Print this Article


බුදුමුවින් දේශිත සැපයක් වූ සම්බුදු උපත

බුදුමුවින් දේශිත සැපයක් වූ සම්බුදු උපත

ලක්වැසි බොදුනුවන් පාරම්පරික ව වෙසක් පුර පොහෝ දිනයෙහි සම්බුදු ගුණ සිහිපත් කිරිමෙහි යෙදෙන්නේ නිරායාසයෙනි.

රජ මැදුරේ සිට ඈත එපිට දුගී පැල්පත දක්වා අවම වශයෙන් තම නිවසෙහි තෙල් පහනක් හෝ දල්වා බුද්ධානුස්මරණ‍යෙහි යෙදීම සඳහා අපේ සංස්කෘතිය මඟින් සිදුකර ඇති මෙහෙයවීම විශිෂ්ට වූවක් සේ දැක්විය හැකි ය.

බුදු ගුණ සිහිපත් කරන අද වැනි දිනයක භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් දේශිත ධම්මපද පාලියෙහි බුද්ධ වග්ගයට අයත්

සුඛෝ බුද්ධානං උප්පාදෝ- සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගී- සමග්ගානං තපෝ සුඛෝ

යන මෙම ගාථා ධර්මය පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් වනු ඇත.

තථාගතයන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් බුදුරදුන් දැක්ම සඳහා දෙව්රමට පැමිණි පන්සියයක් පමණ වූ භික්ෂූන් පිරිසක් දම්සභා මණ්ඩපයේ රැස්ව විවිධ කරුණු පිළිබඳ සාකච්ඡා කරන්නේ ලොව ඇති උතුම් සැපය පිළිබඳ විමසීමට ලක් කෙරිණි.

එහිදී එක් එක් තෙරවරුන් තම තමන්ගේ මත වාද ගෙන හැර පාමින් විවිධ අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම භික්ෂු පිරිස අතර රජ කුලයට අයත් රාජ සම්පත් විඳ පැවිදි වූවන් මෙන්ම පස්කම් සැප උපරිම ආකාරයෙන් වින්දනය කොට පැවිදි වූවන් ද මතු නොව විවිධ රසමසවුලු අහරින් සන්තර්පිත ව සිට පැවිදි වූවෝ ද වූහ. ඒ අනුව ඔවුන් මෙලොව ඇති උතුම් සැපය යනු කුමක්ද යන්න විමසීමට ලක් කෙරුණි. මෙම භික්ෂු පිරිස අතර රජ කුලයට අයත් ව රාජ සම්පත් විඳ පැවිදි වූවන් මෙන්ම පස්කම් සැප උපරිම ආකාරයෙන් වින්දනය කොට පැවිදි වූවන් ද විවිධ රසමසවුළු වලින් සන්තර්පිත ව සිට පැවිදි වුවෝ ද වූහ. ඒ අනුව මෙලොව ඇති ඉහළම සැප ලෙස ඔවුන් කරුණු දැක්වූයේ තම තමන්ගේ අතීත ජීවන අත්දැකීම් පාදක කොටගෙන ය. රජ කුලයට අයත් වූවන්ගේ එකම අදහස වූයේ රාජ්‍යත්වය තරම් සැපයක් ලෝකයේ නොමැති බව ය.එම මතය සනාථ කිරීම සඳහා රජ සිරියෙහි අසිරිය ද මනාව ප්‍රකාශ කරන ලදී. පස්කම් සැපය ලොව ඇති ඉහළම සැපය බව පංච කාමයෙහි යෙදී සිටිමින් පසුව පැවිද්දට පත් වූවන් තම අතීත අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී. ලොව ඇති උසස්ම සැපය වන්නේ රසවත් ආහාරපාන පරිභෝජනය රසමසවුලෙහි ලොල් ව සිට පැවිදි වූවන් ගේ මතය විය. මෙසේ විවිධ මත ඉදිරිපත් කරමින් තර්ක විතර්ක කරමින් ලෝකයේ උතුම් සැපය පිළිබඳ තම පෞද්ගලික අත්දැකීම් අනුව මෙම භික්ෂූ පිරිස විවාධාපන්න ව සිටියදී භාග්‍යවතුන් වහන්සේ එම ස්ථානයට වැඩමවාලූහ.

කිනම් කරුණක් පිළිබඳ කතාබහක යෙදී සිටියේ දැයි සුපුරුදු පරිදි කෙරෙන විමසීමේ දී ලොව ඇති උතුම් සැපය කුමක්ද යන්න පිළිබඳ අපගේ අතීත අත්දැකීම් අනුව නිගමනයන්ට එළඹ විවාද කළ බව භික්ෂූහු ප්‍රකාශ කළහ. එහිදී තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ප්‍රකාශිත කිසිවක කිසිදු සත්‍යක් නොමැති බවයි. ඒ සියල්ලම සත්වයා නැවත නැවතත් බියකරු වූ සසරට ම ඇද හෙළන බවයි.

මෙසේ එම භික්ෂු පිරිසගේ වැරදි නිගමනයන් බැහැර කළ තථාගතයන් වහන්සේ ලොව ඇති උතුම් සැපය පිළිබඳ ඉහත ගාථා ධර්මයෙන් කරුණු පැහැදිලි කොට වදාළහ. ඒ අනුව ලෝකයෙහි සැප සඳහා හේතු වන කරුණු හතරක් පිළිබඳ භික්ෂූන්ගේ අවධානය යොමු කරවන ලදහ.

එහි ප්‍රථම කරුණ වන්නේ බුදුවරයන් වහන්සේලාගේ ඉපදීමයි. ඉන් අනතුරුව පිළිවෙළින් දහම් දෙසුමත්,භික්ෂූන් වහන්සේගේ සමගියත්, සමගි සම්පන්න භික්ෂූන්ගේ තපසත්, යන කරුණු හතර ලෝකයෙහි උතුම්ම සැප ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.

මේ දේශනාව අවසානයෙහි පන්සියයක් පමණ වූ එම භික්ෂූන් වහන්සේලා මහරහත් භාවයට පත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යය මඟින් අනාවරණය කොට ඇත.

එසේනම් අද දිනය ඒ උතුම් දිනය අර්ථවත් වන දිනයයි.

‘‘බුද්ධානං උප්පාදෝ සුඛො’’ බුදුවරයන් වහන්සේලාගේ ඉපදීම සැපයක් වන ආකාරය සැකෙවින් සලකා බැලිය යුතුව ඇත. ඒ සඳහා සුදුසුම දිනය වන්නේ වෙසක් දිනයයි. බුදුවරයන් වහන්සේලාගේ පරමාර්ථය වන්නේ සියලු සත්වයන් භයානක වූත්, සංසාරික දුක්ඛයන්ගෙන් මුදවා ගැනීම වන්නේ ය.

බෝධිසත්වයන් වහන්සේලා තමන්ට තනිවම සසරින් මිදීමේ ඇති හැකියාව තිබියදී චතුරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පූරණය කරමින් බුද්ධත්වය සඳහා එළඹෙන්නේ ඉහත අපේක්ෂාවෙන් ය. එසේනම් සාංසාරික අප්‍රමාණ වශයෙන් දුක් විඳීන සත්වයන් සසරින් මුදවා ගැනීම සඳහා හැකියාව ලැබෙන්නේ බුද්ධෝත්පත්තිය නිසා ය. ජාති, ජරා, ව්‍යාධි, මරණාධි විවිධ දුක් වලින් ගැලවීම ලොව ඇති උතුම්ම සැපය වේ.සසර දුකින් සත්වයා එතෙර කරන ශාස්තෘන් වහන්සේගේ උපත සැපයක් වන්නේ එනිසා ය.

කලකින් සිදුවන දුලබ සිදුවීමක් වන නිසා ද බුදු උපත සැපයක් ම වනු ඇත.උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනය සැපයක් වන්නේ ඒ තුළින් දෙව් මිනිස් සැප සහ නිවන් සැප සාධනය කර දෙන බැවිනි.

එසේම භික්ෂු සංඝයා වහන්සේගේ සමගිය සැපයක් වන්නේ එය භික්ෂුවගේ පරමාර්ථ සාධනය සඳහා හේතුවන බැවිනි. එසේනම් තථාගත බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ වෙසක් පුර පොහෝ දිනය ලොව සැපවත් කිරීම සඳහා ආරම්භයක් ලබා දුන් දිනයකි. මේ උතුම් දිනයෙහි විශේෂිත වූ බුද්ධ චරිතයට අදාළ සිදුවීම් රාශියක් සිදුවී ඇති බව අපේ ධර්ම සාහිත්‍යය මඟිින් ද පෙන්නුම් කෙරේ. ඒ අනුව බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩම වීම. යමා මහා පෙළහර පෑම වැනි විශේෂිත කරුණු රාශියක් සිදුවී ඇති සේ ම ආනන්ද මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ද සිදුව ඇත. එමෙන්ම අපේ ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් ම අද දිනයෙහි සිදුව ඇති බව ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ.

එම සියලු කරුණු සමරමින් සැපයෙන් සැපයට පත් ව උතුම් නිවන් සැපත උදාකර ගැනීම සඳහා උත්සාහවත් විය යුතු ව ඇත.