Print this Article


මහා විාහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය - 2: පැරැණි රජදරුවන්ගේ විහාරාරාම පූජා

මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය - 2:

පැරැණි රජදරුවන්ගේ විහාරාරාම පූජා

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුන් පෝදා (26) පත්‍රයේ පළ විය

ක්‍රි.පු. 02 වන සියවසට අයත් රිටිගල ශිලා ලිපිවල ද ලෙන් පමණක් නොව වැව් ස්ථූප, කුඹුරු, ආරාම, ගම් ආදිය සඟසතු කොට පූජා කළ බව සඳහන් වේ. එම ලිපියෙහිම “දෙවන පිය මහරඣ, ගමිණි තිසහ පුත දෙවන පිය තිස අභයැගෙ ලෙනේ අගත අනගත චතුදිස සගශ දිනේ”

(සද්ධාතිස්ස මහරජුගේ පුතණූ දෙවන පියතිස අභය (ලජ්ජිතිස්ස) ගේ ලෙන පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී) එකී දෙවැනි ගිරි ලිපියේදී ලජ්ජිතිස්ස මහරජ විහාරය කරවා අබදළක වැව සංඝයාට පූජා කළේය.

එහි තවත් ලිපියක ගාමිණී අභයගේ කුඹුර සංඝයාට පූජා කරන ලදී. කූඨකණ්න තිස්ස රජතුමා ක්‍රි.ව. 41-19 මීන්විල (සෝමවතිය) සෙල් ලිපියේ දෙගම නම් ඇළක් සෑදූ බව සඳහන් වේ. මොලහිටිය වෙලේගම ලිපියේ තමන්කඩු දිස්ත්‍රික්කයේ දිඹුලාගල සමීපයෙහි පිහිටා ඇති අතර, එහි සඳහන් වන අයුරින් දේවානම් පියතිස්ස රජතුමාගේ මුණුබුරු වූ කූඨකණ්නතිස්ස රජතුමාගේ වැඩිමහල් පුතු වූ අභය රජු විසින් අතරගග නම් ස්ථානයෙහි ගණත කග නම් ඇළ පිළිපවත විහාරයෙහි භික්‍ෂු සංඝයාට රන්කෙන්ඩියෙන් (අත්පැන් කොට) දෙන ලදි.

මේ අයුරින් එම භාතිකාභය රජු ලෝවා මහා ප්‍රාසාදයේ නව කර්‍මාන්තත්, ථූපාරාමයේ පෝය ගෙයත්, මහා සෑය නොයෙක් මල්වර්ගවලින් වසා එම සෑය ඇතුළට ගොස් සියල්ල සියැසින් දැකීමත්, එකී මහාසෑය ප්‍රතිසංස්කරණය සඳහා කුඹුරු පූජා කිරීමත්, එසේම මහාදාටික මහරජු මහසෑමළුව සෑදීම, ලක්දිව සියලු විහාරස්ථානවලට ධර්මාසන පූජා කිරීම, ගිරිභණ්ඩ පූජාව මුහුද දක්වාම කිරීම, භික්‍ෂූන් 24000 ට සය වැදෑරුම් සිවුරු සහිත මහ දන්දීම. භික්‍ෂූන් එපා කියද්දීම රජතුමා බිසව, කුමරුන් දෙදෙනාත්, මංගල හස්ථිය, මංගල අස්වයා ඇතුළු සියල්ල පූජා කොට පසුව භික්‍ෂූන්ට ලක්‍ෂ 06 ක් වටිනා හා භික්‍ෂූනීන්ට ලක්‍ෂයක් වටිනා දෑ පූජා කොට නිදහස් වීම. එමෙන්ම රුහුනේ මනිනාපව් විහාරය, සමුද්‍රගිරි විහාරය, කලන්දක විහාරය, චූලනාග විහාරය, ගල්දිවයිනේ විහාරයක් කර විහාරය අවට අටයොදුනක් තැන් සාංඝික පූජා කිරීම, පඩුවෑ වෙහෙරට කුඹුරු පූජා කිරීම. මේ අයුරින් මීන්විලූ (සෝමවතී) සෙල් ලිපියේ ප්‍රාචීන නාගාරාමයට (සෝමවති විහාරයට) අඩපිටිගම පූජා කිරීම, සෝමවතී මියන්විලූ 2 වන ලිපියේ රජතුමා රජලි නැමති ලිපියෙන් කිරිය සීයයක් හෙවත් අක්කර 800 ක් පූජා කළ ආකාරය ද දැක්වේ.

මහාදාඨික රජුගේ සිට වසභ රජු දක්වා වසර 44 තුළ රජවරු නවදෙනකු රජ කළ අතර, ඔවුන් ද විහාරාරාම ආදිය සෑදවූ බවත්, ක්‍රි.ව. 65 - 109 දක්වා වසර 44 ක් රාජ්‍ය කළ වසභ රජ සෑගිරිය, ථූපාරාමය, මහාසෑය, මහබෝධිය මුල්කොට ලක්දිව ජීර්ණා වාස විහාර ප්‍රතිසංස්කරණය කර සිතුල්පව් විහාරය් දාගැබ් 10 ක් කරවා මහාවල්ලි ගොනු විහාරයත් මාගම අනුරාරාමයත් සාදවා හේලිගම 8000 ක් කිරිය විහාරයට පූජා කිරීම, ගලබතොට සෑය, තුඹුගල විහාරය, ඉසුරුමුණි විහාරයෙහි ද පෝයගෙවල් සාදවා, ථූපාරාමයේ ධාතුගෙයක් ද ඉදිකොට තවත් විහාර මෙන්ම වැව් 12 ක් සාදවා සුවිශාල මුහුණු 12 ක ඇළක් ද ප්‍රාකාර පොකුණු ආදිය සාදවා වෙසක් උත්සව 40 ක් සිදු කරන ලදි. වංකනාසික තිස්ස රජතුමා ගෝණගන්තෙර මහා මංගල විහාරය කළ අතර, සොලීන් පැමිණ සිංහලයන් 12000 ක් හා පාත්‍රා ධාතුවත්, දේවාභරණත් පැහැරගෙන ගිය බව ද සඳහන් වේ. ඔහුගේ පුත් ගජබා රජතුමා (ක්‍රි.ව. 112-134) රාජමාතු විහාරයක් කරවා මහා විහාරයට කහවනු ලක්‍ෂයක් දී විහාරයක් සාදවා කළුගලින් චෛත්‍යක් ද අභයගිරි මහා සෑය විශාල කොට ගැමුණුතිස් වැව අභයගිරි විහාරයට පූජා කරවූ ආකාරය මහා වංශයේ සඳහන් වන අතර, විහාරගල සෙල්ලිපියේ උපලදෝනික වැවත් පෝයගෙයක් ද සාදවා පූජා කිරීම. මැකිච්ඡාව සෙල්ලිපිය අනුව කහවනු 500 ක් වියදම් කොට වඩමන වැව සාදවා ථූපාරාම භික්‍ෂූන්ට පූජා කිරීම.

සිතුල්පව් සෙල්ලිපිය අනුව සිතුල්පව් විහාරයීය භික්‍ෂූන්ට බෙහෙත් ගැනීමට දිනකට කහවනු දෙක බැගින් පූජා කිරීම, එසේම පියාගේ කාලයේදී සොලී රටට පැහැරගෙන ගිය සිංහලයන් 12000 ක් හා සොලීන් 12000 ක් යන 24000 ක් සොලී රටේ කාවීරපටුනට ගොස් විජයග්‍රහණය ලබාගෙන ලක්දිවට පැමිණි ආකාරය පූජාවලිය, රාජාවලිය, පැරකුම්බා සිරිතේද සඳහන් වන අතර, මීන්විලු (සෝමවතී) සෙල් ලිපියේ සඳහන් වන්නේ ගජබා රජතුමා 24000 ක් පිරිස ගෙනා මොහොතේ දී ගජබා රජතුමාට “ගාමිණී අභය යුද ජී” (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පුදකළ බවත්, එයින් අපමණ සතුටට පත් රජතුමා රාජකීය ඇළක් කපා එයින් ලැබෙන ආදායම මණි අගිය හෙවත් සෝමවතී විහාරයට පූජා කළ බව “ගාමිණී අභය යුද ජී රජ අඩියගම මණි අගිය වෙහෙරට දිනි” යනුවෙන් සෝමවතී දිග්ගලෙහි මීන්විලූ සෙල් ලිපියෙහි සඳහන් වේ.

මහළුණා රජතුමා වසර 06 ක් රජකම් කළ අතර, ලක්දිව ප්‍රදේශ 07 ක විහාර 07 ක් සෑදවූ බව එනම් නැගෙනහිර පේජලක විහාරය, දකුණුදිග කොටගල් වෙහෙර, බටහිරදිග උදයපහන් විහාරය, නාගදිවයිනේ ඇල්ගිරිය තෙනවිලි විහාරය, රුහුණේ තොබොල්නාපහු වෙහෙර, රටමැද ගිරිනාලික වෙහෙර ඉදිකරමින් මුළු ලක්දිව ආගමික සම්බන්ධතාවය ඇති කළ අතර, දෙවන භාතිය තිස්ස රජතුමා මහාවිහාරය වටේ ප්‍රාකාරයක් කරවා ගවරතිස්ස විහාරය සාදවා එම විහාරයට ගැමුණු වැවද පූජා කොට භාතිස් විහාරයත්, ථූපාරාමයේ පෝයගෙයත් කරවූ බව සඳහන් වේ.