Print this Article


මිනිසත්කමට ගරු කරන මිනිසකු විය යුතු ඇයි?

මිනිසත්කමට ගරු කරන මිනිසකු විය යුතු ඇයි?

පන්සිය පනස් ජාතක පොත කියවන විට සිතට ඇති වන්නේ මහා බයකි, විශ්මයකි. ඒ ඇයි?

සංසාරයේ මැරි මැරී උපදිමින් ගමන් කරන විට දිව්‍ය සම්පත් හෝ මනුස්ස සම්පත් පමණක් නොව මහා නරකවල දුක් විදින්නට ද සිදුවේ. බෝධිසත්වයන් පවා මොනතරම් තිරිසන් ආත්ම ලබා ගත්තේ ද යන්න පන්සිය පනස් ජාතක පොතෙන් පැහැදිලි වෙයි.

බොහෝ උත්සාහ ගෙන මහත් වූ කුසල ක්‍රියාවන් සිදු කිරීම තුළින් මේ මනුස්ස ආත්මය ලබා ගන්නට හැකි විය. පුණ්‍ය මහිමයෙන් මනුස්ස ආත්මයක් ලැබුවත් හැමදෙනාම එක වගේ සැප විඳිනව ද? සමහරු මනුස්ස තිරිසනුන් මෙන් ජීවත් වෙති. තවත් අය ප්‍රේතයන් සමාන ව කටයුතු කරති. වෙනත් අය නරකයේ ජීවත් වන සතුන් මෙන් අපමණ දුකින් හා වේදනාවෙන් පසු වෙති. මෙවැනි අය මිනිස් බවයක් ලැබුවත් නියම මනුස්සයෝ නොවෙති.

මනුෂ්‍යත්වය ලැබූ හැම දෙනාම බුද්ධිමත්ව, සත්පුරුෂ මිනිසුන් මෙන් ජීවත් වීමට වග බලා ගත යුතු ය. ඇති සම්පත් තමා පමණක් කා බී ජීවත් වීමට ම නොව අනුන්ගේ යහපත සදහා යෙදවීම හොඳ සත්පුරුෂ ලක්ෂණයකි. එයම බෝසත් ගුණයක් වශයෙන් හැඳින්වීම නිවරදය. ධර්මානුකූල ව සලකන විට සත්පුරුෂ, බෝධිසත්ව වගේම උපාසක යන වචන උතුම් මනුස්සයන් සඳහා යෙදිය හැකිය.

මහානාම නම් ශාක්‍ය වංශිකයා කෙනකු උපාසකයකු වන්නේ කෙලෙසදැයි බුදුරජුන්ගෙන් විමසී ය.

තුනුරුවන් සරණ යාම උපාසකත්වය ලබා ගැනීමට හේතු වන බව බුදුහු පෙන්වා දුන්හ. එහෙත් සීලවන්ත සත්පුරුෂ කෙනකු වීමට නම් අඩු තරමින් පංච ශීලය රැකිය යුතු බව එහි දී උන්වහන්සේ පැහැදිලි කොට දුන්හ. අඩු තරමින් තෙරුවන් සරණ ගොස් නිත්‍ය පංච ශීලය ආරක්ෂා කරමින් ජීවත් වුවහොත් ඔහුගේ ජීවිතය දෙලොව ම සැප ලබන තත්ත්වයට පත්කර ගත හැකි ය. එපමණක් නොව දෙවියන් අතර ශ්‍රේෂ්ඨ වූ සක්‍ර දිව්‍ය රාජයාගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නකු වශයෙන් ජීවත් විය හැකි බව බුදුහු පෙන්වා දුන්හ.

එක්තරා දිනක බුදුරදුහු භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන කොසොල් නුවර චාරිකාවේ යෙදෙන ගමන් වේළුද්වාර නම් ගමට වැඩම කළහ. ඒ අවස්ථාවෙහි අසීමිත ගුණයන්ගෙන් සපිරුණු බුදුරදුන් තම ගමට වැඩමවා සිටින බවත්, ඉතා උසස් වු ධර්මය දේශනා කරන බවත් අසා දැන සිටි ගම්වාසීහු උන්වහන්සේ වෙත පැමිණ මෙසේ ප්‍රකාශ කළහ. “ස්වාමීනි අප ගිහි සැප විඳින අයයි.

අඹුදරුවන් පෝෂණය කරනවා. එවැනි ජීවිතයක් ගතකරමින් මෙලොවත් පරලොවත් සැප ලබා ගැනීමට අදාළ ධර්මයක් දේශනා කරන්න” යැයි ගෞරවයෙන් ඉල්ලා සිටියහ.

බුදුවරයකු ලොව පහළ වන්නේ ප්‍රධාන වශයෙන් සත්වයාට නිවන් අවබෝධ කරදීම පිණිස ය. එසේ වුවත් ඒ තත්ත්වය උදා කරගැනීම සදහා මෙලොවත් පරලොවත් සැප ලබා ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේ වටහා ගත්හ. ඒ අනුව ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිච්ඡාචාර, මුසාවාද, පිසුනාවාචා, පරුසාවාචා සහ සම්පප්ඵලාප යන දුෂ්චරිතයන්ගෙන් ඉවත් වීම හා තුනුරුවන් කෙරෙහි පැහැදීමත්, උසස් වූ ශීලයත් යන ධර්ම කරුණු සත ගිහියකු විසින් අනුගමනය කළහොත් මෙලොවත් පරලොවත් සැප ලැබිය හැකි බව මහා කාරුණිකයාණෝ පෙන්වා දුන්හ.

ඕනෑම කෙනකු ජීවත් වීමේ දී සිතා බැලිය යුතු වැදගත් උපදේශයක් වෙයි. එනම් “මගේ ජීවිතය පවත්වාගෙන යාමේදී වෙනත් කිසිවකුට කිසිම කරදරයක් නැත” යනුවෙන් අවංකව සිතන්නට පුලුවන් නම් එය වැදගත් ය. එසේම අන් අයට කරදරයක් හෝ හිරිහැරයක් කරන්නට සිතක් පහළ වූ විට ඒ අයහපත් ක්‍රියාවන්ගෙන් මිදීමට අත්තූපනායික ධර්ම පරියාය ක්‍රමය තුළින් සිතා වැරදි ක්‍රියාවන්ගෙන් සම්පූර්ණයෙන් මිදිය හැකි ය.

පොදුවේ සලකන විට සෑම දෙනාම සැපයට කැමති වෙති. නොමැරී ජීවත් වීමට ද කැමැත්ත දක්වති. ඒ අන්දමට මා සැප සේ ජීවත් වීමටත්, නොමැරී සිටීමටත් කැමති වන්නාක් මෙන් අන් සත්වයෝ ද ජීවත්වීමට කැමති බවත් මරණයට අකමැති බවත්, අවබෝධ කරගෙන සත්ව හිංසාවෙන් සහ සත්ව ඝාතනයෙන් ඉවත් විය හැකි ය. අවිහිංසාවාදී සමාජයක් ඇති කිරීමට මෙය ඉතා වැදගත් කරුණකි.

බුද්ධ කාලයේ ජීවත් වූ තිස්ස හිමියන්ගේ ශරීරයේ ලොකු කුඩා බිබිලි සෑදී මොනතරම් දුක් වින්ද ද? ඒවායෙන් නිතර ගලන සැරවවලින් හඳනා පොරෝනා සිවුරු සම්පූර්ණයෙන් තෙත් වී තිබුණි. නිරන්තරයෙන් පිටවන දුර්ගන්ධය ඉවසිය

නොහැකි තරම්ය. මුල දී තිස්ස නමින් හැඳින් වූ උන්වහන්සේ පූතිගත්ත තිස්ස යනුවෙන් හඳුන්වන ලද්දේ මේ අතිශයින් සෝචනීය තත්වය නිසා බව පැහැදිලිය. මෙසේ දුක් විඳීමට හේතු වූයේ පෙර ආත්මයේ විවිධ සතුන්ගේ ඇට කුඩු කොට මස් කන්න පුරුදු වී සිටීමයැ යි ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි.

මහා ධනයක් තිබූ බෝධි රාජ කුමාරයා සහ ඔහුගේ භාර්යාවට කෝකනද නම් සුවිසල් මන්දිරයක් තිබුණත් එකම දරුවෙක් හෝ නොවීය. එසේ වූයේ ඇයි? පෙර ආත්මයක සතුන් මරමින් උන්ගේ බිත්තර ද කමින් ජීවත් වූ නිසා බව ධම්මපදට්ඨ කථාව පැහැදිලිව සඳහන් කරයි.

සසර සැප ලබන්නටත්, නිවනට ළංවන්නටත් අනුගමනය කළ යුතු දෙවන උතුම් ගුණය නම් සොරකමින් වැළකී සිටීමයි. මේ උතුම් ගුණය ආරක්ෂා කර ගැනීමට කලින් දැක්වූ තමන් හා සංසන්දනය කර බැලීමේ ක්‍රමය ප්‍රයෝජනවත් වෙයි.

වර්තමානයෙහි ධර්මය නිර්මල ව පවතියි. එය දැන ගැනීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාර්ග විශාල වශයෙන් පැතිර පවතියි. එසේම ධර්මය ව්‍යාප්තියට රාජ්‍ය අනුග්‍රහය නිරන්තරයෙන් ලැබෙයි. එසේ නම් අද පවතින ධර්ම විරෝධි සියලු වැඩ විශාල වශයෙන් අඩුකොට සත්පුරුෂ සාමකාමී සදාචාර සම්පන්න නියම උපාසක වරුන්ගෙන් පිරි බෞද්ධ රටක් බවට පත් කර ගැනීම සදහා මේ වෙසක් සමයේ සිට අපි කැපවෙමු.