Print this Article


සුන්දර පිළිවෙතක මධ්‍යම ප්‍රතිපදාව

සුන්දර පිළිවෙතක මධ්‍යම ප්‍රතිපදාව

“මජ්ක්‍ධිම පටිපදා” යනුවෙන් හඳුන්වන නිවන් මඟ අවබෝධ කරගත යුතු ඤාණමය සංසිද්ධියකි. “බුද්ධං සරණං ගච්ඡාමි” “බුදුරජාණන් වහන්සේ සරණ යමි” යි වචනයෙන් පවසන බොහෝ පිරිසකට මේ මඟ පිළිබඳ ඇත්තේ දැනුම් මාත්‍රයකි. අවබෝධය නොවේ.

අවබෝධය අනුක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂයෙන් ම ලැබිය යුත්තකි.

අවබෝධය පිණිස වෑයම් නොකොට විවිධ ක්‍රියාවන් ඔස්සේ දැනුම් සම්භාරයක් සහ තොරතුරු රැස්කරමින් සහ රැස් කරගෙන සිටිති.

මෙසේ සඳහන් කරන මම ද මාගේ ආධ්‍යාත්මයෙන් නිවැරදි නිවන් මඟ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව විමසා බලමින් ඔබට ද එසේ කරන්නට කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුතුව ආරාධනා කරමි.

කායික සහ මානසික ලෙස බොහෝ දුක් දෙමින් විමුක්තිය සොයන අත්තකිලමථානු යෝගය ද, බොහෝ ලෙස ඉන්ද්‍රියයන් පිනවමින් විමුක්තිය සොයන කාම සුඛල්ලිකානු යෝගය ද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදහ. “හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන් විසින් සොයන්නා වූ අනර්ථය පිණිස හේතුවන” මඟක් ලෙස පෙන්වා දුන්හ. එම මඟ අනාර්ය වූ මඟම බව වදාළහ. මෙම අන්ත දෙකටම නොපැමිණ නුවණැස පිරිසුදු කරන්නා වූ නුවණැස ඇතිකරන්නා වූ කෙලෙසුන් සංසිඳවීම පිණිසත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත්, මනාව අවබෝධය පිණිසත් නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිසත් පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට අවබෝධ කරන ලදහ. එම මධ්‍යම ප්‍රතිපදාව අංග අටකින් සමන්නාගත ය. එනම් යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්මාන්තය, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, යහපත් සිහිය සහ යහපත් සමාධිය යනුවෙනි.

මෙම මධ්‍යම ප්‍රතිපදා මාර්ගය අනුගමනය කිරීමේ දී සතර ආකාරයකින් පෙන්වා දෙන ආර්ය සත්‍යයන් අවබෝධයම අරමුණු කෙරේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. ඉපදීම දුක ය. දිරාගෙන යාම දුක ය. ලෙඩවීම දුක ය. මරණය දුක ය. අපි‍්‍රයයන් හා එක්වීම දුක ය. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුක ය. යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම දුක ය. මෙසේ සැකෙවින් ස්කන්ධ පඤ්චකයම දුක් වන්නේ ය. මේ දුක්ඛ ආර්ය සත්‍යයයි. යම් මේ තෘෂ්ණාවක් නැවත නැවත ඉපදීම් කෙරේ ද, ඒ ඒ දෙයෙහි ඇලීම බැඳීම වන්නේ ද ඒභවයෙහි විශේෂයෙන් ඇලීම් බැඳීම් සතුට උපදවන්නේ ද? ඒ තෘෂ්ණාව කවරේ ද? එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවය. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි.

මහණෙනි, සමුදය සත්‍යයෙහි ලා දක්වන ලද කාම, භව, විභව යන තුන්වැදෑරුම් ඒ තෘෂ්ණාවගේම මුළුමනින් ම යම් නොඇලී නැසීමක් ඇද්ද, හැරීමක් ඇද්ද, ඉතිරි නොකොට හැරීමක් ඇද්ද, මිදීමක් ඇද්ද, ආලය නොකිරීමක් ඇද්ද, මෙය වනාහි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ අරි අටඟි මඟම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්යය සත්‍ය නම් වෙයි. එනම් දුක නැති කිරීමේ පිළිවෙතයි. පෙර නොඇසූ විරූ සිව්සස් දහම් විෂයෙහි සිව්සස් නැණ ඇස පහළ විය. කෙලෙස් දුරු කිරීමේ නුවණ පහළ විය. නොදැනීම නැමති අඳුර නසන නුවණ නැමති ආලෝකය පහළ විය. මෙම අවබෝධය සත්‍යය යැයි නුවණින් දැක ගත්තෙමි. මෙම චතුරාර්යය සත්‍යය අනුගමනය කොට අවබෝධ කිරීම පිණිස ප්‍රතිපදාවට බැස්සෙමි. අවබෝධ කොට අවසන් ය. මේ ලෙසින් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතක් ඥාන ලෙසින් ත්‍රිපරි වට්ටය දක්වා ඇත.

මෙම මැදුම් පිළිවෙත ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ද අවබෝධ කොට ගත යුතු වෙයි. පළමු මාර්ග අංගය වන්නේ යහපත් දැක්ම නම් වූ සම්මා දිට්ඨිය යි. එය කොටස් දෙකකින් නම් කරන්නේ නම් කම්මස්ස කතා සම්මා දිට්ඨි සහ චතුසච්ච හෙවත් විපස්සනා සම්මා දිට්ඨි ලෙසිනි. කර්මය සහ ඵලය පිළිබඳ විශ්වාසයෙන් යුතුව කුසල් කරන්නට කැමත්තක් ඇති කර ගැනීම මින් බලාපොරොත්තු වෙයි. චතුසච්ච සම්මා දිට්ඨියෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීමයි. දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය නම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ දී ප්‍රධාන වශයෙන් සිදු කළ යුතු වන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකයම අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ තිලක්ඛණයට යටත් කොට අවබෝධ කොට ගැනීම යි. එමගින් ලෝභ, දෝස, මෝහ නම් වූ තණ්හාව මුළුමනින් ම බැහැර කොට කර්ම සකස්වීම අවසන් කෙරේ.

සම්මා සංකප්ප හෙවත් යහපත් සංකල්පනාවේ දී නෙක්ඛම්ම සංකප්ප (කාමයන්ගෙන් නික්මීම) අව්‍යාපාද සංකප්ප (පටිඝය බැහැර කිරීම) අවිහිංසා සංකප්ප (හිංසාවෙන් බැහැර වීම) දියුණු කරන සිතුවිලි උපදවා ගැනීම සහ ඒවා අනුගමනය කිරීම බලාපොරොත්තු වෙයි. මෙය ලෞකික යහපැවැත්ම (සීලය) පිණිසත් , ලෝකෝත්තර ලෙසින් අත්හැරීම (පටිනිස්සග්ග) පිණිසත් උපකාර කර ගැනීම අවශ්‍ය ය. සම්මා වාචා හෙවත් යහපත් වචනයේ දී බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන ආදියෙන් වෙන්වීම අවශ්‍ය ය. ඒ වෙනුවට නෙලා (නිදොස්) පොරි (සභය) කණ්ණ සුඛා (කනට සුව දෙන වදන්) ප්‍රේමනීයා (පි‍්‍රය බව ඇතිවන) හදයංගමා (හදවතට දැනෙන) බහුජන කන්තා (බොහෝ දෙනා කැමති) බහුජන මනාපා (බොහෝ දෙනා මනාප වදන් පරිහරණය අවශ්‍යයයි. මෙය පුප්ඵභාණී (මල් බඳු) මධුභාණී (මී පැණි) නම් වූ කතා ස්වරය වෙයි. ලෝකෝත්තර ලෙසින් ලෝභ, දෝෂ, මෝහ සංසිඳුවන පිරිසුදු බ්‍රහ්මචර්යාව ම ඉලක්ක කරන වදන් බවට පත්වීමයි. එහි අර්ථ රසය සහ ධර්ම රසය පැවැතීමයි. සම්මා කම්මන්ත, හෙවත් යහපත් කර්මාන්තයන්හි දී ප්‍රාණ ඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාරයන්ගෙන් වෙන්වීමයි. ලෞකික වශයෙන් “නිහිත දණ්ඩ, නිහිත සත්ථ, ලජ්ක්‍ජී දයාපන්නා සබ්බ පාණ භූත හිතානුකම්පී” යනුවෙන් දැක් වූ පරිදි ලෝභ, දෝෂ, මෝහ මුල්කොට ගත් නපුරු සිතින් දඬු, අවි නොදැරිය යුතු ය. පාපයට ලජ්ජාවක් ඇති කර ගැනීමත්, සියලු ප්‍රාණීන් කෙරේ දයාව, සහ හිතානුකම්පී බව ඇති කර ගැනීම මින් අදහස් කෙරේ.

මෙය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ සතර බ්‍රහ්ම විහරණ ඇසුරු කෙරේ. ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා වැඩීමේ දී තමා මුල් කොට ගත් සක්කාය දිට්ඨිය, අස්මිමානය බැහැර කර ගැනීමට මහත් සේ උපකාර වෙයි. නුදුන් දෙය නොගැනීමත්, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීමත් ලෞකික වශයෙන් කල්‍යණ මිත්ත සහ සප්පුරිස නම් වූ මනුෂ්‍යත්වයේ උසස් බවට එකතු වෙයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාරයන්හි ඇති ආදීනව මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක සූත්‍ර දේශනාවේ පෙන්වා දී තිබේ.

සම්මා ආජීව හෙවත් යහපත් දිවි පැවැත්මේ දී පස්පව් දස අකුසල්වලින් බැහැරව, කෘෂිකර්මය, ගවපාලනය, වෙළඳාම, රාජ්‍ය සේවය දක්වා ඇත. මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ පැවැති ආකාරයටයි. වර්තමානයේ විවිධ වෘත්තීන් ඇත. ඒ සියල්ල පස්පව්, දස අකුසල් සංසිඳවන මාර්ගයක විය යුත්තේ ය.

වෙළඳාමේ ද මස් මාංස වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, මත් වතුර වෙළඳාම, වහල් වෙළඳාම, සත්ව වෙළඳාම ආදියෙන් වැළකීම ද, ‘සොර තරාදි’ පාවිච්චිය වැනි කූට, වංචා ද ප්‍රතික්ෂේපිත ය. සම්මුතියෙහි ප්‍රඥ්ඥප්ති පනවාගෙන දිවි පැවැත්ම පිණිස (සුන්දර, පි‍්‍රයශීලි, සෝභමාන) කටයුතු කිරීමත්, නිවන් මගේ දී පණ ඇති, පණ නැති සියල්ලම අත්හැරෙන බව දැන ලෞකිකත්වය මරණින් මතු දුගතියෙහි ඉපදීම පිණිස මෙහෙයවා ගැනීම නොකළ යුතු ය. සම්මා වායාම හෙවත් යහපත් උත්සාහයේ දී දෙලොවම සුවපත් වීම සිදුවෙයි. නූපන් අකුසල් නූපදවීමට කැමැත්තක් ඇතිකර ගැනීම, ව්‍යායාම කිරීම, වීර්යය පටන් ගැනීම, සිතෙහි මුල් තැනක් දීමයි. උපන් අකුසල් බැහැර කිරීමට කැමත්තක් ඇතිකර ගැනීම, ඒ වෙනුවෙන් උත්සාහ කිරීම, වීර්ය ආරම්භ කිරීම සිතෙහි මුල් තැනක් දීමයි.

නූපන් කුසල් උපදවා ගැනීමට කැමැත්තක් ඇතිකර ගැනීම, උත්සාහ කිරීම, වීර්යයෙන් යුක්ත වීම, සිත ඔසවා තැබීමයි. උපන් කුසල් දියුණු කර ගැනීම ඉහළින් පවත්වා ගැනීමට, උසස් බවට පත්කර ගැනීමට, උතුම් බවට පත් කිරීමට, භාවනාවෙන් සම්පූර්ණ කර ගැනීමට කැමැත්තක් ඇති කර ගැනීමයි. ව්‍යායාම කිරීමයි. වීර්ය ආරම්භ කිරීමයි. ඒ වෙනුවෙන් සිතෙහි ප්‍රධානත්වය ඇති කිරීමයි. මෙය ලෞකික වශයෙන් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු, ථාම ධාතු, ඨති ධාතු, උපක්කම ධාතු වශයෙන් දැක්විය හැකි ය. ලෝකෝත්තර වශයෙන් විරිය පාරමිතාවද ඇට, ලේ, මස්, නහර වියැකී සිඳී ගියත් කෙලෙස් ප්‍රහාණය අත් නොහරිමි යි නම් වූ අධිෂ්ඨානය මතු කොට ගත හැකි ය.

මජ්ක්‍ධිම පටිපදා නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙයාකාරයෙන්ම පරම පවිත්‍ර සැනසුම පිණිස මෙහෙයවා ගත යුතු ආකාරය ඉතාමත් සංක්ෂේපයෙන් මෙහි දක්වන ලද්දේ ය. උතුම් වූ ද බුද්ධ පූජාව නම් ඔබ ද මම ද මේ මඟ ගමන් කොට නිවනින් සැනසීම යි.