ආගම්වාදීන් නොවන බවට වැදගත් කරුණු රැසක් හෙළි කර ගත හැකිය. ඉන් එකක් නම් මහා භාරකාර දෙපාර්තමේන්තුව යි. මේ ආයතනයට 90% ක් ම ආදායම් ලැබෙන්නේ විහාර දේවාල ඇතුළු බෞද්ධ පූජ්‍ය ස්ථාන වෙතිනි. එහෙත් එම මුදල් පොදුවේ සියලු ආගම් සඳහා වැය කරනු ලබයි.

මේ රටේ උපකෘත පාඨශාලා හෙවත් රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් අසූ එකක් පවත්නා අතර ඉන් බෞද්ධ පාඨශාලා තිබෙන්නේ අටක් පමණ ය. මේ සියලූම පාසල්වලට රජයේ ආධාර සම ලෙස පිරිනමන අතර එහිලා බෞද්ධ ජනතාව දක්වන්නේ සම මෙතින් පිරි ආකල්පයකි.

මේ රටේ බහුතර බෞද්ධ ජනතාවගේ බදු මුදලින් 91% පමණ අති විශාල ප්‍රමාණයක් අබෞද්ධ පෞද්ගලික පාසල් ආයතනවලට ළබා දීම පිළිබඳ දැනුවත්ව සිටිය ද ඒ පිළිබඳ කිසිදු විරෝධයක් නොපෑම මගින් ද හෙළි වන්නේ මේ රටේ බෞද්ධ ජනතාව ආගම්වාදී භේද කාරීන් නොවන බව ය.

මෙහිලා අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ මේ බෞද්ධ රටේ තමන්ට ම සිදුවන අසාධාරණය ඉදිරියේ දී භේදකාරී නොවී බෞද්ධ ජනතාව ඉවසීමෙන් කටයුතු කරන ආකාරය ගැන ය.

නිදසුන් ලෙස දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ දැක්විය හැකි ය. ඒවාහි විශේෂත්වය නම් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම තබා බුදු පිළිමයක් තැන්පත් කිරීමට වත් ඒ ප්‍රදේශ වල සමහර පිරිස් ඉඩ නොදෙති. අබෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශවල එසේ සිදු වුව ද බෞද්ධ බහුතරය වෙසෙන අනෙකුත් සියලූම පළාත් වල එවන් ආගම්වාදී තහංචි ක්‍රියාත්මක වන්නේ නැත. බෞද්ධ ජනයා බහුලව ව්‍යාප්තව ඇති ප්‍රදේශයන්හි ඕනෑම ආගමක් ඇදහීමට හා ඕනෑම ආගමික සිද්ධස්ථානයක් ඉදි කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබීම මගින් බෞද්ධයාගේ සහනශීලිතාව මැනවින් ප්‍රකට වෙයි. එයින් ද පැහැදිලි වන්නේ බෞද්ධයා යනු ආගම්වාදී ආගම් භේද වාදී පුද්ගලයෙකු නොවන බව ය.

රටේ ප්‍රධානතම නාගරිකයක් වන කොළඹ හා ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයන්හි සෑම ආගමිකයකුට ම නිදහසේ ආගමික කටයුතු කරගෙන යාමට ඉඩකඩ සැලසී ඇත්තේ එම ප්‍රදේශවල බෞද්ධ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන නිසා ය. ඉතා සැකෙවින් සඳහන් කෙරුනු මේ කරුණු අනුව අවිවාදාත්මක ලෙස නිගමනය කළ යුතු වන්නේ බෞද්ධයා යනු ආගම්වාදී භේදකාරී අන්තවාදීයකු නොවන බව ය.