Print this Article


ධර්ම විනයට අනුගත ව ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ යුතුයි

ධර්ම විනයට අනුගත ව ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ යුතුයි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ අනුනායක හා වැඩබලන මහානායක ධූරන්ධර ඓතිහාසික සිත්තම්ගල්ලෙන පුරාණ රාජමහා විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති සද්ධර්මකීර්තී ශී‍්‍ර ධර්මරක්ෂිත මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති අගලබඩ පියසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ වගේම මේවන විට සංඝ සභාවේ වැඩබලන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩසිටින ඔබ වහන්සේ පැමිණි ඒ ගමන් මඟ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ජාව ආරම්භ කරමු මහානායක හාමුදුරුවනේ.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කිරම අගලබඩ ගමේ පැරැණි වෙද පරම්පාරාවකින් පැවත එන ඩී.ඩී .ජාලත් මුහන්දිරම් පත්තුවේ වෙදආරච්චි රාළහාමිගේ දරුවන් හය දෙනා අතරින් බාලම පිරිමි දරුවා මගේ පියා. පාරම්පරික වෙදකම අඛණ්ඩව සිදුකළ දරුවන් පස් දෙනෙකුගෙන් යුතු මගේ පියාණන්ගේ කනිටු පුත්‍ර රත්නය ලෙස 1945 වර්ෂයේ ඔක්තෝබර් 20 දින කිරම අගලබඩ කියන බොහොම සුන්දර ගැමි පරිසරයක ජන්මලාභය ලබාගෙන පරමවිඤ්ඤාණාර්ථ බෞද්ධ සමාගම විසින් ආරම්භ කළ හොරේවෙල පාඨශාලාවෙන් 6 වන ශ්‍රේණිය දක්වාත්, රදනියාර කනිෂ්ඨ විද්‍යාලයේ 8 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනය ලැබුවා.

සිත්තම්ගල්ලෙන පුරාණ විහාරස්ථානයේ පැවිදිව වැඩසිටි රාජකීය පණ්ඩිත අගලබඩ ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ මගේ ඥාතිවරයෙක් වීම නිසා උන්වහන්සේ අපේ ගෙදර වැඩම කළ අවස්ථාවක මාව පැවිදි කරන ලෙස මගේ පියාණන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව මම අටවන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබාගෙන, මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව, පැවිදිවීම සඳහා 1959 වර්ෂයේ ජනවාරි 15 දින ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයට පැමිණිලා සති දෙකකින් පමණ 1959 වර්ෂයේ ජනවාරි 29 වෙනි දින අගලබඩ පියසිරි යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. අගලබඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ , දිද්දෙනිපොත පේමරතන හිමියන්, අම්පනාගල මේධානන්ද හිමියන් යන ආචාර්ය ස්වාමීන් වහන්සේලා ගේ අධීක්ෂණය තුළ පැවිදි ජීවිතයට ඇවැසි මූලික අධ්‍යාපනය ලබාගනිමින් වත්පිළිවෙත් පුරුදු පුහුණු වුණා.

ඒ වගේම 1960 වර්ෂයේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා මාතර කිතුලේවල ජයමහා විහාර විද්‍යයතන පිරිවෙනට ඇතුළත්ව 1962 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ සමත් වුණා. අනතුරුව උසස් පෙළ විභාග සාමාර්ථය ලබාගෙන 1966 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණත්, විද්ේ‍යා්දය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලයේදී ම 1965 වර්ෂය වන විට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගැනීමට පුණ්‍යවන්ත වුණ බවත් සිහිපත් කළ යුතුයි.

ඒ වන විට මම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ බාහිරි උපාධියක් හදාරා තිබුණ නිසා ම එම සාමාර්ථය පදනම් කරගෙන වසර 2 කින් දෙවන පෙළ පංති සාමාර්ථයක් සහිතව සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය අවසන් කරගැනීමේ අවස්ථාව උදාවුණා. අනතුරුව එම විශ්ව විද්‍යාලයේම වසර දෙකකින් අධ්‍යාපනවේදී උපාධිය ලබා ගත්තා.

1972 වර්ෂයේ වරාපිටිය මහා විද්‍යාලයට ගුරු වෘත්තිය සඳහා පත්වීමක් ලැබුණා. පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබාගෙන සේවය කළත්, නැවත වරාපිටිය මහා විද්‍යාලයටම වැඩම කරමින් සාමාන්‍ය ගුරුවරයකු වශයෙන් , නියෝජ්‍ය විදුහල්පතිවරයකු වශයෙන් හා වසර 12 ක් පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වශයෙන් විශ්‍රාම දිනය දක්වා වසර 30 ක් සේවය කළා.

ඒ අතරතුර විහාරස්ථානයේ වැඩ සිටි දිද්දෙනිපොත පේමරතන නායක හාමුදුරුවන් වහන්සේ 1989 වර්ෂයේදී අපවත් වුණ නිසා මම එම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වුණා.

1984 ආරම්භ වුණ ශී‍්‍ර රෝහණ සංඝ සභාවට 1990 වර්ෂයේ දී සම්බන්ධවෙලා කර්මවාගාචාර්ය ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කළා. අනතුරුව හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියට එම වර්ෂයේදී ම සංඝ සභාව විසින් පත්කරනු ලැබුවා.

වසර කිහිපයකට පසු විධායක කාරක සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටි කාලයේ දී අනුනායක ධූරයටත්, පසුකාලීනව ජ්‍යෙෂ්ඨ අනුනායක ධූරයටත් පත් වුණා. එවකට අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ සිටියේ දැනට වැඩසිටින මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

උන්වහන්සේ මේ වන විට වයෝවෘද්ධව අසනීප තත්ත්වයෙන් පසුවන නිසා වැඩබලන මහානායක ධූරයට සංඝ සභාව විසින් මාව පත්කරනු ලැබුවා. ඒ අනුව ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුදුසු පරිදි කටයුතු කරගෙන යනවා.

මෙවැනි වගකීම් සහගත ශාසනික කාර්යභාරයක නියැළීමට ඔබ වහන්සේට පසුබිම සකස්වුණේ කුමන ආකාරයෙන්ද? නායක හාමුදුරුවනේ.

මම සාමණේර අවධියේ සිටම නායක හාමුදුරුවන් වහන්සේලාගේ ආදාරය

ගෞරවය දිනාගෙන කටයුතු කළා. අගලබඩ ඤාණිස්සර නා හිමිපාණන් වහන්සේ , දිද්දෙනිපොත පේමරතන හිමියන් යන ගුරු දේවයන් වහන්සේලාගේ ආභාසය සාමණේර අවධියේදී ලැබුණා වගේ ම පිරිවෙනේ වැඩ සිටි කටුකුරුන්දේ දේවානන්ද නායක හාමුදුරුවන් වහන්සේ, බඹරැන්දේ රේවත නායක හාමුදුරුවන් වහන්සේ යන කීර්තිමත් පඬිවරුන් ගේ ආභාසය ලැබුණා. උන්වහන්සේලාට කීකරු ශිෂ්‍යයකු ලෙස සැමවිටම ගුරු ගෞරවයෙන් කටයුතු කළා. එම ලැබුණ ආභාසය පැවිදි ජීවිතය ආලෝකමත් කරගැනීමට බොහෝ සේ උපකාරී වුණා. ගුරුසිත නොරිදවා යන ආකල්පය යටතේ කටයුතු කළ නිසා උන්වහන්සේලා බොහොම කරුණාවෙන් ආදාරයෙන් මාව රැකබලාගත් නිසා එම ගමන් මඟ සාර්ථක වීමටත් හේතුවක්.

මේ වන විට වැඩබලන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේ පැවිදි ජීවිතයේ ලබාගත් අත්දැකීම් අනුව හැදෙන වැඩෙන ස්වාමීන් වහන්සේලාට ලබා දෙන්නේ මොනවගේ උපදෙස් ද?

සමස්ත වශයෙන් නොවුණත්, පොදුවේ භික්ෂු සමාජය දෙස බලන විට ඇතැම් අවස්ථාවල යම් පිරිහීමක් ඇතිවෙලා තිබෙනවා. අධ්‍යාපනය තුළ යම් දුරකට පරිහානියක් දකින්නට පුළුවන්. සාමණේර භික්ෂූන් වහන්සේලා වුණත්, උපසම්පදා භික්ෂුන් වහන්සේලා වුණත්, විශ්ව විද්‍යල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ ලා පිළිබඳව වුණත් ඇතැම් අවස්ථාවල සෑහීමකට පත්වෙන්න අපහසුයි.

වර්තමාන ලෝකයේ නවීන තාක්ෂණික දියුණුවත් සමඟ යම් යම් පාරසරික බලපෑම් මත හෝ යම් යම් අතපසුවීම් මත මෙවැනි ස්වභාවයන් ඇතැම් විට ඇතිවෙන්න පුළුවන් . ඒ කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා හැටියට බුදු දහමට අනුව ඉටුවිය යුතු කාරණා දෙකක් තිබෙනවා. අපැහැදුණ අයගේ පැහැදීම සඳහාත්, පැහැදුණ අයගේ පැහැදීම තවදුරටත් වර්ධනයවීම සඳහාත් කටයුතු කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. බොහොම හොඳ සිල්වත් ගුණවත් නැණවත් භික්ෂූන් වහන්සේලා තවම වැඩ සිටිනවා. කිසිදු බේදයකින් තොරව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ති‍්‍රපිටක ධර්මය ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා ඒ ධර්මය විනයට අනුගතව ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ යුතුයි. පවතින අඩුපාඩු අතපසුවීම් සම්පූර්ණ කරගනිමින් දූෂ්කර ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාට බලපාන දූෂ්කරතා අවබෝධ කොට ගනිමින් සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ වෙමින් එකම සියම් මහා නිකායක් බවට පත්කර ගනිමින් කටයුතු කිරිම එකම අරමුණයි.